Sunday, March 2, 2014

මම පාඨකයන් මත පවතින ලේඛකයෙක් නෙමෙයි




දිවයින-
ඔබ සම්ප‍්‍රදාය විරෝධියෙක්. නමුත් සම්ප‍්‍රදාය යනු පැවතිය යුතු දෙයක්. එය සහමුලින්ම ප‍්‍රතික්ෂේප කිරීම වරදක් ලෙස අප චෝදනා කළහොත්...?

සමන්- සම්ප‍්‍රදායයන් ගොඩ නැගෙන්නේ හෝ බි වැටෙන්නේ ජීවිතවල ගැඹුරු පත්ලෙන්. සමාජ, ආර්ථික හා සංස්කෘතික පදනම්වල මුල්වලින්. සම්ප‍්‍රදායයන් ඒ විදිහටම පවතිනවාද, බි වැටෙනවාද වෙනස්කම්වලට ලක් වනවාද, වෙනස් වෙනවා නම්- බි වැටෙනවානම් මොනතරම් ප‍්‍රමාණයකටද කියන එක තීරණය වන්නේ ඒ එක්ක. මගේ අනන්‍යතාව හා ජීවිතය තුළින් වගේම මා වටා වූ සමාජ සංස්කෘතික ආර්ථික දේශපාලන පරිසරයේ පරස්පරතා ගැටුම් එක්ක තමයි මම හිතන විදිහ, මම ලියන විදිහ වගේම මම ජීවත් වන විදිහත් තීරණය වන්නේ. අතීත සමාජයක ගොඩ නැගිච්ච සම්ප‍්‍රදායන් තවදුරටත් ඒ විදිහට තියෙන්න බෑ. ඒවා රැක ගන්න විවිධ හේතු උඩ වලි කන පිරිසක් මම සම්ප‍්‍රදාය විරෝධියෙක් විදිහට දකිනවා ඇති. ඒත් මේ සම්ප‍්‍රදාය කියා පිළිගන්න එක කිසිසේත්ම අපේ අතීතයේ තිබුන සම්ප‍්‍රදාය නෙමෙයි. එතෙන්දි මේ අතීසාරෙට අමුඩ ගහන්න හදන හැමෝටම වඩා මම අපේ අතීතයේ තිබුන සම්ප‍්‍රදායන් ඇතුළෙ අතිශය සම්ප‍්‍රදායික මිනිහෙක්. මම කියන්නෙ වික්ටෝරියානු යටත් විජිතවාදයට කලින් වගේම අශෝක අධිරාජ්‍යයේ ඉන්දියානු උත්තරාරෝපනයට කලින්. එදා පටන් අපේ සම්ප‍්‍රදාය යටපත් කරනු ලැබුවා. අපේ සම්ප‍්‍රදාය නියෝජනය කළ හැමෝම සම්ප‍්‍රදාය විරෝධීන් විදිහට සැලකුවා.
අනික කවදාවත් කොහේවත් එක සම්ප‍්‍රදායයක් තිබිලා නෑ. අපේ අතීතය ගත්තොත් හරිම විචිත‍්‍රවත් සම්ප‍්‍රදායයන් සුවහසක් තියනවා. ඒත් රාජ්‍යය හරි, මතවාදී බලය තියන අය හරි ඔවුන්ගෙ කතිකාවලින් ඔවුන්ගෙ සම්ප‍්‍රදාය භෞතීස්ම කරනවා. සමහරවිට ඒක ඔවුන් පිළිගන්න සම්ප‍්‍රදායයත් නෙමෙයි. ඒක වෙස් මූණක් විතරයි. ඒක බලය තියා ගන්න අවශ්‍ය එකක් විතරයි. ඉතින් ඒ වෙස් මූණට යටින් සැබෑ මූණු සුවහසක් හැමදාමත් තියනවා. ඒත් කවුරුවත් ඒක පෙන්නන්නෙ නෑ. පෙන්නන්නෙ වෙස්මූණ. ඒක රාජ්‍යය බලයේ ලැයිසන් කඩදාසිය. සියළු ආගම්, සියලූ බල ව්‍යුහයන් හැසිරෙන්නෙ එහෙමයි. ජීවිතෙත් එක්ක බැඳිච්ච ඇත්ත සම්ප‍්‍රදායන් තියෙන්නෙ  තිරෙන් නැත්නම් වෙස්මූණෙන් පිටි පස්සෙ. ඉතින් මම ඒ ලැයිසන් කඩදාසිය නැත්නම් වෙස්මුහුණ නම් ප‍්‍රතික්ෂේප කරනවා.  සාහිත්‍ය සම්ප‍්‍රදාය සම්බන්ධයෙනුත් එහෙමයි.

දිවයින- අද තරුණ ලේඛකයන් වස්තු විෂයට වඩා ආකෘතියට නැඹුරු වෙලා. ආකෘතිය නැත්නම් කියන විලාසයටයි වැඩි තැනක් දෙන්නෙ. එවිට බිහිවන්නේ සාහිත්‍ය කෘති නොව ආකෘතික හරඹ පමණයි. ඔබත් එවැන්නෙකැයි චෝදනා තියනවා?
සමන්- අවුරුදු තිහකට කලින් මගෙ පළමු පුවත්පත් සාකච්ඡාව කළෙත් ඔබ. ඒ අවස්ථාවෙත් ඔබ මේ වගේම ප‍්‍රශ්නයක් ඇහුවා වගේ. ඒත් එදා මොනවා කිව්වද මම දන්නෙ නෑ. මොකද මම එතකොට ඔය ආකෘති ගැන වැඩිය දැනන් හිටියෙ නෑ. යමෙක් වෙනස් ආකෘතියක් බලෙන් හොයන් යන්නෙ නෑ. තමන්ට ප‍්‍රකාශ කරන්න තියන දේ තියන විදිහට කියන්න බැහැ කියලා තේරුණාම ඒක වෙන විදිහකට කියනවා. ගොලූවෙක් අත පයින්, ඩින් කියනවා වගේ. විදේශිකයෙක් එක්ක තනිවුණොත් ඒ භාෂාව දන්නෙ නැත්නම් ඒ මනුස්සයත් එක්ක ගනු දෙනු කරන්න  ඕනෙ නං අපි විදිහක් හොයා ගන්නවා. ඊළට හැමෝම දන්න භාෂාවෙන් කතා කරන අපිට අනෙකා කියන දේ තේරෙන්නෙ නෑ. නැත්තං කියලා තියෙන්නෙ, කියවිලා තියෙන්නෙ ඒ දේ නෙමේ. මේ පරාරෝපනය නිසා තමා මේ සමාජෙ මෙහෙම ජංජාලයක් වෙලා තියෙන්නෙ. සමාජෙටම තේරෙන භාසාවෙන් කතා කරන මිනිස්සු කරන්නෙ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් දේවල්. ඉතින් භාෂාව ගැන විශ්වාසයක් තියන්න බෑ. ආකෘති ගැනත් එහෙමයි. සාහිත්‍යය කියන්නෙ ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාව හෝ සිවිල් විධි විධාන සංග‍්‍රහය නෙමෙයි. පොදු දෙයට වඩා ආත්මීය දේවල් සාහිත්‍යකරුවා තුළ තියනවා. ඒවා හැමෝගෙම ජීවිතවල තිබුනත් දකින්නෙ නෑ, දෘෂ්ටියක් නෑ. නැත්නම් ඒ දේවල් තමාගෙන් පිටත ඉන් විතරයි දක්න්න පුලූවන්. ඉතින් මේ දකින්නෙ යම් දෘෂ්ටියකින්. වෙනත් මානයකින්. ඒ දෘෂ්ටිය පිටින් එන්නත් පුලූවන්. තමා තුළම නිෂ්පාදනය වන්නත් පුලූවන්. එක විට දෙවිදිහටයම වෙන්නත් පුලූවන්.
යථාර්ථවාදය කියන්නෙත් මම කියපු භාෂාව වගේම කියන දේ කියවෙන්නෙ නැති ආකෘතියක්. එතනිනුයි මේ වෙනස් විලාසයක් පැන නගින්නෙ. වචන හෝ යථාර්ථවාදය ගැන විශ්වාසය තියන කෙනාට ඒ බාසාව තේරෙන්නෙ නෑ. ගොලූවෙක්ගෙ අංග චලනය තේරෙන්නෙ නෑ වගේ. ආකෘති හෝ රීති කියන්නෙ ගොලූවෙක්ගෙ අංග චලනය වගේ දෙයක්. ගොලූවා යමක් කියනවා. ඒක තේරෙන්නෙ නැත්තෙ භාෂාව හා වචන විශ්වාස කරන නිසා. ආකෘතියක් කියන්නෙ විශ්ව භාෂාවක්. නමුත්  ගොලූවෙක්ගෙ අංග චලන විතරක් අනුකරණය කරලා යමක් ප‍්‍රකාශ වෙන්නෙ නැති බව ඇත්ත. ඒ අංග චලන තමන්ගෙ වෙන්න  ඕනෙ. ආකෘති ගැන හදාරනවා කියන්නෙ ගොලූ අයට බීරි අයට සම්මත භාෂාව ඉගෙන ගැනීමක් වගේ. බීරන්ගෙන් පිරුණු සමාජයක ඒ ගොලූ ආකෘති මිසක් බාසාව වැදගත් නෑ. ඒත් ආකෘතිය තුළ යමක්  නැත්නම් ප‍්‍රශ්නයක් තමයි. සමහර භාජන තියනවා ඒවා තියෙන්නෙ මුකුත් දාන්න නෙමේ. සමහර කලාකෘතීනුත් ඒ වගේ. බෞද්ධ භාවනා ක‍්‍රමවල මේ වගේ දේවල් තියනවා. ඒවයින් පෙන්නන්නෙ ශූන්‍යය. ඇටසැකිල්ලක් නැත්නම් මළමිනියක්, අසූචි දිහා බලාන භාවනා කරනවා වගේ. නූතනවාදී ප‍්‍රතිකලාව එහෙමයි. ඒත් එහෙම මුකුත්ම නැතිව සමහරු භාජන හදනවා සැරසිලි විදිහට. ඒවා හො`දයි නෙත් පිනවන්න. ඉතින් ලෝකෙ හැමතැනම හැම කාලෙකම ඔහොම දේවල් තිබිලා තියනවා. ඉස්සරහටත් තියේවි. ලස්සනට සාලෙ තියන පොටරි එකකට කවුරු හරි වතුර ගේන්නෙ නෑ. එහෙම කරනවා නම් ඒ මෝඩයෙක්. මොකද වතුර ලීක් වෙනවා.  සමහර වෙලාවට භාජනේ ඇතුළෙ තියන දේ කෙනෙක්ට නොපෙනෙන්න පුලූවන්. මේ මානය ඇතුලෙ නොපෙනෙන දෙයක් තියෙන්න පුලූවන්. මං හදාපු බඳුන් ඇතුළෙ මොනවා තියනවද කියලා යමෙක්ට පේන්නෙ ඔහුට ඒ දේ  ඕනෙ නම් විතරයි. මොකද අපි හොයන දේ තමා අපිට හම්බ වෙන්නෙ. ඒ වගේම අපි හොයන දේ තමා අපිට පේන්නෙත්. ඉතින් වැඩි දෙනෙක් හොයන දේ මගෙ නිර්මාණවල නැති වෙන්න පුලූවන්.
ප‍්‍රශ්නය තියෙන්නෙ කොසොල් රජතුමාගෙ සිහිනවලට ආකෘතික හරඹ කියා කියන්නෙ නැති එකයි. සිහින පලාපල තුළින් මනෝවිශ්ලේෂණාත්මක කාර්්‍යයක් සිදු වෙච්ච අතීතයක් අපට තිබුනා. පාරමනෝවිද්‍යාවක් අපට තිබුනා. සිහිනය දෙහි ගහකට කිව්වෙ මනෝ විශ්ලේෂණාත්මකව අබාධිත සංඝටනයේ කාර්යයක් විදිහට. අනෙක් අතින් මනෝ විද්‍යාත්මක ප‍්‍රතිකාරවේදයක් විදිහට. ඒ එක්කම චිකිත්සකයා හා රෝගියා අතර තිබෙන රහස්‍යභාවය , ආචාරධාර්මික බව එතන තිබුනා. ඉතින් එහෙම සිහින එක්ක හිටපු ජාතියක් අධිසත්තාවාදය හෝ මායායථාර්ථවාදය වටහා ගන්න සමත් නෑ. මේ වන විට බුදුදහමට වෙලා තියෙන්නෙත් මේ ටිකමයි.
දිවයින- ඔබේ සර්පයකු හා සටන්වැද අවුරුදු තිහකට පමණ කලින් කෙටිකතා කලාවේ නව මගක් ගත් කෘතියක්. ඒ ගමන් මග අද වන විට යම් තැනකට සේන්දු වී තිබෙනවාද?
සමන්- ඇත්තෙන්ම ඒක මට තීරණය කරන්න අමාරුයි. අනික විචාරකයෙක්ට වුනත් එවන් නිර්ණයකට එන්න මම ඉන් පස්සෙ කෙටිකතා එකතූන් දෙකක් පමණයි පළ කරලා තියෙන්නෙ. ඒ ඔස්සෙ යමෙක්ට නිර්ණයක් ගන්න පුලූවන් අදට නෙමේ එදාට. අවුරුදු ගානක් තිස්සෙ නවකතාවකට පෙරුම් පුරනවා මිසක් මම පහුගිය කාලෙ කෙටිකතා ලියලා නෑ. කොටින්ම 1993න් පස්සෙ මම මගෙ ආත්මයෙන්ම පැන නගින බරපතල දෙයක් ලියලා නෑ. මම මගෙ ඇතුළතින් නම් යම් තැනකට සේන්දු වෙලා කියලා මට කිව්වැහැකි. ඒත් ඒක මගේ ඊළ දෙයක් එක්ක තමයි බලාගන්න වෙන්නෙ. නමුත් මේ පොතත් එක්ක තමා මගෙ ඉතිහාසය හැඩ ගැහෙන්නෙ. මගෙ ඉතිහාසයත් එක්ක අපේ උපසංස්කෘතික ප‍්‍රවනතා බැඳිලා තියනවා. ඉන්පසුව තරුණයින්ගෙන් පැන නැගුණු ප‍්‍රවනතාවන්ට ඒවා පැහැදිළිවම බලපාලා තියනවා. ඒත් මට ඒ ගැන තක්සේරුවක් කරන්න අසීරු විතරක් නෙමෙයි ඒක ආචාර ධාර්මිකව සුදුසු දෙයක් නෙමෙයි.

දිවයින- ඔබ බොහෝ විට විදේශීය සාහිත්‍ය විචාර චින්තාවන් දැඩිව අදහන්නේ ඇයි? මේ රටේ විචාර විධි යල් පැන ගිහින්ද?
සමන්- මේ රටේ විචාර විධි කියන්නේ මොනවාද? ඩබ්ලිව්. ඒ සිල්වගෙ අද්භූතවාදය වගේම මාර්ටින් වික‍්‍රමසිංහගෙ යථාර්ථවාදයත් යුරෝපීය විචාර චින්තාවන් පමණයි. සමාජ සත්තා යථාර්ථවාදය වගේ තව නොයෙක් චින්තාවන් රුසියාවෙන් හෝ චීනයෙන් දේශපාලන අවශ්‍යතා මත ආනයනය කරපුවා. මේ හැර අපිට තිබුන රසවාදය, ධ්වනිවාදය හෝ අලංකාරවාදය භාරතීයයි. ඒ විතරක් නෙමේ ඒවයෙ ග‍්‍රීක මුල් පවා තිබෙනවා. මම යථාර්ථවාදයට වඩා නම් රසවාදයයි, ධ්වනිවාදයයි පිළිගන්නවා. යථාර්ථවාදය කියන්නෙ බටහිර චින්තනයේ පටු ධනේශ්වර මධ්‍යම පාංතික සාහිත්‍ය මාදිලියක්. ඊට එරෙහිව ආපු නූතනවාදී මෙන්ම පසු නූතනවාදී චින්තාවන් විදේශීය විචාර චින්තාවන් ලෙස හඳුන්වන ගමන් යතාර්ථවාදය වැනි චින්තාවන් දේශීය යැයි සිතීම විහිලූවක්. ඊළට දේශීයත්වය කියලා දෙයක් කරේ තබාගෙන කලාව සාහිත්‍යය තබා මිනිහෙක්ට ජීවත් වෙන්නවත් බෑ. අපේ අනුරාධපුර සංස්කෘතිය දේශීය නම් ඒක ලෝක සංස්කෘතියේ බහුත්වවාදී සුසැදියක්. නානාදේශී සමාගම තමා එහි ආර්ථික සාමාජික මෙන්ම සංස්කෘතික පසුතලය නිර්මාණය කළේ. අපි විදේශ වෙළඳාම ගැන කයි ගහන ගමන් දේශීයත්වය ගැන රෙද්ද පල්ලෙන් බේරෙන කතාන්දර කියනවා. සාහිත්‍ය විචාර චින්තාවන්ගෙන් නම් ඉන්දියානු හෝ යුරෝපියානු නොවන කිසිම විචාර චින්තාවක් අපට නැහැ.

දිවයින- ඔබ ඇතුළු කීප දෙනෙක් දේශීය සාහිත්‍ය කලාව හෑල්ලූවට ලක් කරන බව පේනවා. නමුත් ඔබ පැවතිය යුත්තේ දේශීය පාඨකයන් මත නොවේද?
සමන්- පළවෙනි එක මම පාඨකයන් මත රඳා පවතින සාහිත්‍යකරුවෙක් නෙමෙයි. මම ලියන්නෙ මට  ඕන දේ. මම විවේචනවලට කන් දෙනවා. මම වෙනස් වුනොත් වෙන්නෙ මගෙ ජිවිතේ පත්ලෙන්මයි. ඒක මේ වන විට සිද්ධ වෙලා තිබුනත් මට ලියන්න වටපිටාවක් නෑ. ලෝකයම පීරලා විවිධ දර්ශණයන් , කලාසම්ප‍්‍රදායන් ඔස්සේ ගිය මම අද ඒ උරුමයත් එක්ක අතීතෙට ගිහින්. ජනඋරුමය හොයාගෙන ගිහින්. සයිමන්ට වුණෙත් මේ වගේ දෙයක් වෙන්නැති. කවුරුහරි කිව්වොත් මම සද්ධර්ම රත්නාවලිය හරි, ජාතක කතා හරි, යසෝදරාවත හරි, වෙස්සන්තරය හරි, එකම එක ජන කවියක් හරි හෑල්ලූවට ලක් කළා කියලා මම පිළිගන්නවා මම දේශීය සාහිත්‍ය කලාව හෑල්ලූවට ලක් කළා කියලා. මම එහෙම කරලා නෑ. ඒත් බටහිර ස්වභාවිකවාදී හා ඊනියා යථාර්ථවාදී සාහිත්‍ය කෘතීන් නම් ගම් මාරු කරලා ලියපු අපේ මහා සාහිත්‍ය කෘතීන් දේශීය සාහිත්‍යය කියලාවත්, ඒ මුල්වත් දන්නෙ නැතුව ඒවා නැවත නැවත ලිය ලිය ඉන්න අයගෙ කෘතීන්වත් දේශීය සාහිත්‍ය කලාව කියලා මම පිළිගන්නෙ නෑ. මම ඇර එහෙම හෑල්ලූවට ලක්කරනවයි කියලා ඔබ කියපු අනික් කීප දෙනා කවුද කියලාවත්, ඔවුන් එහෙම කරනවද කියලාවත් මම දන්නෙ නෑ. 



සංවාදය- චන්ද්‍රසිරි දොඩන්ගොඩ

දිවයින02-03-14

Friday, September 28, 2012

සත්තුන්ට වඩා මිනිස්සු උතුම්




ඉයුජින් අයනෙස්කෝගේ රයිනෝ සිරස්නාට්‍යයෙහි නගරයට ආ රයිනෝ සිරසයකු ඇනීමෙන් එකිනෙ කාරයිනෝසිරස්ලා බව ටපත්වේ. සියල්ලෝ රයිනෝසිරස්ලා   වීමෙන් පසු අවසානයේ රයිනෝසිරස්ලා අහිනක් මැද තනිවන බෙරෙන්ජර් පේ‍්‍රක්ෂාගාරයට මෙසේ ආයාචනය කරයි.

"සත්තුන්ට වඩා මිනිස්සු උතුම්. සත්තුන්ට වඩා මිනිස්සු උතුම්."


ආදරණීය අම්මේ තාත්තේ බූරුවන්ගෙන් පිරි රටක තනි වූ ඔබ තව දුරටත් මනූෂ්‍යයකු නම් බූරුවන්ට වඩා මිනිසුන් උතුම් බව හඩ ගා කියන්න.
ඔබේ දරු වාබූරුවකු කරන්නට මේ කපටි නරියාටත් දුෂ්ඨ බළලාටත් උන්ගේ අප්පලාටත් ඉඩ නොදෙන්න. සියලූ බේදභින්නකම් වල කිල්ලෝට පසෙක විසි කර මේ සටනට සහාය දෙන්න.
මිනිස්සු බූරුවන්ට වඩා උතුම් බව මේ බූරු අහිනට පෙන්වමු.
නැතිනම් ඔබේ දරුවා බූරුවකු වීමෙන් වළකන්ට ඔබ ටනොහැකිවනු ඇත.
මිනිස් දරුවෙක් වැදු පමණින් ලොකු මහත් කළ පමණින් ඔබ අම්මෙකුවත් තාත්තකුවත් වන්නේ නැත. ඔබේ දරුවාට මනුෂ්‍යාත්මභාවය ලැබ දෙන්න.
මිනිසා මනුෂ්‍යයකු කරන්නේ අධ්‍යාපනයයි.
ඒඅයිතිය රැක ගන්න
ඔබේ දරුවාට මිනිසත්කම දෙන්න. 
ඔහු හෝ ඇය බූරුවකු නොකරන්න.
එක්වඅත්වැල් බැද ගන්න.



ඔබේ දරුවාගේ අධ්‍යාපනය රැක ගැන්මට පෙරට එන්න.




ජොර්ජ්  ඕවල්ගේ ගොවිපලේ පෙරළියෙහි නිලාරි තාන්ත‍්‍රික සත්වයෝ මෙසේ කියති.

සියලූ සතුන් එක හා සමානය.
එහෙත් සමහර සතුන් අනෙකුන්ට වඩා එක සමානය.

ඔබේ දරුවන් එක හා සමාන කරන්නට හෝ අනෙකුන්ට වඩා සමාන කරන්නට හෝ පෙර ඔවුන් මිනිස් දරුවන් කරමු.

මිනිස් දරුවකු තනන්නේ අධ්‍යාපනයෙනි.
එබැවින් ඔබේ දරුවාගේ අධ්‍යාපනය රැක ගැන්මට පෙරට එන්න.

සත්ව පාලනයක් මිස දේශපාලනයක් නොවන මේ සත්ව ගොවිපලට තවත් සතෙක් එකතු නොකරන්න. ඔබේ දරුවා මනුෂ්‍යයකු බවට පත් කරන්න.

මතක තබා ගන්න යුරෝපයේ දියුණු රටවල සහ ඇමරිකාව ඇතුළු කේන්ද්‍රයේ රටවල අධ්‍යාපන කප්පාදු සිදුවූයේ නැවත අතු රිකිලි ලන්නට වෙනත් පසුබිමක් ඇති වාතාවරණයකය. ඒ අතීතයේ මෙන්ම දැනුදු පරිවාරයේ රටවල් සූරා කෑමේ අතිරික්තයමතිනි. එහෙත් මෙවන් රටවල කපා දමන මේ අතු ඉති නැවත කිසිදා දලූ ලන්නේනම් නැත. මේ කපා හෙලන්නේ අධ්‍යාපනයේ මෙන්ම මිනිසත්කම නම් මහ රුකෙහිද අතු ඉතිය .මේ රුක යළි දළු නොලනු ඇත.

මේ ඔබට තීරණය කරන්නට ඇති අවසන් හෝරාවයි.
සියලූ බේද පසෙක ලා පෙරට එන්න. අත්වැල් බැද ගන්න. සහායවන්න.

අපි එය රැක ගනිමු .



Wednesday, September 26, 2012

බොල බූරුපුතේ







අපි යන්ට යමූ
අපි යන්ට යමූ බූරු ලන්තේ දිහා විගසින්
බොල බූරුපුතේ
බොල බූරු පුතේ දුක සෝකා ඉතින් ඉවසන්//

සරසවි සැම වසා දමා විභාග සැම අල කරලා//
ලෝක බැංකු බර උසුලා යමු විගසා එම පෙදෙසා//

යන්ට යමූ
අපි යන්ට යමූ බූරු ලන්තේ දිහා විගසින්
බොල බූරුපුතේ
බොල බූරු පුතේ දුක සෝකා ඉතින් ඉවසන්//

දුෂණයෙන් භීෂණයෙන් කොමිස් වලින් මත් කුඩුයෙන්//
නුඹ සිතනා නුඹ පතනා සැප සැක නැහැ එහි ලැබෙනා//


යන්ට යමූ
අපි යන්ට යමූ බූරු ලන්තේ දිහා විගසින්
බොල බූරුපුතේ
බොල බූරුපුතේ දුක සෝකා ඉතින් ඉවසන්//

ගුරුවරුන්ද මව්පියන්ද මළපොත මෙන් නොහදුනනා//
බූරුලන්තෙ නෙත ගැටෙනා තුරු දුකිනා හද තැවෙනා//

යන්ට යමූ
අපි යන්ට යමූ බූරු ලන්තේ දිහා විගසින්
බොල බූරුපුතේ
බොල බූරුපුතේ දුක සෝකා ඉතින් ඉවසන්
බොල බූරුපුතේ//

පැරණි ගීතය මෙතැනින් අහන්න

Tuesday, September 25, 2012

බොල බූරු පුතේ දුක සෝකා ඉතින් ඉවසන්








සෝබාව දේ මෙපුර සිරි විසිතුරු
බලනු මිතුරු මග පියකරු වූ
සුසුදු වළා කැරළි පලසකි මේ
මග දිග ඇතිරූ
අහස සූරන මැදුරූ

1977 දී ඇතිවූ විපරීත සමාජ ක‍්‍රමය පිළිබදව ලූෂන් බුලත්සිංහල සහෘදයාණන් එදා සිත්තම් කළේ එසේය. අනතුරුව අහස්කුස සිසාරා තාරාවන් ඉගිල යන්නට පටන් ගති.
ආනන්ද එස් විජයසිරි සහෘදයා මේ සිත්තම් කළේ මෙසේය


බොල බූරු පුතේ 
දුක සෝකා ඉතින් ඉවසන්
අපි යන්න යමූ 
අපි යන්න යමූ 
දෙව් ලෝකෙ බලා විසින්
බොල බූරු පුතේ

තාරාවන් ඉගිලෙන බූරු පුතුන් දිව්‍ය ලෝකේ  කාලකණ්ණි සමාජ ක‍්‍රමයක , තිරුවානා ගල් උඩ විත් ගොම රිති  අබුද්දස්ස යුගයක දිවි ගෙවමු. ඒ ගැන අනාවැකි කීවුන්ද අඩුවක් නැතිව ඊටම උඩ ගෙඩි දෙති.

ඉතාලි ජාතික තෝමස් කොලෝඩිගේ ලෝක ප‍්‍රක ළමා සාහිත්‍ය කෘතියක් වන පිනෝකියෝ හෙවත් රූකඩ පැංචා කතාන්දරයේ හා හාපුරා කියා පාසල් යන්නට යන පිනෝකියෝව රවටන කපටි නරියකු සහ දුෂ්ඨ බළලෙකු ඔහුගේ හෝඩි පොත විකුණා පිනෝකියෝව කානිවල් එකකට කැටුව යයි. එහිදී සෙල්ලම්ලන්තයට යන දුම්රියක නැග එහි යන පිනෝකියෝ බූරුවකු බවට පත්වේ.

ඉතාලිය තුළ සිදුවූ අධ්‍යාපනය විකුණා දැමීමේ ක‍්‍රියාවලිය තෝමස් කොලෝඩි නම් ඒ මහා ගත්කරුවාණන් දුටුවේ එසේය.
දැන් ඒ කපටි නරියා සහ දුෂ්ඨ බළලා මෙහි පැමිණ සිටී. ආදරණීය අම්මේ තාත්තේ, තක්කඩි වෙළෙන්දන්ගේද, විපරීත කානිවල්කරුවන්ගේද උන්ගේ අප්පා වන ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේද කොන්ත‍්‍රාත්තුව මත ඔබේ දරුවා සෙල්ලම්ලන්තයට යවා බූරුවකු බවට පත් කිරීමේ කාරිය මේ කපටි නරියාත් දුෂ්ඨ බළලාත් විසින් බාර ගෙන තිබේ.

ආදරණීය අම්මේ තාත්තේ ඔබ බූරුවකු විය හැකිය. එහෙත් ඔබේ දරුවා බූරුවකු වනවාට ඔබ කැමතිද?
පිනාකියෝට පසුව සිය පියා හමුවන්නේ තල්මසකුගේ බඩ ඇතුළේදීය. මේ කොලෝඩි සහ පියා එකම ණයකරුවකු විසින් ගිල ගැනීම දක්වන සංකේතය බව විචාරකයන් විසින් විග‍්‍රහ කරනු ලැබීය. ආදරණීය අම්මේ තාත්තේ, ලෝක බැංකුව නම් තල්මසාගේ බඩ තුළ ඔබේත් ඔබේ දරුවාගේත් ජීවිත ග‍්‍රහණය වී ඇත.  ඉන් ගැලවීමටවත්, සමාජ ක‍්‍රමය වෙනස් කිරීමටවත් , ආණ්ඩු පෙරලීමටවත් දවල් සිහින දකින්නට කාලය මිඩංගු කිරීමට මේ අවස්ථාව නොවේ. මේ එළඹ ඇත්තේ ඔබේ දරුවා බූරුවකු බවට පත්වීමේ අවාසනාවන්ත ඉරණමෙන් බේරා ගන්නට ඔබට ඇති අවසාන නිමේෂයයි.

නැතිනම් ඔබට ගයන්නට වන්නේ බොල බුරු පුතේ යන දෙව්ලෝ යනකං නාට්‍යයේ ගීතයයි.

දමිල ජනයා පිළිබද සිංහල ඔබ නැගූ චෝදනා අතරින් එකක්  වූයේ දොස්තරවරුන් , උගතුන් , ඉංජිනේරුවන් , නීතිවේදින් ආදී බොහෝ දෙනෙකු දමිලයන් වීම දරා ගත නොහැකි වීමේ චෝදනාවයි.  මේ වන විට අධිරාජ්‍යවාදීන් විසින් විශේෂ වරප‍්‍රසාද දීමෙන් ඇති කළායැයි කියන එම තත්වයද  පරාජය කොට ඇත. මෙහි ඇතිවූ සියලූ මර්ධනයන් තුළදී සිංහල දෙමල භේදයකින් තොරව උගත් තරුණයන්ගේ කරදරය අහවර කෙරිණි. 89න් පසු සියලූ සාහිත්‍ය කලා සමාජ සංවාදයන්හි හිස් පුටු දකින්නට භාග්‍යය අපට හිමි විය. ගමේද නගරයේද කියා වෙනසකින් තොරව නූගත් අලජ්ජි බූරුවන් අහිනක් සහ ලූම්පන් තිරිසනුන් රොත්තක් ජනතා නියෝජිතයන් ලෙස පත් විය. සියලූ උත්තරීතර ආයතනයන් තිරිසනුන් විසින් අරක් ගැණිනි. මේ ලූම්පන් අප්පාවරුන්ට සරිලන, මේ ලූම්පන් ක‍්‍රමයට ගැලපෙන ලූම්පන් අධ්‍යාපනයක් දියත් කිරීමට පිඹුරුපත් සැකසිණි. ජනමාධ්‍ය මේ තිරිසන්  බව ලූම්පන් බව අභිනන්දනය කරන්නට ගත්හ.

පිනෝකියෝගේ පියා ගෙපෙටෝ අසීරුවෙන් පිනෝකියෝට හෝඩි පොත මිලට ගෙන දෙයි. දරුවන් සරසවියට යවන්නට ගම්වල බොහෝ මව්පියන් ගේදොර ඉඩකඩම් උගස් කරති. නාගරික මව්පියෝ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සිය ජීවිත පිටින්ම උගස් කරති.
අම්මේ තාත්තේ තව දුරටත් ඔබ ඔබේ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔබේ ජීවිත උගස් තැබීමේ තේරුමක් නැත. එක්කෝ මේ කපටි නරියාටත් දුෂ්ඨ බළලාටත් උන්ගේ අප්පලාටත් එරෙහිව සටන් කරන්න. නැතිනම් ඔබේ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔබේ ජීවිතය උගස් තැබීම වහාම නවත්වන්න.

දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට හයක් රටේ අධ්‍යාපනයට වැය කිරීමට කනිපින්දම් ගසන රජයක් තවමත් පාසල් පොත්වල නිදහස් අධ්‍යාපනයේ පියා යැයි සී.ඩබ්.ඩබ්. කන්නංගර ශ‍්‍රීමතාණන්ව විලිලජ්ජාවකින් තොරව සදහන් කරයි. දලජාතික නිෂ්පාදනයෙන් රටේ ඒ ඒ දේවලට වෙන් වන අනුපාතයන් සැසදීමට ගියහොත් ඔබගේ මුඛ පූට්ටු වනු ඇත. මෙසේ තිබියදී සිරිල් පොන්නම්පෙරුම වැනි විශ්ව කීර්තියට පත් බුද්ධිමතුන් ගැන වහසි බස් දොඩන්නටත් ඇතැමුන්ට ලැජ්ජාවක් නැත. මින් ඉදිරියට සිරිල් පොන්නම්පෙරුමලා අවශ්‍ය නැත . අවශ්‍ය බූරුවන් පමණය. බූරුවන්ට පාලනය කරන්නට බූරුවන් සිටිය විට ලෙහෙසිය.
අප රට සාක්ෂරතාව පිළිබද පම්පෝරි කලක සිට අප අසා ඇතිමු. අප රටේ දෙමාපියන් වැඩි හරියක් සිය ආදායම වැය කරනුයේ දරුවන්ගේ අධ්‍යාපනය උදෙසාය. දරුවන් සේම මව්පියන්ද නොවිදිනා දුක් අධ්‍යාපනය වෙනුවෙන් විදිති. දරුවන්ට ළමා කාලය, සිය නව යොවුන් විය සේම දෙමාපියන්ට සිය තරුණ කාලයද මේ වෙනුවෙන් අහිමි වේ. අප රට තුළ පංති සංක‍්‍රමණයේ ප‍්‍රධාන මාදිලියක් වන්නේ අධ්‍යාපනයයි.
මේ වන විට රට තුළ පංති බෙදීමක් නැතිය යන මායා දර්ශනයක් සියල්ලන්ගේ සිත් තුළ එලා තිබේ. සැබැවින්ම මෙහි අන් කවරදාකවත් නොවූ විරූ ලෙස පංති බෙදීම සිදු වන්නේ මෙකල්හිය. එවන් කලෙක පැරණි ස්ථර ක‍්‍රමයෙන් වාෂ්ප වී නව ස්ථර බිහිව ඒ. එම නව ස්ථරයන්ට ස්ථාන ගත වන සැවොම තමන් පංති හිණිපෙතේ ඉහළින් සිටිනවාය යන මායාවෙන් අන්ධව සැරි සරති. සියළු මිනිසුන් මනුස්ස දුලි බවට පත් කරන මෙම අවධිය අතිශය සංක‍්‍රාන්තික වූවකි.


මරුටියක් තිබූ පමණින් ඔබ ධනපතියකුවත් ඉහළ මධ්‍යම පංතිකයකුවත් නොවේ .එම මෝහයත් මුලාවත් ඔබව ගෙන යනු ඇත්තේ පරිභෝජනවාදය තුළ, වෙළද භාණ්ඩ වන්දනාවාදය හරහා ඉතාමත්ම අනාරක්ෂිත තත්වයකටය. යුරෝපයේ කම්කරුවන්ටත් කාර් එකක් තිබේ. ධනපති හෝ සුලූ ධනේශ්වර බව මේ වනවිට ජගුවරය ලිමුසීනය කරා පොලා පැන තිබේ. බොහෝ සුළු ධනේශ්වරයන් යනු උගත් පරිපාලන හෝ සේවා සපයන කම්කරුවන්ය. කලාකරුවාගේ සහ කම්කරුවාගේ පවා වෙනස මේ වන විට ඇකී මැකී ගොස් තිබේ. මොකක් හෝ කඩ කෑල්ලක් දා ගත් පලියට සුලූ ධනේශ්වර වන්නට පුලූවන් යුගයක් අතීතයේ තිබිණි. කායික ශ‍්‍රමය වෙහෙසනා එයට වැටුප් ලබන්නා නිර්ධනයාය යන පැරණි සීමාව ඇකී මැකී ගොස් තිබේ. කෙසේ හෝ කේන්ද්‍රයේ අධිරාජ්‍යවාදී රටවල පුරවැසියන් නොකරන නොවැදගත් වැඩකිරීමට මනුස්ස දුලි පමණක් මේ වන විට එම රටවලට මෙවන් පරිවාරයේ රටවලින් අවශ්‍යව තිබේ. අධ්‍යාපනය ඊට සීමා වීම උන්ට සෑහේ. යුධ සමයේදී ගම් ප‍්‍රදේශවල පාසල්වලට ප‍්‍රතිපාදන සිතා මතාම කප්පාදු කරනු ලැබුවේ ගම යුද්ධයට තරුණයන් සපයන තවානක් ලෙස තබා ගත යුතු හෙයිනි.

විදේශ විශ්ව විද්‍යාලවලට හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලවලට, අන්තර්ජාතික පාසල්වලට සිය දරුවන් යැවීමට සමත් පිරිසට ඇතැම් විට ඔබ අයත් වනවා වන්නට පුලූවන. එහෙත් හෙට දින ඔබේ දරුවාට ගනු දෙනු කිරීමට වන්නේ, පාලනය කිරීමට වන්නේ, මහමග ගමන් කිරීමට වන්නේ බූරුවන් සමග නම් ඒ වරප‍්‍රසාදිත තත්වයෙන් කුමන පලක් වේද? හෙට ඔබේ දියණිය මේ බූරුවකු අතින් දුෂණයට පත් විය හැක. ඔබේ පුතා මේ බූරුවකු අතින් මිය යන්නට පුලූවන.
තරුපහේ හෝටල්වල අහර වළදින්නෝ සිටිති. කුඩා අවන්හල්වල අහර ගන්නෝද සිටිති. තරුපහේ හෝටල්වල බුදින්නන් අනෙක් කුඩා හෝටල හෝ කුඩා අවන්හල් වසා දමන්නට කටයුතු කරන්නේවත් ,ඒවා වැසී යන තැනට කටයුතු සිද්ධ කරන්නේවත් නැත.

සියලූ සත්වයෝ ආහාරයෙන් යැපෙතියි බුදුරදුන් වදාළේය. එසේම සියලූ මනුෂ්‍යයෝ අධ්‍යාපනයෙන් යැපෙති.  ඔවුන් මනුෂ්‍යයන් බවට පත් වන්නේ අධ්‍යාපනයෙනි.

ආහාරයේ සමබර බව, ගූණාත්මකතාව කෙසේ වේවා සියලූ සත්වයන්ට ආහාර අවශ්‍යය. අධ්‍යාපනයේ ගුණාත්මක බවද එවන්ය.
අධ්‍යාපනය යනු දැනුම ලබා ගැනීම පමණක්ම නොවේ. එය ශිෂ්ඨත්වය සහ මනුෂ්‍යත්වද අත්පත් කොට ගැනුමයි. එය මිනිසුන් උගතුන් කරනු පමණක් නොව මනුෂ්‍යයන්ද කරයි. නොඑසේව උගත් බූරුවන්ද සිටින බව ඇත්තය. එහෙත් නූගත් බූරුවන්ට වඩා උගත් බූරුවන්  පවා උසස්ය.
ලොව පුරා සියලූ කල්හි බූරුවා එක් කාරණයක් සංකේතවත් කරන්නක් ලෙස යෙදී තිබේ. අම්මේ තාත්තේ ඔබේ දරුවාට මනුෂ්‍යාත්මභාවයක් ලබා දෙන්න. 

ලෝක ධනේශ්වරයේ විපරීත කොන්ත‍්‍රාත්කරු ජේ ආර් ජයවර්ධනගේ  සම්පූර්ණ නොකළ කොන්ත‍්‍රාත්තුව එදා ඔහුට විරුද්ධ වූ ඔහුගේ මුනුබුරන් වන වත්මන් පාලකයන් විසින් ජාතික- වාම- බෞද්ධ වෙස් මුහුණක් පැළද කරගෙන යනු ලබයි. රනිල් වික‍්‍රමසිංහ වෙස්මූණු පළදන්නට සමත් නොවූ නිසා ලෝක ධනේශ්වරය මෙන්ම ඔබද ඔහුව කුණු කූඩයට වීසි කොට තිබේ. එහෙත් ඔහු ලවා කර ගන්නට ගිය කටයුතුම ඔහු විසින් කරන්නට අර ඇදි විට ඔබ විරුද්ධ වූ දේම දැන් ඔබගේ ආශීර්වාදය මැද ජේ ආර්ගේ මේ විපරීත මුනුබුරු කැලත විසින් කරගෙන යනු ලබයි.
ක‍්‍රමය වෙනස් කිරීමවත් ආණ්ඩු පෙරලීමවත් ගැන සිහින නොදැක , ඔබ යූඑන්පීකාරයකු ජේවීපීකාරයකු සන්ධාන හෝ හෙළ උරුමකරුවකු පෙරටුගාමී පාක්ෂිකයකු හෝ පෙරටුගාමී සමාජවාදියකු හෝ අන්කවරකු වේවා , කවර ජාතියකට කුලයකට , ආගමකට, වෘත්තියකට, පන්තියකට, තරාතිරමකට, කවර දර්ශණයකට , ගුරුකුලයකට අයත් වේවා ඔබේ යුතුකම ඉටු කරන්න. ඒ මුදලින්ද ශ‍්‍රමයෙන්ද, වචනයෙන්ද අන්තර්ජාලයෙන්ද, පාසලේ කාර්යාලයේ හෝ වැඩබිමේද තැබැරුමේද යන්න නොතකා ඔබේ යුතුකම ඉටු කරන්න . ආදරණීය අම්මේ තාත්තේ ඔබත් ඔබේ දරුවා බූරුවෙක් කරන්නට සදන කපටි නරියාටත් , දුෂ්ඨ බළලාටත් , උන්ගේ අප්පලාටත් එරෙහිව මේ සටනට සහාය දෙන්න.
ඔබේ දරුවා බූරුවකු බවට පත් කරන්නට කැස කවන මේ කපටි නරියාටත් දුෂ්ඨ බළලාටත් උන්ගේ අප්පලාටත් එරෙහි වීමෙන් හෝ නොවීමෙන් ඔබ බූරුවකු වන නොවන බව ඔබම තීරණය කරන්න.