Saturday, May 4, 2019

මේ බෙට්ටෙ කොයි කොණත් ගඳයි.



එස්තර ඉරිදා බිත්තර පාට කළ
පුංචි කෙල්ලක
බිත්තරයක් සේම පොඩිවී
ගලා ගියා ලේ
කොච්චිකඩෙන් මීගමුවට
මඩකලපුවට
රට පුරාම

කුරුසිය මත යේසුස් වේදනාවෙන් තෙපලුවා

“ඒලී ඒලී ලාමා සබක්තානී”

අහෝ දෙවිඳුනි ඔබ මා අත් හැරියේ මක්නිසාද?

කන්‍යා මරියතුමියද
මරියා මග්දලේනාද
බිත්තර කූඩයක් තැබුවා
කුරුසිය මුල.
යේසුගේ රුධිරයෙන් ලේ රතු වුණු
බිත්තර කූඩයත් රැගෙන
පිවිතුරු කන්‍යාවද
නම් දැරූ වෙසඟනද 
ගියා තිබේරියස් අධිරාජයා වෙත.
යේසුස් යළි නැගී සිටිතැයි බියෙන්
ඒ බිජුවට අතරින්
සලිත වූවා අදිරද.

සුණු විසුණු වූ නටඹුන් මැද
ශාන්ත අන්තෝනි පිළිමය අභියස
රෝල්වී ගියා කාසියක්
ලේ තැවරුණු.
එස්තර ඉරිදා බිත්තර පාට කළ පුංචි කෙල්ලගේද
යේසුස්ගේද රුධිරය
පාවුළු ඝාතනය කළ කිතුනුවන්ගේද රුධිරය
කුරුස යුද්ධයේ හළ රුධිරය මතු නොව 
බොහෝ ලේ තැවරී තිබුණා එහි.




යුදෙව්වන්ගේ ලේද
මුසල්මානුවන්ගේ ලේද
සිහලුන්ගේ ලේද
දෙමලුන්ගේ ලේද
වෙනසක් නැතිව උරා බිව්
ලේ සල්ලි,
මායාකාරියන් දඩයමේ
වධක කුටිවල හළ
මායාකාරියන්ගේ ලේද.

ඒ ලේ සල්ලිය
රෝල්වී යනවා 
ලෝකය පුරා
ඉතිහාසය පුරා
බිම දිගේ නොව දැන් ඒ
පියාඹනවා අහසේ

කාලයද අවකාශයද වගක් නැති
ලේ සල්ලි
ජාතියක් නැති
ආගමක් නැති
ලේ සල්ලි
කච්ජපුටගේ අතින් ඉල්ලිසට
මට්ට කුණ්ඩලී අතින් ෂයිලොක්ට
ෂයිලොක් අතින් නෙයිනා තම්බිට.

මේ පාවෙන හිම කුට්ටිය පිට
බුදුන් අදහන
බිල්ගේට්ස්ගේද සකර්බර්ග්ගේද පුක යට
සුදු පාට හිම පොත්ත යට
දිය යට ඇති සියල්ලම ලේ සල්ලිය.
සිරියානු දේශනාකාර නෙසේටෝරියස් අතින්
නෙස්ටෝරියන් කුරුසිය රැගෙන
තෝමස් ආවා සීගිරි ගල මුදුනට
යේසුස් කුරුසියේ ගැසු සේම 
ධාතුසේනව මැටි ගැසුවා.
සීගිරි කුරුස කාසිවල 
බලව මේ ඇත්තේ 
කාශ්‍යපගේ රුධිරයය.
මේ පෙරළී එන පෙරළී යන කාසියට
ඉතිහාසය පුරා
ලෝකය පුරා
නමක් නැත.
ඒ රන්මසුවත්
මාක්වත්
රූබල්වත්
රුපියල්වත්
පවුම්වත්
ඩොලර්වත්
ඩිනාර්වත්
යෙන්වත් නොවේ
ඒ ලේ සල්ලිය.

පුන්තිලා කෑ ගැසුවා
“හොඳට මතක තියාගනින් මත්ති, සල්ලි පිලී ගඳයි.”

ඉතින් මේ කාසියට නමක් නැත
ලේ සල්ලි කියා මිස නමක් නැත.

පාහියන් එන විට සේද මාවතේ
දළඹුවෝත් ආවා

-->
Here we go round the mulberry bush,
The mulberry bush,
The mulberry bush.
Here we go round the mulberry bush

මකරුන් ද ආවා.
මෝසම් දෙකටම මැදි වුණ 
සෙරන්ඩිබයේ කරුමය
නානාදේසී සමාගම තිබුවත්
නානා දේසීන් ඇලජික්
කුවේණිගේ සාපය.

යහපත් නාවික 
ලොරන්සෝද අල්මේදාට බොහෝ කලකට පෙර
ද්වාලාවත් වය වයා 
සබරගමුවෙන් සිරිපා මුදුනට නැග්ග
පන්සලටම සින්න කළ දවුල හේවිසියට
සින්බෑඞ්ද සෙයිලර්

දකුණු සිරිපතුල මක්කම වැල්ලේයා

මණිබඩු රැගෙන ගමට ආ 
කදා වළල්ලට ඔමරි පා
අමුතු බත් දුන් කෙල්ලන් සමග බින්න බට
සින්බෑඞ්ද සෙයිලර්.
අමුතු බත් දීම අත ඇල්ලුමෙන් දැන ගත් 
සින්බෑඞ්ද සෙයිලර්.





කුරුස යුද්ධය ඇරඹිණි
ඉන්දියාව සොයා කොලම්බස්
බට-ඉර දෙසට නික්මිණි.
යුදෙව් සංහාරයේ ලේ සල්ලි මතුයේ
මායාකාරියන්ගේ ලේ සල්ලි මතුයේ
කුමාරයෝද, පූජකයෝද
විනිසුරෝද
විද්‍යාඥයෝ හා චින්තකයෝද
නාරි වෛද්‍යවරුද සව්දිය පිරූහ.

මායාකාරියන් ඝාතනය කළ
වධක කුටි තුළ
යක්ෂයාගේ සළකුණ සොය සොයා
කපා කොටා සාරා සිදුරු කළ
ස්ත්‍රී මළ සිරුරු අතරේ
මැතියෝ කලම්බෝ සොයා ගන්නා විට ක්ලිටෝරසය
ඔහු දිව තබන විට එහි තුඩුවට
කොළම්බස් පා තැබුවා සුභ පැත්මේ තුඩුවට,
මායාකාරියන් වනසා
විද්‍යාඥයෝ සිදුරු කොට මහ පොළෝ මාතාව
ගයියාව
දූෂණය කරන අතරේ.


One little, two little, three little Indians
Four little, five little, six little Indians
Seven little, eight little, nine little Indians
Ten little Indian boys.

-->
Ten little, nine little, eight little Indians
Seven little, six little, five little Indians
Four little, three little, two little Indians
One little Indian boy.

නාභිය නොදක්වා
සළු ඇඳ බොලට දක්වා 
සිනා නොම සෙන දසන් දක්වා
විශාඛාව
කොලම්බස්ගේ පිල්ලිය 
ඕල්කට් ඇවිදින් ගොඩ ගත්ත දැරහැව
වික්ටෝරියා රැජිනගේ අතීතයට යැවූ පිල්ලිය
සාන්ත දාන්ත තීන්ත කූඩුව
විශාඛාව
මායාකාරියන්ගේ කීතු කළ මාංශ මතින්
මායාකාරියන්ගේ දවා හළු කළ අළු මතින් උපන්
ගල් පෙරේතයන් සේ මුඩුම පිරිමින් සැමගේ සුරුවම
ගෙදර තියා ගත හැකි
මැස්සෙක් වහපු නැති
මෙලෝ රහක් නැති 
කිම්බේ සෙවල බිඳක් නැති
චාලිද්දරය හිස මුදුනේ තබා ගත්
පතිවත් පටි පැළඳූ 
ගෙවල ගැහැණිය
වික්ටෝරියාගේ පිල්ලය 
විශාඛාව

කොලම්බස්ගෙන් පසු
රන් උමතුවේ ලේ
අප්‍රිකාවේද ඔස්ටේ්‍රලියාවේද
ඇමරිකාවේද රන්වල ලේ උකහා ගත්
රන් සංචිතය...

දැන් රුපියල විතරක් නොව ඩොලරයද අහසේ පාවෙයි
රන් සංචිතත් නෑ
කාසි කොල මුකුත් නෑ
ඉලක්කම් විතරයි
ඒත් ඒ ඉලක්කං
ලේ ගඳයි 
හරිම පිලී ගඳයි
ඉතින් මේ ඉලක්කං එහෙ මෙහෙ කළ යුතුයි
ඉලක්කං සෙල්ලමට ජීවිත පරදු වෙයි

වයිරස් ගාඞ් විකුණන්නට වයිරස් හදන
ආයුධ විකුණන්නට භීතිය හදන ලෝකයක
නයාට අඳු කොළ මෙන් උනුන් පෙනෙන
ත්‍රස්තයන් දෙදෙනාම
අතරමැදියාද
තුන්වැනියාද
සංහිඳියාකාරයාද 
මානව හිමිකම්කාරයා මෙන්ම
ඒ හිමිකම් වනසන්නාද
සියල්ලෝ එක තැනින් පඩි ලබති

වැටත් නියරත් ගොයම් කෑ දේශයේ
කාගෙ කාගෙත් කිල්ලෝටවල ඇති හුණු අමතක කොට
සාමා අමර එන්න අපි
මුව හමට තඩි බාමු
මුං වපුරා තල ඉල්ලමු
අමු කැවුණු විට මෝටම...
දස මාසේ උරේ කත්වා
දුටු දුටු තම්බි මරන් කත්වා
සියලු සත්වයෝ නිදුක් වෙත්වා
සියලු තම්බින් තුරන් වෙත්වා
ඔන්න නයා
මෙන්න පොල්ල
මං නං සිල්

එන්න අපි හාමු මේ කෙතේ
මඩවමු පාග පාගා
අපිම මැඩවෙමු.
සකසමු පොළව වපුරන්නට
ගොජර මජිරි තුන්හිරිය
බැවින ඒ අප දිව බොජුන්.
පුටින්ගේද, ට්‍රම්ප්ගේද තුරුම්පුවට
එන්න අපි ඔට්ටු අල්ලමු.
බලු බෙට්ටේ ඒ කොනත්
මේ කොනත් දෙකම ගඳ වුව
මේ කොන සුවඳ යැයි ශපථ කරමු
අපි බෙට්ට මත ඇති රුපියල දිවෙන් ගමු
‘බුර්කාව තහනම්ය.
ස්ත්‍රී විමුක්තියේ දෝංකාරයය.’ 

යකඩ මල්ලට ගුල්ලො ගැසූ විට 
හාල් මල්ල ගැන මොන කතා වුව
එන්ජෝයිකාරයෝ නරකයි
බොදු එන්ජෝයි නම් කදිමයි
රජය නම් හරි හොඳාාායි
විපක්සේ තව හොන්ඳායි
හබන් කුකුලෝ මගුල් කයි
උගුඩුවෝ තටමයි

සක්‍ර යැයි සුපතල 
හක්‍ර දෙවිඳුන් වූ
බුදුන් සරණ ගිය
ඬේරියස් අදිරදුනි
ඒ ධර්ම රාජ්‍යය රැකගන්න
ගල් ගසා මරන්නට පැන වූ ඔබේ නීතියට
වූයේ මේ කිමැයි

“ධර්මය රකින්නට යන්නා ධර්මය විනාශ කරනු ලබන්නේය.”

මහම්මද් නබිතුමනි
සම්මා සම්බුදුනි
යේසු සමිඳාණනි
මේ බෙට්ටෙ කොයි කොණත් ගඳයි.





බල්ලෙක් සිටී ඔලු තුනක් ඇති
එක පුකක් ඇති
එකම බෙට්ටට තමන්ගේ කියා රංඩු වෙයි
ඒත් උන්
මේ වසුරු ඔබලාගෙයි උඩු බුරයි.
උඩු බිරුම් හඬ මැදින්
යේසුස් පාවා දුන් රිදී කාසිවල
සිනා හඬ නැගී එයි.
යුදෙව්වන්ගේ 
මායාකාරියන්ගේ අඳෝනා
රතු ඉන්දියානුවන්ගේ
හා නෙක නෙක ජාති මතු නොව
චීනයේද රුසියාවේද
කොමියුනිස්ට් වධ කුටිවල 
මිනිසුන් නැගූ අඳෝනා
ඒ මැදින් නැගී එයි
බලු බෙට්ටෙ කොයි කොණත් ගඳයි.

මේ මාගේ මවය පියාය
පුතුය දියණියය
පෙම්වතියය පෙම්වතාය
බිරියය සැමියාය
සොයුරියය සොයුරාය වෙනසක් නැතිව
ඉණ ඉහ කිරිපල්ල අතගා ගෙට ගන්න
දිනක් ළඟ ළඟම එයි.

ආයුධ වෙළෙන්දන්ගෙන් යැපෙන
පූජකයෝද
නායකයෝද
වෙන්ඩ නායකයෝද
හිටපු නායකයෝද
අන් සියලු වෙළෙන්දෝද
පිටපොට ගසති.

“ලෝකය රඟ මඩලකි
අපි එහි රඟන නළුවෝ වෙමු.”

පිටපත නොදනිතත්
පුහුණු කළ වග නොදනිතත්
එවලෙට හිටිවන රඟන
අපගේම මෝහයෙන් ක්‍රමලේඛ ගත කළ 
රොබෝ නළු නිළියො අපි.

කේ. කේ. සමන් කුමාර 

Tuesday, February 5, 2019

නිර්මාණාත්මක ලේඛනය පාඨමාලාවට අයදුම්පත් කැඳවේ.




ප්‍රවීන ලේඛක කේ. කේ. සමන් කුමාර විසින් මෙහෙයවනු ලබන නිර්මාණාත්මක ලේඛනය වාර්ෂික පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම දැන් සිදු කෙරේ.

මෙම පාඨමාලාවෙන් අරමුණු කරනුයේ නිර්මාණාත්මක ලේඛනයේ න්‍යායික පාර්ශ්වය - තාක්ෂණික මෙන්ම දෘෂ්ටිමය පාර්ශ්වය පිළිබඳ අවබෝධය ලබා ගැනීම සහ ගවේෂණය උදෙසා ප්‍රවේශයක් ලබාදීමයි. එහිදී ප්‍රායෝගික අත්දැකීම් හා පුහුණුව තුළින් පමණක් ලබත හැකි මාධ්‍යමය හා වෘත්තීය පරිණත බව ලබා ගැනීම සඳහා මග පෙන්වීමක් ලබාදීමද සිදු කෙරේ. වෙසෙසින්ම අද්‍යතන ලෝකයේ සාහිත්‍ය සිතියම තුළ තම ආත්මීය, ස්වීය අනන්‍යතාව නිසි පරිදි ස්ථාන ගත කිරීම කෙරේ අවබෝධය මෙමගින් ලබා දෙනු ඇත. 

මුහුණු පොතේ නිර්මාණාත්මක ලේඛනය පිටුවෙන් අන්තර් ජාල ලියාපදිංචිය සිදු කළ හැක. අයදුම්පත් ලබා ගැනීම සඳහා විමසීම්:

දුරකථන- 0787355629

සම්බන්ධීකාරක,
නිර්මාණාත්මක ලේඛනය පාඨමාලාව
ග්‍රැෆිකෙයා ප්‍රකාශන,
අංක 136, කොස්වත්ත පාර,
කළපළුවාව, රාජගිරිය 

Tuesday, March 20, 2018

මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා



කේ. කේ. සමන් කුමාරගේ අලුත්ම නවකතාව ‘මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා’ කෘතිය 2018 අප්‍රේල් මස 05 වන බ්‍රහස්පතින්දා සවස 3.00ට ජාතික පුස්තකාල සේවා හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළි දැක්වේ.

1988 සිට 2018 දක්වා ලාංකීය වාම දේශපාලනය තුළ ඇති වූ විපරීතත්වය තේමා කොට ගත් මෙම කෘතිය පිළිබඳව ‘වාම සංඝායනාවකට නිමිත්තක්’ මැයෙන් පැවැත්වෙන කතිකාවට චූලානන්ද සමරනායක, අනිල් ලාල් තිබ්බොටුවාව සහ නන්දන වීරරත්න මුල පුරනු ඇත. කතිකාව මෙහෙයවීම අසංක සායක්කාරගෙනි.

අහස ප්‍රකාශනයක් වන ‘මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා’ කෘතිය එදින විශේෂ සහන මිලකට එහිදී ලබා ගත හැක. 

මෙහි කංචුක නිර්මාණය මොල සෙනෙවිරත්න ගෙනි.  

Sunday, March 4, 2018

පසෙන් උපන් යෝධයාගේ පාංශුමය සාහිත්‍යය


මා ඒ කාලයේ ඇන්දේ කොටකලිසම්ය. ඒද තිබුණේ දෙකකි. කොල්ලන් දිග කලිසම් ඇන්දත් පසුදා ඒ ඇඳ දොට්ට බසින්නට වන ලැජ්ජාව වසා ගන්නට මම සුද්දගෙ ඇඳුම යැයි දිගකලිසම් නාඳින ජාතිකවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළෙමි. එසේ නම් කොට කලිසමද  සුද්දාගේ කියා මට සිතුණේ නැත. කලිසම චීනාගේ යයි මා දැන ගත්තේ බොහෝ පසුවය. ඒ කාලේ ළමුන් ගැන සොයා බැලීමේ මෙතරම් ඉහවහා ගිය භීතිකාවක් වැඩිහිටියන්ට තිබුණේ නැත. කොහොමටත් අම්මාගේ පිස්සුව නිසා කලුවර වැටුණු පසු ගෙදර එන්නට හුරුව සිටි මට එම ප්‍රතිපත්තිය කුඩම්මා යටතේත් දිගටම ගෙන යන්නට විය. 

ඒ කාලේ මම පයින්ම සැතපුම් දහය පහළව හිස හැරුණු අතේ ගොස් රටතොට දැක බලාගන්නට පුරුදුව සිටියෙමි. ගොලු හදවත කියවා මම හොරණ තක්ෂිලාව බලන්නට පසුදා පාසලින් කට්ටි පැන පයින්ම හොරණ ගියෙමි. 

ඉතින් මම දිනෙක මේ මහා යෝධයාවද දැක බලාගන්නට ගියෙමි. ඇරුව්වල ඇත්තේ මොරකැටියෙන් හැරී දිගටම ගිය විට බව මම දැන සිටියෙමි. ඒ කාලේ පාරක් දැන ගන්නට ඕනෑ නැත. ඕනෑ කෙනෙක් පාර කියා දෙයි. කඩයකින් වතුර එකක් ඉල්ලූ විට අප වැනි ළමයින්ට සල්ලි නොගෙනම තේ එකකුත් දෙයි. විස්තර අසයි. මා මගේ දුව ගැන අද බිය වන සේ බිය වන්නට කිසිවක් නැත. තිබුණත් මට නම් එවැන්නක් තිබුණේම නැත.

ඇරුව්වල පාරේ එවිට තිබුණේ ගෙවල් කිහිපයකි. දිගටම කැලෑවල්ය. වෙල් යායවල්ය. මේ මල්දෙනියේ සිමියොන්හි කතා කෙරෙන පරිසරයය. හැමෝගෙන්ම අසාගෙන අන්තිමේ මම ඇරැව්වල හන්දියට ගියෙමි. පසුව එතැනින් ආපස්සටැයි කීයෙන් ආපිට හැරී මේ යෝධයාගේ නිවස පිහිටි ‘මල් උයන’ කරා ගියෙමි.

අඩවන් දොරට තට්ටු කළ විට ටිකකින් උලුවස්සටත් වඩා උස දෙදෙනෙක් එතැන පෙනී සිටියෝය. අතපය, පපුව පුරා පස් පිටින් නන්දිමිත්‍රයන්ය. එතැන සිරියාවට පුවක් මලක් සේ සිනා සිසී පුවක් ගසක් සේ උස සුදු ගැහැණියකි. ඒ ඔහුගේ බිරියය.

කතා කළ දේවල් මට මතක නැත. විනාඩි දහයක විතර සල්ලාපයකි. ඔහු කතා කළේ නැත. ගුවන් විදුලි නාට්‍ය ලියන්නට ඉගෙන ගන්නේ කෙසේදැයි මම ඇසුවෙමි.

‘අපි මේ කතා කරන විදිහට ලියන්න. එච්චරයි. තමන්ම හිතින් කතා කර කර.’

ඉන් දශක කිහිපයකට පසුව නිර්මාණාත්මක ලේඛනය පිළිබඳ පාඨමාලාවක් වසර තුනක් තිස්සේ පවත්වාගෙන ගිය මට අදද ලියන්නට කැමති කෙනෙක්ට කියන්න තියෙන්නේ එයමය. පෙදරේරු පාඨමාලා කළ වුන්ට උපකරණ එකසිය පනහක් විතර ඕනෑ යයි බාස්ලා අතර කියමනක් ඇත.

ඉන්පසු තවත් වරක් මා ඔහුව හමු වන්නට නිවසට ගියා මතකය. ඔහු සිටියේ වගාවකට පාත්ති සකසමින්ය.

මහවැලියේ ඔහු සේවය කළ කාලයේ සුගත් වටගෙදර, මනෝ අයියා, හා නන්දිමිත්‍රයන් ආදීන්ව හමුවන්නට මම සතියකට වතාවක් ‘ඉසුර’ ට යන්නෙමි. ඒ කාලේ තිබූ ඒ නිර්මල අව්‍යාජ නිහතමානී උපේක්ෂා සහගත බව මා පසුකලෙක මංමුලාවැල් පෑගී පිටසක්වළ බසින් දොඩන විවිධ අවධිවලද ඔහු මා වෙත පෑවා මට මතකය. 
1984 වන විට මා කාන්දමකට ඇදී ගියෙමි. ඒ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයයි. මා තවමත් රැකී සිටින්නේ එයින් ආරෝපණය වූ චුම්භක ශක්තියෙනි. ඉන්පසු ගන්ධබ්බ  කාලයකි. යළි මා ඇදී ගියේ දීප්ති මගේ දෙවන පියා ලෙස හඳුන්වන රොහාන් පෙරේරාගේ කාන්දමටයි. සකලවිධ න්‍යාය, මතවාද, ෂානරයන් පසුපස පරම්පරා තුනක් දිවුණු අද දක්වා රටටම වදකහ සුදියක් වුණු විෂම කතිකා යුගයක් ඇරඹුණේ ඉන් අනතුරුවයි.

මේ  කාලය තුළ ලාංකීය කැරලි දෙකක් පරාජය විණි. සමාජය ඉමහත් විපරීතත්වයක් තුළ ගිලී ගියේය. නව ජාතිකවාදීන් අතර නන්දිමිත්‍ර ලෙස හඳුන්වන චම්පික පාරිසරික දේශපාලනයෙන් ගල් අඟුරු බලාගාර හරහා මෙගාපොලීස් දක්වා ගමනක් ගියේය. එය සෝම හිමියන්ගෙන්, පූජනීය දේශපාලනයේ කස පිපිරුම්වලින් ඥානසාරගේ හා සමන්ත භද්‍රගේ අධෝවාත දක්වා පිරිහී ගියේය.

පසු කලෙක මම මල්දෙනියේ සිමියොන්ගේ ජන්ම භූමිය වූ රත්මල්දෙනියේ වැසියකුව සිටියෙමි. මා එදා ඒ යෝධයා හමුවන්නට ගිය කැලෑවල්වලින් හා වෙල්යායවල්වලින් හෙබි පරිසරය අද නිකම්ම වෙන්දේසි වත්තක් ගානට ගිහින්ය. පාර දිගේ කුණු ගොඩවල්ය. පාරේ ඇවිද යන්නට බැරි ගානට වාහනය.

ඇමරිකානු පාංශමය නවකතාව ( The novel of soil ) වැනි එෛන්ද්‍රීය බවකින් ලාංකීය  පොළොවෙන් පැන නැගි සාහිත්‍ය කෘති හා නිර්මාණකරුවන් අපට ඇත්තේ අතලොස්සකි. විදේශිකයකු වුව වුල්ෆ් පවා ඊට අයත් වේ. ඒ හැර ජයසේන ජයකොඩි, ඇන්. ටී.  කරුණාතිලක හා නන්දිමිත්‍රයන්ය. ඒ පැන නැගුණේ ජාතිකවාදීන්ගේ, යතාර්ථවාදීන්ගේ හෝ ජනතාවාදීන්ගේ මෙන් ඔලුවෙන් නොව පොළවේ පස්වලිනි. උස්පෙන්ස්කි සම්බන්ධයෙන් ට්‍රොට්ස්කි කී සෙයිනි. උස්පෙන්ස්කි නරොද්නිකයෙක් වුවත් ගම හා නගරය අතර තිබෙන ප්‍රතිවිරෝධයත්, ඒ නගරය කරා එන ආකාරයත් හඳුනා ගැනීමේදී ඔහු අපෝහකවාදියෙක් වූ බවත් සෑම විප්ලවවාදියෙක්ම උස්පෙන්ස්කිව කියවිය යුතු බවත් ට්‍රොට්ස්කි සඳහන් කළේය.

සැබැවින්ම පාර්ලිමේන්තුවේ වැඩි හරියක් ඉන්නේ මල්දෙනියේ සිමියොන්ලාය. මහා විධායකයන්, සමාගම් අධ්‍යක්ෂකවරු වැඩිය ඕනෑ නැත අපේ කලාකරුවන් වැඩිහරියක් තුළම මල්දෙනියේ සිමියොන්ලා ඔබට හමු වනු ඇත. සැබැවින්ම රටම මල්දෙනියකි.

කාරණය විප්ලවවාදීන්, පශ්චාත් නූතනවාදීන්, මනෝවිශ්ලේශකයන් තුළ පවා ඔබට මල්දෙනියේ සිමියොන් හමුවීමයි.

පොළවේ පස අමතක කොට අපට යා නොහැකිය. අප දිව්‍ය ලෝකයට නැගුණද අපගේ කොහේ හෝ පස් තැවරී තිබීම අනිවාර්යය.

මහාවංශයේ නන්දිමිත්‍ර යෝධයා මට මතක හිටින්නේ එකම කරුණකිනි. ඔහුගේ අසාමාන්‍ය පුරුෂ ලිංගය ඉණ වටා වට කිහිපයක් ඔතා තිබීම නිසාය. කොල්ලන් අතර ජනප්‍රිය කතාවකට අනුව එක් සිනමාලෝලියෙක් චිත්‍රපට සංස්ථාවට පැමිණ තම සිරුරේ සිංහල සිනමා වංශ කතාවම පච්චා කොටා ඇති බව කියයි. ඔහුව නිරුවත් කොට සිනමා ඉතිහාස වාර්තාවන්ට අනුව සසඳා බැලූ විට ඒ සත්‍යයකි. එහෙත් ඔහුගේ පුරුෂ ලිංගයේ පච්ච කොටා ඇති යමක් සොයා ගත නොහැකිය. එහි ඇත්තේ මසින් යනුවෙනි. සංස්ථාවේ නිලධාරිනියක් එය අල්වා විමසා බලන විට එය ප්‍රාණවත් වෙයි. එවිට එහි මල්දෙනියේ සිමියොන් යනුවෙන් පච්චා කොටා තිබේ. 

ප්‍රාන්ට්ස් පැනොන් ඇල්ජීරියානු යටත් විජිත මානසිකත්වය හඳුන්වන්නේ කලුහම සුදු වෙස් මුහුණ යනුවෙනි. ඒ කාල් යුංග්ගේ ෆර්සොනා- ෂැඩෝ (වෙස්මුහුණ හා සෙවනැල්ල)  සංකල්පය අනුදත්තකි. ඉහත ලිංගික සංඥාර්ථයන් පැන නගින්නේ හුදු අහම්බයන් ලෙස නොව කාල් යුංග් සඳහන් කරන අර්ථාන්විත අහඹු ලෙසය. සාමූහික අවිඥානය තුළ පවතින මේ පොළවේ පස හඳුනාගන්නට නම් අප හැරිය යුතු කිහිප දෙනා අතර නන්දිමිත්‍රයන් ඉදිරියෙන්ම සිටී.

පියාණෙනි, ඔබ මිය ගියත් මල්දෙනියේ සිමියොන් තවත් සියවසක් ජීවත් වනු ඇත. 

කේ. කේ. සමන් කුමාර