Wednesday, September 20, 2017

ගසා ගියා ඇගෙ පියයුරු පටිය යසයි


මහිලාවංශය පමණක් නොව සමන් කුමාරගේ සමස්ත සාහිත්‍ය වංශයම කියවන කෙනෙකු (වරදවා) වටහා ගැනීමට ඉඩ ඇති දෙයක් නම් සැම විටම ඔහු ලියන්නේ ලිංගික කාරණා පමණක්ය යන්නය. එනම් ඔහුගේ ලිවීම්වල කේන්ද්‍රීය තේමාව ලිංගිකත්වය බවය. සර්පයකු හා සටන් වැද, එසඳ මම බලා සිටියෙමි, සඳැල්ලෙන් වැටී මිය ගියහ ඔවුහු, ආසාත්මිකතාව ආදී කෙටිකතා පොත්වලින් සේම නෙරංජනේ ඉස්නානේ සහ මහිලාංවංශය යනාදී නවකතා තුළින් මතු කෙරෙන්නේ ලිංගිකත්වය පමණකැයි යන චෝදනාවෙන් සමන් කුමාරට ගැලවිය නොහැකිය.

ඇත්ත. මෙම කරුණ ඇත්තක්දැයි විමසා බැලිය යුතු තමයි. එහෙත් මෙහි දී අප පළමුව කිවයුතු දේ නම් මෙම ලිවීම කිසිසේත් සර්පයාගේ මහිලාවංශය හෝ ඔහුගේ අනෙකුත් කෘති පිළිබඳ සාහිත්‍ය විචාරයක් නොවන බවය. මෙහි දී සිදු වන්නේ අපගේ හැදෑරීම් සමන් කුමාරගේ ලිවීම් සමඟ ගැටෙන්නට ඉඩ හැරීමය. (පැරණි X කණ්ඩායම මීට බොහෝ කලකට පෙර හඳගමගේ තනි තටුවෙන් පියාඹන්න පිළිබඳ ලිව්වේ කෘතිය මේ තරම් නිසා නොව අපගේ හැදෑරීම් මේ තරම් නිසා යනුවෙනි.)

පසුගිය ලිපියේ දී සමන් න්‍යායිකව යාවත්කාලීන වී තිබේදැයි ප්‍රශ්න කරන විට මා කළේ ඔහුගේ දැනුමේ සීමාව සලකුණු කිරීමය. ඔහු බොහෝ කරුණු පිළිබඳ දැනුමැත්තකු නොවේ යයි ඉන් අදහස් නොකෙරේ. ඔහු ඉතා දුක සේ ගොඩනගා ගත් න්‍යායික දැනුම් සම්භාරයක් සහ දේශපාලනය සහ සාහිත්‍ය කලා පිළිබඳ තමාටම ආවේණික ප්‍රවේශයක් සහිත නිර්මාණකරුවෙකි. පසුගිය දිනෙක ඔහු රාවය පුවත්පතට (සම්මුඛ සාකච්ඡාවක දී) ප්‍රකාශ කර තිබුණේ තමා පාසල් පුස්තකාලයේ තිබූ පොත් සියල්ල මාස 3ක් ඇතුළත කියවා දැමූ බවය. මේ කතාව පැවසුවේ වෙනත් කෙනෙකු නම් එය පුරාජේරුවක් සේ සලකා බැහැර කළ යුතු හිස් ප්‍රලාපයකි. එහෙත් සමන් සම්බන්ධයෙන් එය එසේ යයි ගැනීමට මට නොසිතේ. ඒ ඔහුගේ දැනුම පිළිබඳ අඩමාන කල්පනාවක් අප තුළ නොමැති බැවිනි.

එසේ තිබිය දී සමන් කුමාර න්‍යායිකව යාවත් කාලීන වී නැතැයි යනුවෙන් කළ ප්‍රකාශයෙහි අර්ථය වන්නේ ඔහු සියල්ල (විශේෂයෙන් ස්ත්‍රිය සහ ලිංගිකත්වය) ඥාන විභාගාත්මකව විසඳීමට වෑයම් කරන බවය. එනම් තමා උපයා ගත් දැනුම ආත්මීය ගැටලු විසඳීම සඳහා භාවිත කිරීමය. මහිලාවංශය යනු ලිංගිකත්වය සහ ස්ත්‍රීත්වය පිළිබඳ ගැටලු කේන්ද්‍රීයව ගත් නවකතාවකි. එහෙත් එම ගැටලුවලට ඥාන විභාගාත්මක (Epistenological) ප්‍රවේශයක් ගැනීම මෙහි දී ප්‍රශ්න කෙරේ.

මහිලාවංශය ආරම්භ වන්නේ ලිංගිකාර්ථ නගන අශ්ලීල ස්වප්නයක් පිළිබඳ විස්තරයකිනි. එහි ඇති පශ්චාත් නූතන ලක්ෂණය වන්නේ එය විශාල ප්‍රේක්ෂාවක් සඳහා නිල් සිනමා පටයක් විකාශනය වීම ලෙස දිග හැරීමය. තමාගේ නවකතාවේ කේන්ද්‍රීය තේමාව ස්ත්‍රීත්වය සහ ලිංගිකත්වය (Femininity and sexuality) බව මෙතන දී සමන් එළිදරව් කරන බව සැබෑය. එහෙත් ඔහු එය තම දැනුමට යටපත් වීමට ඉඩ හරින බව විශද වන්නේ එම සිහිනයට පුරෝකථනයක් ලෙස ඉදිරිපත් කරන මෙම විස්තරයෙනි.

“එම සිහිනයට සමරූපී තවත් සිහිනයක් මිහිමත කිසිවකුත් දැක නැති බවට යුදෙව්වන්ගේ සිට අහිගුණ්ඨිකයන් දක්වා ද බෞද්ධයන්ගේ සිට ක්‍රිස්තියානීන් දක්වා ද ආටිමිඩෝරස්ගේ සිට රෆායෙල් දක්වා ද ෆ්‍රොයිඞ්ගේ සිට ලැකාන් දක්වාද, යුංගේ සිට ෆ්‍රෝම් දක්වා ද සියල්ලම සාක්ෂි දරනු ඇත්තේය. මෙහි කතා නායකයා සිහින අර්ථ දක්වන්නා වූ එෆ්.එම්. නාලිකාවන්හි අසන්නන් අසන්නියන් කිසිවකුත් එවැනි සිහිනයක් දැක නැති බවට ද ඔහුට සහතික කොට කිව හැකි විය.”

මහිලාවංශය 13 පිටුව.

මෙම ඡේදය තුළ ඇති සමන්ගේ ඥාන ගවේෂණය විස්තර කර කීමට ඔහු හෂිත අබේවර්ධන සේවයේ යොදවයි. සිහින යනු කුමක්දැයි දැනුම් ඉතිහාසය විසින් එළඹ ඇති නිගමන එම ටිප්පනිය තුළ විස්තර වේ. 
අපට මේ කරුණු සාකච්ඡා කිරීමට සිදු වී ඇත්තේ ෆ්‍රොයිඩියානු ප්‍රවාදවල කේන්ද්‍රීය තේමාව ලිංගිකත්වය බවත් එබැවින් ඔහු කළේ ලිංගිකත්වය තොරොම්බල් කිරීමකැයි (වරදවා) ගන්නා අමන මැට්ටන් අපමණවත් සිටින සන්දර්භයකය. (පරාක්‍රම කොඩිතුවක්කු එවැන්නෙකි.) එය හරියට ඩාවින් තම පරිණාමවාද ප්‍රවාද තුළ මිනිසා යනු වඳුරාගේ විකාශනයකැයි යනුවෙන් පවසා තිබෙන්නේ යයි කීම තරම්ම සාවද්‍ය ස්ථාවරයකි. ඩාවින්ගේ පරිණාමවාදයේ සැබෑ අර්ථය මිනිසා ඇතුළු සත්ව වර්ගයන්ගේ (Species)  පහළ වීම ආපතික වූ (Contigently) සිදුවීම් ලෙස ගැනීමය. ඒ අයුරින්ම ෆ්‍රොයිඞ්ට අනුව ගතහොත් මිනිසාට තිරිසනුන්ට මෙන් ක්‍රමවත් ලිංගික ජීවිතයක් නැත. ඔවුන්ට තිබෙන්නේ විපරිත වූ ලිංගික ජීවිතයකි. මිනිසුන්ගේ ලිංගික ජීවිතය දැනුමින් තේරුම් කිරීම (Epistemologically) වෙනුවට සත්භාවමය (Ontological) ක්‍රමවේදයක් ෆ්‍රොයිඞ් භාවිත කරන්නේ එබැවිනි. සත්භාවමය යන්නෙන් අදහස් වන්නේ අපගේ දැනුමින් පරිබාහිර දේ පවතීද යන්න පිළිබඳ විචාරයයි. එහි දී එළියට ගන්නේ දැනුම මඟින් යට ගසා තිබෙන කාරණාය. 

ෆ්රොයිඞ් සොයා ගන්නා පරිදි මනුෂ්‍ය ලිංගිකත්වය යනු ගැටලුවකි. අන් කවර හෝ ගැටලුවක් ලිංගිකත්වය කේන්ද්‍රීයව ගනිමින් විස්තර කළ හැකි කිසිවක් නොවේ. ඇත්තටම නම් ෆ්‍රොයිඞ් සොයා ගන්නේ ලිංගිකත්වය යනු නෛසර්ගිකවම අර්ථ විරහිත දෙයක් බවත් සියලු මානුෂික අර්ථ දැක්වීම්වල අවසන් ක්ෂතිජය ලෙස නොගත යුතු කිසිවක් බවත් ඇලෙන්කා සුපැන්සික් (Alenka Zupancic) පවසයි.

මහිලාවංශය මෛථුන්‍යය තොරොම්බල් කරන්නේ එය සැබැවින්ම පවතින කිසිවක් සේ (වරදවා) ගනිමිනි. එහෙත් ෆ්‍රොයිඞ් ඔහුගේ Three Essays on the theory of sexuality (1905 නමැති වියමනෙහි මීට එරෙහිව නඟන තර්ක සාරාංශ කොට කිවහොත් මෙවැන්නකි. (මානුෂික) ලිංගිකත්වය යනු නොපවතින්නා වූ නියාම ධර්මයකින් පිට පැන ගිය විරුද්ධාභාස ආරූඪ කරගත් (Paradoxridden) කිසිවකි. ෆ්‍රොයිඞ් එහි ලා විස්තර කරන ලිංගික මුළාවක්(Sexual aberations)  වූ කලී වෛද්‍ය විද්‍යා දැනුම විසින් ද හඳුනා ගන්නා සමලිංගිකත්වය, පුරුෂයන් අතර ලිංගික පැවතුම්, ළමා ලිංගික අපචාරය, අර්චනකාමය, නැරඹුම්කාමය, පරපීඩා කාමුකත්වය, ස්වපීඩා කාමුකත්වය ආදී විපරිත (Perverse)  හැසිරීම්ය. මෙබඳු ලිංගික හැසිරීම්වලට වස්තුවක (Object) ඍජු සම්බන්ධයක් නැති අතර ලිංගික හැසිරීමෙහි අරමුණ සේ සැලකෙන වර්ගයා බෝ කිරීම ද මෙමඟින් සිදු නොවේ. සැබැවින්ම මේවා ලිංගික හඹා යාම්ය. (Sexual drives). ෆ්‍රොයිඞ්ට අනුව ලිංගික හඹා යාම් එහි වස්තුවෙන් ස්වාධීනව පවතින්නකි. එසේම එය පටන් ගැනෙන්නේ වස්තුවෙහි ආකර්ෂණයක් නිසා නොවන්නේය.

යට කී විපරිත ලිංගික චර්යාවන් න්‍යායගත කිරීම දැනුම් ඉතිහාසය තුළ අපට අනන්තවත් හමුවේ. කාම සූත්‍රය ලියූ වාත්ස්‍යායනගේ සිට හැව්ලොක් එලිස්, ඩෙස්මන්ඞ් මොරිස් යනාදී නූතනවාදී විද්වතුන් දක්වා මෙම න්‍යායගත කිරීම විහිදී ඇත. විශේෂයෙන්ම ඩෙස්මන්ඞ් මොරිස් මනුෂ්‍ය ලිංගිකත්වය වානර ලිංගිකත්වය සමඟ තුල්‍යව ගෙන විශ්ලේෂණය කරයි. සමස්තයක් වශයෙන් මහිලාවංශය (එහි අධිසත්තාවාදී නිර්මාණ ප්‍රවේශය හැරුණ විට) ලිංගිකත්වය පිළිබඳ යට කී න්‍යායගත කිරීම්වල නිර්මාණාත්මක ප්‍රකාශයක් ලෙස දැක්විය හැකිය. එහෙත් ලිංගිකත්වය පිළිබඳ ගැටලුව අපට ග්‍රහණය කරගත හැක්කේ සත්භාවාත්මක තලයකදීය.

සමන් කුමාරගේ ලිවීම් තුළින් ප්‍රකාශමාන වන්නේ සාහිත්‍යකරුවකු වීම නිසාම ජනිත වන අතිරික්ත විනෝදයයි (Surplus Enjoyment) ඔහු සාහිත්‍යය ලෙස ඉදිරිපත් කරන්නේ තමාගේම ජීවිතයයි. සාමාන්‍ය වශයෙන් සමන්ට මෙන් වෙනත් කෙනෙකුට මහිලාවංශය හෝ ඔහුගේ වෙනත් කවර හෝ සාහිත්‍ය කෘතියක එන ආකාරයෙන් ලිංගික කාරණා ලිවිය නොහැකිය. සමන් එය කරන්නේ නවකතාව, සිනමාව බඳු විපරිත කලාවක් බවට හරවා ගැනීමෙනි. වික්‍රමසිංහගේ ගම්පෙරළිය වූ කලී සැඟවගත් ලිංගිකාර්ථ සහිත අශ්ලීල නවකතාවක් වෙතත් එය හුදු සමාජ පෙරළියක ශිෂ්ට සම්පන්න කතාවක් බවට ඌනනය විය. එහෙත් එය සිනමාවට නැගීමේ දී ප්‍රබල ප්‍රේම කතාවක් බවට පරිවර්තනය කිරීමට ලෙස්ටර්ට හැකි වන්නේ සිනමාව විපරිත කලාවක් බැවිනි. සමන් සිනමාකරුවකු විණි නම් (නැතහොත් මහිලාවංශය සිනමාවට නැගිණි නම්) අපට ඔහු තුළින් හමුවිය හැක්කේ ලින්ච් කෙනෙකි. 

සැබැවින්ම අප මහිලාවංශය ලිංගිකත්වය න්‍යායගත කිරීම්වල නිර්මාණාත්මක ප්‍රවේශය ලෙස ගත්තත් විරුද්ධාභාසික ලෙස එහි සත්භාවමය ලක්ෂණ අඩංගු කර ගනී. මොහාන් රාජ් මඩවලගේ Sex සමන්ගෙන් වෙනස් වන්නේ එතැනිනි. සමන් කුමාර ඒ අතින් ලිංගිකත්වයේ ආත්මීය ස්වරූපය ද ස්පර්ශ කරයි. ඇත්තටම නම් මොහාන් කරන්නේ සමීක්ෂණාදිය මඟින් දැනුම එකතු කර ඒවා විකිණීමට සුදුසු පරිදි සකස් කිරීමය. ඔහුගේ කෘතිවල 
ලිංගිකත්වය (Sex) දෝරේ ගලන බව හැමෝම දනිති. ඒවායේ ලිංගික කරුණු තිබෙන බව කල් තබාම අපට දැනුම් දෙන්නේ මොහාන්ය. එහෙත් සමන්ගේ කෘතිවල එන ලිංගික කාරණා හමුවේ මොහාන්ගේ Sex මොනවාද! හැබැයි සමන්ගේ පොත්වල දෝරේ ගලන්නේ ස්ත්‍රී පුරුෂ රමණයට අදාළ කාරණා බව කියවන්නිය වටහා ගන්නේ ඒවා කියවාගෙන යද්දීය. ඔහු තමාගේ පොත්වල එබඳු ලිංගික කරුණු තිබෙන බවට කොහේදිවත් කියා නැත. ඇත්ත නම් සමන් ආත්මීය ලෙස තමාගේ ලිවීම්වලට සෑහෙන තරමින් ලිංගික බවය. මොහාන් ඒ තරම්ම 
අලිංගිකය. හේතුව මොහාන් රාජ්ගේ ලිංගිකය Sex වාස්තවික දෙයක් වී තිබීමය.

බොහෝ විට ලිංගිකත්වය ක්‍රියා කරන්නේ ලිංගිකත්වය නොමැති තැනය. නැත්නම් ව්‍යාජ ලෙස ලිංගිකත්වය නැතැයි හඟවන තැනය. නිදර්ශනයක් ලෙස වාමාංශික දේශපාලන ක්‍රියාකාරීන් කටයුතු කරන්නේ අලිංගික (Asexual) සත්ව කොට්ඨාසයක් පරිදිය. එහෙත් අප හොඳින්ම දන්නා කරුණක් නම් වාමාංශික ව්‍යාපාර කඩා වැටෙන්නේම රහසිගත ලිංගික සබඳතා හෝ පෙම් සබඳතා නිසාය. (පැරැණි X කණ්ඩායමට සිදු වූ දේ ගැන දීප්තිගෙන් අහන්න) සයිමන් නවගත්තේගමගේ සාපේක්ෂණී නවකතාවේ කියවෙන විප්ලවවාදී ව්‍යාපාරය තුළ පවතින ලිංගික තහංචි නායකත්වයේ ලිංගික දුබලකම්වල ප්‍රකාශනයක් ලෙස දකී. 

එහෙත් ධනේශ්වර දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ එවැනි තත්ත්වයක් දුට නොහැක්කේ මන්ද? එහි පාක්ෂිකයන්ට හෝ නායකකාරකාදීන්ට ලිංගිකත්වය ප්‍රශ්නයක් නොවේ. ඔවුන්ට අවශ්‍ය පාක්ෂික භාවය (Loyalty) පමණකි. මින් අපට වැටහී යා යුතු දේ නම් දැනුම මඟින් ලිංගික ගැටලු විසඳිය නොහැකි බවත් ගෝලීය සංස්කෘතිය තුළ ඊට ඉඩ කඩක් නැති බවත්ය. 

මෙහි දී කිව යුතු කරුණක් නම් ෆ්‍රොයිඩියානු අර්ථයෙන් යම් අවැසිතාවක් සංතෘප්ත කර ගැනීමට සමාන්තරව වෙනත් අතිරික්ත සංතෘප්තයක් ද ලබා ගන්නා බවය. මෙම අතිරික්ත තෘප්තිය හැම විටම ෆ්‍රොයිඩියානු ලිංගිකය සමඟ සම්බන්ධය. සංස්කෘතියේ උත්පාදක මූලාශ්‍රය (Generative Source) හැම විටම ලිංගික (Sexual) වන්නේ එම අර්ථයෙනි. මෙහි දී ලුබ්ධිය (Libido)  පිළිබඳ ෆ්‍රොයිඩියානු සොයා ගැනීම (සර්පයා තම ලිවීම් තුළ නිරන්තරව තොරොම්බල් කරන) කාල් යුංග්ගේ (යුංගියානු) අර්ථ දැක්වීම්වලට පටහැනි වීම සහ මහිලාවංශය ලිවීමේ දී සමන්ට එය බලපා තිබෙන ආකාරය සොයා ගැනීම සඳහා අපට තව කාලය අවශ්‍යය.



නිසැකවම මහිලාවංශය යනු (පෙර කී පරිදි) ලිංගිකත්වය කේන්ද්‍රීය තේමාව ලෙස ගත් රචනාවකි. එහෙත් මෙහි ලිංගිකත්වය වූ කලී පාර්ශ්වීය වස්තූන් හඹා යන (Drives) අපරිපුර්ණ ලිංගිකාර්ථයකි. එනයින්ම හැම විටම එය විපරිතය. අප මේ දීර්ඝ ලිවීම තුළ අවධාරණය කළ පරිදි ෆ්‍රොයිඞ්ට අනුව වෙනත් ඕනෑම ක්‍රියාවක අතිරික්ත වූ ලිංගිකත්වයක් ඇත. එසේම එයට ප්‍රතිවිරුද්ධ ලෙස ලිංගික ක්‍රියාවන් අතරතුර වෙනත් දේවල් පිළිබඳ සිතීම ද සිදු වේ. මහිලාවංශයෙහි පළමු පරිච්ඡේදය රමණ ක්‍රීඩාව පිළිබඳ විස්තරයකි. එම රමණ ක්‍රියාව අතරට දැනුම් ඉතිහාසය කඩාවදී. එම පරිච්ඡේදය අවසන් වන්නේ මෙසේය. 

“ඔබ අං කටුස්සා පිටුපස යනවා නම් 185 පිට පෙරළන්න ඔබ පැන්ටිය වෙත යාමට තීරණය කරන්නේ නම් 221 පිට පෙරළන්න.


ඔබ තිසර පට වෙත යාමට තීරණය කරන්නේ නම් 177 වන පිට පෙරළන්න. 
173 පිටුව


ෆ්‍රොයිඩියානු අර්ථයකින් මෙය ලිංගික වෙතත් එය පාර්ශ්වීය වස්තූන් කෙරේ ඇලුන ලිංගිකමය හඬායාම් (Sexual Drives)  රාශියකි. එහෙයින් එහි ඇත්තේ විපරිත ලිංගිකත්වයක් බව නොකිවමනාය. ෆ්‍රොයිඞ් මේවා නම් කළේ ලිංගික මුලාවන් (Sexual aberrations)  නැතහොත් ලිංගිකමය නොමඟ යාම් ලෙසය. මහිලාවංශය පුරාම විස්තර වන්නේ අර්චනකාමී වූ එබඳු විපරිත චර්යාවන්ය. මෙම අර්චනකාමය (Fetishism)  පයෝධරවල සිට, පුරුෂ ශිෂ්ණය දක්වා විහිදෙයි. පියයුරුම පසුබිම්කොට ගත් ලිවීමක් ‘පයෝධර පටට වග්ගෝ’ යනුවෙන් දැක්වේ. එම පරිච්ඡේදය (එය නවකතාවේ එක් පරිච්ඡේයක් නම්) ආරම්භ වන්නේ කොළඹ කවි සමය තුළ ලියවුණ මෙබදු කවි දෙපදයකිනි. 

“ගිම්හානයේ ඒ දවසේ සුළඟ තදයි
ගසා ගිය ඇගෙ පියුරු පටිය යසයි”
177 පිටුව


කකසකු නමින් හැඳින්වෙන මෙහි කථකයා තමාට අසාමාන්‍ය ලෙස විශාල පුරුෂ ලිංගයක් තිබෙන බවට නිරතුරුව තොරොම්බල් කරයි. මෙබදු විපරිත ලිංගිකත්වයක් අප ෆ්‍රොයිඩියානු කියවීම් ඇසුරෙන් අර්ථ දක්වන්නේ කෙසේද?
ෆ්‍රොයිඞ් මෙම විපරිත චර්යාව එකවිටම දෙආකාර දිශානත වීමක් දකී. එක් අතෙකින් ඔහු පුළුල්ව පෙන්වා සිටින්නේ මේ ලිංගික මුලාවක් ආශ්‍රිත ක්‍රියා සම්බන්ධ වන යාන්ත්‍රණය “ස්වභාවික” නැතහොත් ‘සාමාන්‍ය’ යයි කියන ලිංගික ක්‍රියාව තුළ පවා දැකිය හැකි බවය. එනම් ලිංගික ක්‍රියාවේ දී පාර්ශ්වීය වස්තූන් කෙරේ ඇලීම අවශ්‍යය. එහෙත් එතැන දී ඒවා විපරිත කොට නොගැනෙයි. ඒවා විපරිත කොට සලකන්නේ ලිංගික වස්තුවෙන් (ස්ත්‍රිය හෝ පුරුෂයා) මුළුමනින්ම ස්වාධීනව පවතිමින් ඉන් අපේක්ෂිත අරමුණ (දරුවන් බිහි කිරීම) අත්හැර යෙදෙන විටය. එනම් කිසිදා අර්ථාන්විත අරමුණකින් තොරව එය පාර්ශ්වීය අරමුණ කෙරේම ස්වතන්ත්‍රව පැවතීමය. 

දෙවනුව ඔහු පෙන්වා සිටින්නේ හඹායාම් (Drives) කැබලි වූ (pragmented) පාර්ශ්වීය ලෙස එහි වස්තුවෙන් වියුක්ත වූ කිසිවක් ලෙසය. ෆ්‍රොයිඞ්ට අනුව ලිංගික හඹායාම මුලින් එහි වස්තුවෙන් ස්වභාවිකව පවතින අතර එය හට ගන්නේ වස්තුවෙහි ආකර්ෂණය නිසා නොවේය. මෙම ෆ්‍රොයිඩියානු නිරීක්ෂණවලට අදාළ සංකල්පයේ මුල් විහිදුණ තැන් සෙවීම මෙතැන දී වටනේය. ෆ්‍රොයිඞ් ගෙන හැර දක්වන එක් උදාහරණයක් නම් ඇඟිල්ල ඉරීමය. ඔහු එය විශ්ලේෂණය කරන්නේ ළමා ලිංගිකත්වය ප්‍රකාශමාන වීමක් ලෙසය. ඇඟිල්ල ඉරීම කිරි ඉරීමට සමානව ආහාර අවශ්‍යතාවකින් සිදු වන්නක් නොවේ. මෙම මුඛ හඹායාම (Oral Drive) කිරි ඉරීමේ දී මුඛ පෙදෙස ලද සන්තර්පණය යළි සොයා ගැනීමකි. ඒ අනුව මුඛ සන්තර්පනය ආහාර සන්තර්පනයේ දී ලැබෙන අතුරු නිෂ්පාදනයකි.

ෆ්‍රොයිඞ් ලිංගිකත්වයට අදාළව කරන පැහැදිලි කිරීමක් නම් ලිංගිකමය යන්න කිසි විටෙක ලිංගෙන්ද්‍රයන් සමඟ පටලවා නොගත යුතු බවය. ලිංගේන්ද්‍රයන් ආශ්‍රිත ලිංගිකත්වය පූර්වජ නැතහොත් ස්වාභාවික ප්‍රපංචයක් නොවේ. එය ජනනේද්‍රයන්හි භෞතික වැඩීම සහ සංකේතික වූ සංස්කෘතික පරාමිතීන් ආශ්‍රිතව අවස්ථා කීපයක් පසුකර ගොඩනැගෙන්නකි. ආරම්භයේ දී දැකීම, අතගෑම, ලෙවකෑම වශයෙන් පාර්ශ්වීයව පැවැති 
ලිංගික හඹා යාම් කිසියම් අවස්ථාවක ඒකාබද්ධ වීමකි. මේ ඒකාබද්ධවීම (Unification) එක් අතෙකින් බලහත්කාරී ලෙස කෘතිමව සිදු විය හැකිය. එසේම සියලු හඹායාම්වල එකතුවක් ලෙස කිසිවිටෙක එය සපුරා සාක්ෂාත් කර ගත නොහැකිය. මේ අනුව සාමාන්‍ය ස්වාභාවික මිනිස් ලිංගිකත්වය යනු සෑම විටම කෘතිම ලෙස ස්වාභාවික බවට පත් කරන ලද්දකි. 

ඉහත විස්තර කළ සූත්‍රය මහිලාවංශය තුළට රැගෙන ආ විට අපට පෙනී යන්නේ විපරිත 
ලිංගිකත්වය දිගින් දිගටම තොරොම්බල් කරන ලිවීමකි. බාගවිට මෙහි විස්තර වන ලිංගිකත්වය වෙන කවර හෝ දියුණු සාහිත්‍යයක දක්නට නැති සුමට නොවූ රළු ලිවීමක් බව බැලූ බැල්මට පෙනී යයි. ඔවුන් දෙදෙනා අතර ඇදී යන රමණ ක්‍රීඩාව අතර තුර කථකයාගේ මුවින් අශිෂ්ට අශ්ලීල වදන් පිටවේ. (මෙය ලෝරන්සියානු මැලෝර්ගේ මුවින් පිටවන නෝටින්හෑම් උප බසක ඇති අශිෂ්ට බව ද ඉක්මවයි) සැබැවින්ම කථකයා විස්තර කරන්නේ තමන් ආශා කරන දේ නොව වෙනත් කෙනෙකුගේ ආශාව පිළිබඳ තමන් සිතන දේවල්ය. එය ෆැන්ටාස්මතික වූ මායා ජාලයකි. එහෙත් අප ෆැන්ටසි යනුවෙන් හඳුනාගන්නේ තමන් ආශා කරන දේය. එබඳු ලිංගික ෆැන්ටසි පිළිබඳ විස්තර එලෙස රළු පරළු විය නොහැකිය මහිලාවංශයේ ලිංගික විස්තර රළු වන්නේ එම අරුතිනි. 

ෆ්‍රොයිඞ් හඹායාම් ලෙස දක්වන්නේ මහිලාවංශය දිගින් දිගට තොරොම්බල් කරන ආකාරයේ පාර්ශ්ව වස්තූන් කෙරේ ඇලීමටය. කථකගේ දෑස වර්ණනා කරන කවියක (ඔබේ නීල චංචල කිඳුර දෑස) අපට හමුවන්නේ මේ හඹායාමය. ෆ්‍රොයිඞ් ලුබ්ධිය (Libido)  යනුවෙන් හඳුන්වන සංකල්පය අදාළ වන්නේ එකී හඹායාම්වල දී භාවිත කරන ශක්තිය (energy) ගැන සඳහන් කිරීමටය. සංක්ෂිප්තව කියන්නේ නම් ලුබ්ධිය යනු යම් අතිරික්ත තෘප්තියක් (Supplimentary Safistaction) ලැබීමේ ක්‍රියාදාමයට අදාළව වැය කරන ශක්තිය. නිදර්ශනයක් ලෙස ඇඟිල්ල ඉරීම හුදු ආහාර අවශ්‍යතාවකින් තොරව ශ්ලේෂ්මල පටලය (Mecus Memdrane) උත්තේජනය කිරීම සඳහා පමණක් යෙදෙන ක්‍රියාවක් වේ. නිසැකවම ෆ්‍රොයිඞ්ට අනුව මේ උත්තේජනය ලිංගිකය. 

ලිංගික සංසර්ගය නියමානුකූලව ලිංගික වන්නේ එබඳු විවිධ පාර්ශ්වීය හඹායාම් (Drives) එකතුවෙනි. 
නිරන්තරවම සර්පයාගේ සම්භාවනාවට ලක් වන කාර්ල් යුන්ග් (Carl Jung) ෆ්‍රොයිඞ්ගෙන් වෙනස් වන්නේ මෙතනදීය. යුන්ග් ලබ්ධිය නම් වූ ෆ්‍රොයිඩියානු සංකල්පය භාවිත කරන්නේ ඊට වෙනස් අර්ථක් සපයමිනි. කාර්ල් යුන්ග්ට අනුව ලුබ්ධිය යනු ශාරීරික ශක්තියේ මානසික ප්‍රකාශනයයි. ඒ අනුව යුංගියානු ලුබ්ධිය වූ කලී මානසික ශක්තිය හැඳින්වීමට යොදන සාමාන්‍ය නාමයයි. එය ආරම්භයේ දී ලිංගික නොවන අතර එය ලිංගික විය හැක්කේ සමහර කලාපවල දී පමණකි. ලුබ්ධිය පිළිබඳ මෙකී යුංගියානු නිර්වචනය ෆ්‍රොයිඞ් භාරගන්නේ මෙතෙක් මනෝ විශ්ලේෂණය මඟින් දිනාගෙන ඇති සියල්ල පාවා දීමක් වශයෙනි.

ෆ්‍රොයිඞ් ලුබ්ධිය යන යෙදුම සමඟ මනුෂ්‍ය ස්වභාවයේ පවතින අසමතුලිත බව සලකුණු කරයි. කෙනෙකු තම අවශ්‍යතාව සපුරා ගැනීමෙන් ලබන තෘප්තිය සමඟ යම් අතිරික්ත තෘප්තියක්ද ප්‍රීනනය කරන බව ෆ්‍රොයිඞ් පෙන්වා දෙන්නේ එම අර්ථයෙනි. එය වූ කලී මූලික අරමුණින් බැහැර වූ ගමන් පථයකි. (Detour) ෆ්‍රොයිඞ්ට අනුව ලිංගික ලෙස පෙර තහවුරු කරන ලද ස්ථාවර වූ කිසිවක් නැත. ලිංගිකත්වය යනු මනුෂ්‍ය ක්‍රියාකාරිත්වයේ නැතහොත් ජීවිතයේ වෙනම විජිතයක් නොවේ. මනුෂ්‍ය ජීවිතයේ සියලු විජිත යන්හි (Domains) ලිංගිකත්වය පවතින්නේ එබැවිනි.
සමන්ගේ ක්‍රමවේදය වී ඇත්තේ ලිංගිකත්වය කේන්ද්‍රීයව ගත් ඥාන මීමංසාවකි. 

මෙය ලිංගිකත්වය පැවැත්මේ (being) ලක්ෂණවලින් එකක් ලෙස නිශ්චය කර ගැනීමය. එහෙත් ෆ්‍රොයිඩියානු තර්කය එය නොවේ. ෆ්‍රොයිඞ්ට අනුව )පාර්ශ්වීය හඹායම්වල අසංගත වටලෑමක් සේ ගන්නා) ලිංගිකත්වය යනු පැවැත්මේ අසංගත බව මනෝ විශ්ලේෂණීය ලෙස නම් කිරීමය. මෙය ලැකාන් වහාම බදාගත්තේ ලිංගිකත්වය යනු රැඩිකල් සත්භාවවාදී අවුලක් (radical Ontological impasse) ලෙස ගනිමින්. අවිඥානයේ යථාර්ථය ලිංගිකමය යථාර්ථයක් ලෙස ලැකාන් හඳුන්වන්නේ එම අර්ථයෙනි. ඒ අනුව අවිඥානය යනු වාස්තවික යථාර්ථයක් විෂය මූලික අප රූපණයක් (Distortion)  නොවේ. ඒ වූ කලී යථාර්ථයේම දෝෂයකි. නැතහොත් යථාර්ථයේ අසම්පූර්ණ සත්භාවමය වූ ගොඩනැංවීමකි. 

අප මේ න්‍යායික කියවීම් සමඟ යළි මහිලාවංශය තුළට එබී බලන්නේ නම් අප දකින්නේ පාර්ශ්වීය වස්තූන් කෙරේ ඇලුන විපරිත ලිංගිකත්වය පිළිබඳ ෆැන්ටසි සවාරියකි. හේරුන්ඩ පක්ෂියා පිට නැගී යන මේ සංචාරය තුළ ඔවුන් (කුවේණිය සහ කකසකු) අසන දකින සහ යළි යළිත් වන පොත් කරන දැනුම ලිංගිකකරණය කෙරේ. මෙහි එන ඉතිහාස කතා, ජනකතා, වනකතා, චෝරකතා ආදී සියලු අධ්‍යයනයන්, කේන්ද්‍රීයවන්නේ 
ලිංගිකත්වයටය. එය ද නිරන්තරවම පාර්ශ්වීය වස්තූන් කෙරේ ඇලුන ලිංගික හඹායාම්ය.


මෙහි එන ලිංගික සම්ඵපලාප (නිදර්ශන ලෙස 224 පිටුව ඔස්සේ කියවන්න) මඟින් සමන් 
ලිංගිකත්වය ලෙස ගන්නේ විපරිත මිනිස් ස්වාභාවයයි. අනෙක් අතට ඔහු එමඟින් ස්ත්‍රිය ආත්මීයව වටහා ගැනීම කල් තබයි. සමකාලීන ස්ත්‍රියගේ දුරස්ථ බව ඉන් විශද නොවේ. ඔහු දිගින් දිගටම සොයමින් සිටින්නේ අසූව දශකයේ සාංදෘෂ්ටික පැවැත්ම තුළ මුණ ගැසුණ ස්ත්‍රියයි. සාංදෘෂ්ටික යනු (සුමංගල ශබ්ද කෝෂයට අනුව) මේ ජීවිතයේ දී පමණක් විඳිය යුතු යන අර්ථ සහිතය. එලෙස සාංදෘෂ්ටික ජීවිතයක් සමකාලීන මිනිසාට නැති බව වටහා ගැනීමට තරම් සමත්යාවත්කාලීන නොවීමෙන් ඔහුගේ නිර්මාණ කෞශල්‍යයෙන් අපට ලැබිය යුතු විශාල පරාසයක් අහිමිවී යයි. සැබැවින්ම සංක්ෂිප්තව කියන්නේ නම් සර්පයාගේ නිර්මාණවලින් ප්‍රකාශමාන වන්නේ සර්පයාට සර්පයාටම මුහුණ දීමට නොහැකි වීම නිසා වන අර්බුදයයි. මහිලාවංශය තුළ ලිංගිකත්වය දෘෂ්ටිවාදයක් ලෙස පොලා පැනීම සිදු වන්නේ එම ආත්මීය අර්බුදයේ ප්‍රකාශනයක් ලෙසය. කෙසේ වෙතත් ලිංගිකත්වය දෘෂ්ටිවාදයක් ලෙස මතුවීම යහපාලන දෘෂ්ටිවාදය තරම්ම හානිකර විය හැකිය. මක්නිසාදයත් ෆ්‍රොයිඞ් බැහැර කළ කිසිවක් (සියල්ල ලිංගිකත්වය මඟින්ම තීන්දු නොවීම බව ෆ්‍රොයිඩියානු තර්කයයි) මෙම ලිවීම තුළ කලාත්මක කෙරෙන බැවිනි.

සමන් කුමාරගේ නිර්මාණ භාවිතාව පමණක් නොව ඔහුගේ විචාර ලෝකය ද දිශානත වන්නේ අසූව දශකය කෙරේ වන නොස්ටැල්ජියාවයි. මේ නිසා සමකාලීන මිනිසා අතිශය ආත්මරාගී ලෙස තමා විසින් තමා නිර්මාණය කර ගනිමින් සිටින්නේය යන පශ්චාත් නූතන පැවැත්ම ඔහුට මඟ හැරෙයි. එම අර්ථයෙන් ඔහු කොතෙක් ඥාන විභාගාත්මක ලෙස දැනුම ලුහුබැඳ ගියත් ඉතිහාසය දිගින් දිගටම තොරොම්බල් කළත් සමන් කුමාරගේ ලිවීම් අදේශපාලනිකය. හරුකි මුරකාමී වෙනස් වන්නේ කෙසේදැයි හැදෑරීම මැනවි. 

මෙම ලිපිය කේ. කේ. සමන් කුමාරගේ (සර්පයා) සාහිත්‍ය භාවිතාව අරභයා ලියූ දීර්ඝ ලිවීමක අවසානය වුවත් ස්ත්‍රිය පිළිබඳ ඔහුගේ කියවීම මෙහි මඟ හැරී ඇත. බොහෝ විට ඔහුගේ නේරන්ජනේ ඉස්නානේ කෘතිය ඇසුරු කර ගනිමින් එය පසුව ලිවීමට ඉතිරි කර ගනිමි. 

සමන් වික්‍රමාරච්චි

Monday, December 12, 2016

ලොලීටා, නොමිහිරිය බලනු මැන...

ලෝරා පෙනී


(ලෝරා පෙනී සංසන්දනාත්මක සාහිත්‍යය පිළිබද ආචාර්ය උපාධිධාරිනියකි. ඇය මවුන්ට් සේන්ට් වින්සන්ට් සරසවියේ උගන්වනු ලබයි. මෙහි සඳහන් නිදන කාමර කට්ටලය පසුව දෙමාපිය චෝදනා මත සමාගම විසින් වෙළඳපලෙන් ඉවත් කර ගන්නා ලදී.)




එක්සත් රාජධානියේ වූල්වර්ත් සමාගම The Lolita Midsleeper combi- ලොලීටා බහුකාර්ය බාලිකා නිදන කාමර කට්ටලය යනුවෙන් බාලිකා නිදන කාමර කට්ටලයක් අයෝග්‍ය ලෙස නම් කිරීමෙන් මේ පෙබරවාරියේදී (2008) මව්පිය කෝපය ඇවිස්සුවා.
‘අපේ කාර්ය මණ්ඩලය කවදාවත් ලොලීටා ගැන අහලා තිබුණෙ නෑ. ඉතින් අපිට විකීපිඩියා එකේ බලන්න උනා. නමුත් දැන් අපි හරියටම දන්නවා ඈ කවුද කියලා” සමාගමේ ප්‍රකාශකයෙකු කිව්වා.
පුවත්පත් සිරස්තල හැදෙන්නෙ මෙබඳු තකතිරු දේ වලින් තමයි. ව්ලැදිමීර් නබකොව්ගේ ලොලීටා කියවීමේ මාහැඟි සතුට කිසිදා ලබා නැති වුනත් ඔබ එහි අපකීර්තිමත් වස්තුවිෂය ගැන දන්නවා. මැදි වයසේ සිටින හම්බර්ට් හම්බර්ට්ව ඔහුගේ 12 වියැති සුළුදියණිය, සිඟිති දිය කිඳුරිය ඩොලරස් හේස් විසින් ප්‍රේමයෙන් මුසපත් කරනු ලබනවා. ලොලීටා යෙදුමක් ලෙසට  උත්කර්ශනය වී ඇති දුර්ලභ ග්‍රන්ථනාමයන් අතරින් එකක්.
ලොලීටා කියන්නෙ නිකම්ම ප්‍රේම කතාවක් නෙමෙයි. එය හිරගෙදරක පාපොච්චාරණයක්. නොදැමුණු පුද්ගලයෙකුගේ විකුම් මං සැරියක්. නබකොව් පිළිකුල් කලාවූ “ප්‍රොයීඩියානු හූනියම” පිළිබඳ හාස්‍යානුකරණයක්. පැටලිලි සහගත ලෙස සැලසුම් කළ මිනීමැරුමක් ගැන අබිරහසක්. එක්සත් ජනපද භූමිදසුන් සහ එහි බස වෙත ලියූ රාගෝන්මාදී පෙම් හසුනක්. නබකොව් විස්මකුරු ලෙස අනුවර්තනය කරගත් තම වාග්මාලාවේ ගැලෙත්ම මෙහි ගැදි ආර ප්‍රමුදිත මෙන්ම බහුශ්‍රැතයි, ලැසි පිමි සහිතයි වගේම සරදම්කාරීයි. එය ඒ සූක්ෂම සරදම් සහ රසවත් වාග් හරඹවලින් තෙරපා හිරකොට අසුරා තිබෙනවා.
කලබැගෑනි සහගත ලෙස විනෝදකාමී මෙන්ම, හදවත කුඩුපට්ටම් කරන තරම් ශෝකාකූල ලොලීටා යනු 20වන සියවසේ අනෙකුත් නවකතාවන් එහි විචිත්‍ර දූලියෙන් හුස්ම සිරවෙන්නට හැරියාවූ කලා නිපුණයෙකුගේ රඟ දැක්වීමක්.
හම්බර්ට් සහ ඔහුගේ ලෝ ඔවුන්ගේ නිර්මාපකයාත් සමඟ එක් ලක්ෂණයක් බෙදාහදාගන්නවා. ඔවුන් තිදෙනාම කලාවේ කාචය හරහා ජීවිතය ගෙවනා සෞන්දර්යවාදීනුයි. ‘හම්’ තමාවම උමතු කවියෙක් සේ උපකල්පනය කරනවා. අයහපත් දෛවයකට මුහුණ දුන් කින්නරෝන්මාදී සගයකු වන ‘ෆෝ’ පිළිබඳ නිතර දැක්වෙන සාහිත්‍යික ව්‍යංගයන්ගෙන් සිය පාපොච්චාරණයට ලුණු ඇඹුල් දමනවා. ලොලීටා ඇගේ ඝෝර මව චාලට්ගේ ඉමහත් අප්‍රසාදයට ලක්වෙමින් නැඟී එන තාරකාවක් සේ රඟපානවා.
ලොලීටා ජනප්‍රිය සංස්කෘතියේ ගැලී ගිය “වෙළඳ දැන්වීමක් සේ ප්‍රීතිමත්” පරිසමාප්තියට පත් පාරිභෝගිකාවියක්. හම්බර්ට් බහු මාත්‍රාමය ප්‍රහර්ෂයන්ගෙන් ගිනි ඇවිලගත් තම උකුලෙහි ඈව සුරතල් කරනා සඳ, ඈ විකට කතා කියවමින් සිටිනවා. ඔවුන් සංචාරක උගුලකින් සංචාරක උගුලකට දඩිබිඩියේ කඩා වදිනා හාම, ඔහු ඇයට සලරූ සිත්තම්, සඟරා, ඇඳුම් සහ අබලි බබලි කෑම නොකඩවා සපයනවා.
ඇය හැම්බර්ගරයක් සහ හැම්බර්ගරයක් අතර එදිරිසහගත නිරවද්‍යතාවයෙන් යුතුව, කලින් කීදෙය නිත්‍ය ලෙසම, නිශ්චිතවම තෝරනවා යැයි සිතන එකමත් මාරම දෙයක් නං තමයි.
“පිදුම්ලත් දරුවකුට වඩා අතිශය දරුණු ලෙස කුරිරු වෙනත් අන් කිසිවෙක් ඇත්තේ නෑ”
මෙහි අපි දකිනවා හම්බර්ට්ගේ නහර ඔස්සේ අමාරුවෙන් ඇද්දී ඇද්දී යන කුණුව ගිය දෙයින් සමහරක්. හම්බර්ට් නින්දිතයි. පැහැරගත් කාම රාගයේ වැසිකිළි වළක් වසන් කරන  “සිනමාලන්තයක පුරුෂත්වයේ” සුවිසල් පුද්ගලයෙක්. හම්බර්ට්ගේ කම්සැපෙහි කරවටක් ගිලුණු අවතාරය සහ අරුමැසිවාදී ප්‍රතිවාදියාද වන නාට්‍ය රචක ක්ලෙයාර් ක්විල්ටි ඊටත් වඩා නරකයි. නමුත් හම් ලෝගෙන්-දැන් විඩාපත්ව වැහැරුණු මෙන්ම ගැබ්බර ඩොලී ෂිලර් මහත්මියගෙන් ඇගේ නොතරම්වූ පුංචි දිවිය අත්හරින්නටත්, තමා සමඟ යළි පලායන්නටත් අයදිනා සඳ ඈ කියනවා ඈ හැකි ඉක්මනින් යළි ක්විල්ටි වෙතත්, ඔහුගේ ඉතා විභූෂිත අපචාරයන් කරාත් යළි යන බව. හම්බර්ට් කීර්තිමත් පුද්ගලයෙක් වගේ පෙනෙන්නට ඉඩ තිබුණා වෙන්න පුළුවන්. නමුත් ක්විල්ටි තමයි කීර්තිමත් කෙනා.
ඇයි දොස් ලැබිය යුතු මෙහෙව් මිනිසුන් ගැන මෙච්චර ලස්සන පොතක් ලියන්නෙ?   “මැඩම් බොවාරි” ගැන නබකොව්ගේ කියවීම අපට ඒ ගැන තීරණාත්මක ඉඟියක් ප්‍රදානය කරනවා. ඔහු එමා බොවාරි මහත් භක්තියෙන් පුදන වැදගැම්මකට නැති තුට්ටු දෙකේ අරුමැසිවාදී නවකතාවලින්, ෆ්ලෝබෙයාර් ලැයිස්තු ගත කරන සුලභ වැකිවලින් පදාසයක් උපුටා දක්වනවා. විෂය කාරණාව බාගේ විට අසැබි මෙන්ම පිළිකුල් සහගතයි. නමුත් ෆ්ලෝබෙයාර්ගේ සංරචනය සමතුලිත මෙන්ම නිසි ලෙස හසුරුවන ලද්දක් යැයි නබකොව් ලියනවා. “මෙයයි ශෛලිය. මේකයි කලාව. පොත්වල සැබැවින්ම වැදගත්වන එකම කාරණාව මෙයයි” ඔහු නිවේදනය කරනවා.  
නරකම වර්ගයේ පාඨකයා නම් තමන් චරිත සමඟ අනන්‍ය වන කෙනා යනුවෙන් නබකොව් තර්ක කළා. දැන් ස්වයං- ස්වයං- ස්වයංස්මරණාපදාන යුගයේ ඒ ඕනෑවටත් වඩා සුලබ ජාතියේ කියවීමක්.
හම්බර්ට් නරක පාඨකයන් වෙත තදින් දමා ගැසූ අභියෝගයක්, පරිපූර්ණව ක්‍රියාවට නැංවූ කවටකමක්. නබකොව් විසින් කළ හිස් ආත්මාර්ථකාමී  “කකුල් පහේ රකුසකුගේ” අති සූක්ෂම ආලේඛ්‍යය විසින් තමන්ගේ කම්මැලි දනවන ඒකාකාරී ආත්මයන් හෝ දියාරු වටිනාකම් සොයා කියවනා අයව එහෙම පිටින්ම වළක්වනු ලබනවා. තමන්ගෙම මොළයට දෙකක් ඇණ ගන්න ඕනැද? ඇමසන් වෙබ් අඩවියේ ලොලීටා පිළිබදතරු ඇගයුම් ලද විචාර කියවන්න. සමහර මිනිස්සු බාලක රාගෝන්මාදය තරමටම, ව්‍යාජ අයිතිවාසිකම් කීමටද වෛර කරනවා: “වචන ගොඩාක් ලොකුයි. කෙල්ල ගොඩාක් පුංචියි. නරක පොතක්. නරක මිනිහෙක්. ඇඩෝල්ෆ් අයිබ්මානුත් මේ පොත සදාචාර විරෝධී” ලෙස සැලකුවා.
බාලක රාගෝන්මාදය පිළිබඳ අභූතරූපී චෝදනාවලට වඩා වැඩියෙන් ඔහුගේ සිත රිදෙව්වේ මහජනයා නබකොව් සහ හම්බර්ට් එක් අයෙකු ලෙස සැලකූ ඕනෑම විටෙකදී, කලාව ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි වටහා ගන්නට ඔවුන් තුළ ඇති නොහැකිකමයි. ඔහු කීවා  “කතාවක් සත්‍ය කතාවකැයි හැඳින්වීම කලාවටත් සත්‍යයටත් දෙකටම නින්දාවක්” කියා. සෑම විශිෂ්ඨ ලේඛකයෙකුම විශිෂ්ඨ ප්‍රයෝගකාරයෙක්. නමුත් ප්‍රධාන රැවටිලිකාරයා වන සොබාදහමත් ඒ පරිදිමයි .
තවදු, විශිෂ්ඨතම සමනළවේදියෙකු වන නබකොව් ඇතැම් සමනළ තටු, ඒවායේ ඇති පණුගුල් පවා දක්වමින් තුරුපත් අනුකරණය කළ ආකාරයෙන්ද අමන්දානන්දයට පත් වුනා. එපරිදිම හම් ගේ සහ ලෝ ගේ “සමස්ථ නපුරේ ලෝකය” ඇබිති ජ්වලිත සවිස්තරයන්ගෙන් ගහණයි. ඔහු ගවේෂණය කරන්නට ඇලුම් කළ ඇමරිකානු වන දිවිය සේ දිදුළන සුළු වගේම විචිත්‍රයි. හම්බර්ට් අපට කියනවා ඔහුට හැකි වග දකින්නට “මගේ කාලකණ්නිකමට ප්‍රතිකාරයක් ලෙස කිසිවක්ම නැති බව දොම්න මෙන්ම නිරවුල්ව හසුරුවන ලද කලාවේ ස්ථානීය නිර්වින්දනය මිස”. නමුත් ලොලීටා තරම් ශ්‍රේෂ්ඨ වන කලාවක් නබකොව් “සෞන්දර්යාත්මක ප්‍රමෝදය”ලෙස හඳුන්වන උත්කර්ෂිත තත්ත්වය බවට පත් වෙමින් හුදු ප්‍රීතිප්‍රමෝදය, නිර්වින්දනය සහ දොම්නසද අතික්‍රමණය කරනවා.



පරිවර්තනය- කේ. කේ. සමන් කුමාර

කූ ජපන් ගැහැණියක්ද?....

ආත්මය යක්ෂයාට විකුණා දැමීම ....






මහේෂ් හපුගොඩ සමග පවත්වන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ: වාමවාදින් ලෙස අපි මේ මොහොතේ කළ යුත්තේ හැකි තරම් පෝස්ටර් ඇලවීම නොව මේ සියල්ල පිළිබඳ එකිනෙක - එකිනෙකා වටහා ගැනීම සහ මිනිසුන් දැනුවත් කළ යුතු ය යන ස්ථාවරයේ සිටිමිනි. එමෙන් ම මෙම කාරණා දාර්ශනිකව මිනිසුන්ට අවබෝධ කර දිය යුතු බවත් මේ දාර්ශනික ගැටලු නිරාකරණය කර ගතයුතු බවත් එහි දී සිහිපත් කළේ ය. එසේ නොමැතිව කිසිවක් නිර්මාණය කළ නොහැකි බවත් නිර්මාණය කළ ද එය නොපවතින බවත් ඒ සඳහා කළ යුත්තේ උසස් කලාකෘති රස විඳීම සඳහා මිනිසුන් පෙලඹවිය යුතු බවත් සඳහන් කළෙමි. නමුඳු අපේ කලාකරුවන් එබඳු දාර්ශනික තලයක සිට වැඩ කිරීමට අකමැති බව ද සදහන් කළ අතර ඒ සඳහා මෑතකම උදාහරණය නම් කේ. කේ. සමන් කුමාර ලේඛකයා විසින් ලියනු ලැබ ඇති නවකතාව බව ද වෙසෙසින් ම අවධානය යොමු කළෙමු.
කේ. කේ. සමන් කුමාර නම් රචකයාගේ ‘‘මහිලාවංශය’’ නවකතාව තුළ අපිට දැකගත හැකි වන්නේ ගැහැනියගේ පාර්ශ්වයීය ශරීර කොටස් වෙත අති සමීප වන එම වස්තු කෙරෙහි වූ ආශක්තභාවයෙන් ඒවා වර්ණනා කරන්නා වූ පසු නූතන සාහිත්යසමය උත්සාහයකි. එසේත් නැතිනම් ස්ත්රීඒ පැලඳුම් කෙරෙහි වන අර්චන අනුරාගයකින් කෙළවරක් නැතුව එය වෙත නැවත නැවතත් උමතුවෙන් මෙන් ප්රවවිෂ්ට වීම ය. ඒසඳහා ඔහු පැරණි වර්ණනා සාහිත්ය්යේ ආභාෂය ලබාගනී; අධියථාර්ථවාදී සාහිත්ය්යේ රුකුල ද ලබාගනී. ඇයගේ පතුලක් නොමැති ආත්මය තුළට ඇද වැටෙනවා වෙනුවට සමන් ඇදවැටෙන්නේ ඇගේ ශරීරය තුළට ය; එහි අර්චන බව වෙතට ය. ඒ ඔස්සේ ඔහු සත්යැය ලෙස ම ගැහැනියට සමීප වනවා සේ පෙනුණ ද රචකයා විශාල දුරක් ගැහැනිය නඩත්තු කරයි. ශරීරය ආවරණයක් (cover) ලෙස ගනිමින් සත්යණය ලෙස ම ස්ත්රිැය වෙත ඇදවැටීම වළක්වා ගනී. එබැවින් ගැඹුරු සාන්දෘෂ්ටික (මිනිස් පැවැත්මේ අර්ථයෙන්) සාහිත්යැයක් ලාංකිකයා හට නිර්මාණය කර දීමට ඔහුට නොහැකි වේ. ඔහු ගැහැනු ශරීරය හමුවේ තම අධ්යාමත්මය දිය කර හරින මුත් ඉහත දුරස්ථභාවය නිසා මනෝවිශ්ලේශීය අරුතකින් ඇයගේ රෝග ලක්ෂණය වීමට නොහැකි වේ.
සමන් විසින් ඉදිරියට ගෙන එන්නේ පරාජිත බවක රෝග ලක්ෂණයකි. එය භෞතික පරාජයක ආත්මීය ප්ර්කාශනයක් ලෙස අර්ථකතනය කල හැකි වුවත් ඇත්ත වශයෙන් එය ආත්මීය පරාජයක ශරීර ප්ර්කාශනයකි. එයින් අදහස් කරන්නේ සමන් තමන් ආශා කරන සාන්දෘෂ්ටික සාහිත්යායෙන් පශ්චත් යටත් විජිත මඩ වලට ඇදවැටීම වලක්වා ගැනීමට නොහැකි වීම නම් තත්වයයි. 
ඓතිහාසික පරාජයක ආතතිය ස්ත්රීඩ ශරීරය හරහා සුවපත් කරගැනීමට උත්සාහ කිරීමයි. මේ වනවිට බොහෝ නිර්මාණ කරුවන්ගේ ප්රඩධාන අරමුණක් වන්නේ ස්වාමියාගේ වික්ටෝරියානු සදාචාරය අභියෝගයට ලක් කිරීමයි. එය හොඳ දෙයක් වුවත් එතනින් අප ගමන් කරන්නේ කොතනටද යන සාන්දෘෂ්ටික ගැටලුවේදී අප ඉදිරියේ ඇත්තේ අරාජක බවකි. පසු ධනවාදයේ විගලිත භාවයට මුහුණ දීමට ඔවුන්ගේ පාඨකයා සුදානම් කිරීමට මෙවන් සාහිත්යික් තුලින් ඔවුනට හැකි වේද? ඒ වෙනුවට සමන් කරනු ලබන්නේ යටත් විජිත භින්නෝන්මාදය නැවත නැවත අප වෙතට ප්රතක්ෂේපනය කිරීමයි. පුනරුද උරුමයෙන් විතැන් වී ආසියාතික අත්තනෝමතික බව වෙත ගමන් කිරීමයි ('කූ' යනු ජපන් ස්ත්රිටයක්? සරච්චන්ද්රියන්ගේ 'මළවුන්ගේ අවුරුදු දා' හි එන නිෂ්ක්රි ය ගුප්ත චරිතය මෙන් මෙන් 'කූ' ද පිරිමියාගේ සියළු අශ්ලීල කම් ඉවසා සිටිමින් ඔහුව ක්ෂිතියට පත් කරයිද? ඇයද බටහිර නිල් සිනමාවේ අසා අකිරා (Asa Akira) මෙන් කළු-සුදු පිරිමින්ගේ ප්රනචණ්ඩ සංසර්ගික ක්රිවයා ඉවසා සිටීද? ඇය විසින් තම පතුලක් නොපෙනෙන ආසියාතික ගුප්ත බව වෙත ඇයගේ තම වේදනාවට හුරුකරන ලද ශරීර දේශපාලනය හරහා බටහිර පිරිමියා තව තවත් ආකර්ෂණය කරගනීද? අකිරා තම ශරීරය ඇමෙරිකාව ට ගෙන ගොස් කරන්නේ තම ජාතිය වෙතට අළු දුවිලි වන්නට කරන ලද විනාශයට ඓතිහාසික පලිගැනීමක් ද? ඇය ජෙම්සනියානු සාර්වත්රිටකය තුල සුවිශේෂයක් නොවී කේවල පුද්ගලත්වයක් නොවන්නේද?). මේ නිසා සමන් ස්ත්රී ශරීරය හරහා සාර්වත්රි ක බවෙන් පුද්ගල කේවලත්වයකට ගමන් කරයි. එනයින් පසුගිය සතියේ රූප සටනනෙහි දෙවන අභිනය (second gesture) පහත පරිදි සකස් විය යුතු බව අපට යෝජනා කල හැකියි. අප මෙලොවට විසිකර දමා, දෙවියන් අප හැරගොස් අප දෙස නොබලා පුර්ණ නිදහසක් අත්කර දී තිබුනද අපට අත්තනෝමතික විය නොහැකි බව මෙහි අර්ථයයි. බොහෝ පශ්චාත් යටත් විජිත රාජ්යබයන් සහ නිදහසින් පසු ජාතිකවාදය හරහා ගමන්කළ කොම්ප්ර දෝරු අනුප්රාිප්තිකයන් කරනු ලැබුවේ තම ස්වාමියාගෙන් මිදුන පසු අතාර්කික ඒකාධිපති පාලන ව්යුුහයන් ගොඩනගා ගැනීමයි. අතාර්කිකත්වයේ පතුලක් නොමැති අගාධයට ඇද වැටීමයි. එම දෙවැනි අභිනය සඳහා පහත රුප සටහන බලන්න.
තම ලේඛනය තුළ විශාල නිදහසක් බුත්ති විඳින ලේඛකයෙක් ලෙස කේ. කේ. සමන් කුමාර ට අවම වශයෙන් නබකොව්ගේ කාර්යවත් කිරීමට හැකිවී තිබේ ද? ඇල්බෙයා කැමූ ලෝකයාට දායාද කළ දෙය හෝ කිරීමට සමන්ට හැකි වී තිබේද? පවත්නා ක්රලමයේ ම ජරාජීර්න රූපක නැවත නැවත භාවිතා කරන ඔහු අතීත ස්මෘති (සතර පෙර නිමිති, සුර-අසුරයන්, සසර දුක, නිවන් සැප) සහ නූතන ලෞකිකත්වයේ රූපක (බ්‍රෙෂියර්, සෙක්ෂුවල්, ෆැන්ටසි) අතර දෝලනය වේ. එමෙන්ම මීට පෙර මා දැක්වූ පශ්චාත් යටත් විජිත නොහැකියාවේ (impotency) සහ අසමත්භාවයේ (failure) ව්යායකූලතාව සඳහා කරන ප්ර්තිචාරයක් ලෙස ද මෙය ගත හැකිය. මෙම භින්නොන්මාදී සිරවීමෙන් (schizophrenic deadlock) ගොඩ ඒමට ඔහු භාවිතා කරන්නේ ස්ත්රීැ ශරීරයයි. එම අසමත්භාවය සඳහා ඔහු තුළ ඇති කෝපය සහ ඉච්ඡාභංගත්වය මෙම අධියථාර්ථවාදී ලේඛනය මගින් හෙතෙම ප්ර්දර්ශනය කරයි. එය එක් අතකින් ලිබරල් ස්වාමියා පොලඹවාලීමක් ද වේ. මෙම පොලඹවාලීම සමන්ගේ ශරීර දේශපාලනය යි. එම ශරීරය ඔහු ස්ත්රී අභිනය වෙනුවෙන් කැප කර ඇත. එකී ශරීර ආයෝජනයේ මිල වනාහී ගැඹුරු සාහිත්යහයක් වෙත ගමන් කිරීමට ඔහුට තම අධ්යාෙත්මය වියදම් කිරීමට නොහැකි වීම ය. 

සටහන - ජයසිරි අලවත්ත
උපුටා ගැනීම- සත්හඬ

කළු බණ්ඩාර සම්මුඛ වීම හෙවත් මහිලාවංශය

ජුතින්ද්‍රගුප්තට කළු බණ්ඩාර සම්මුඛ වීම හෙවත් මහිලාවංශය 


”වැසිකිළි ගොඩ අදින්නා සේ ඇතුළු මනස හෙළි කිරීමේ අර්ථය කුමක් දැ” යි වරක් හේන්පිටගෙදර ඥානසිහ හිමියෝ සාහිත්‍යයේ අර්ථය ප‍්‍රශ්න කළහ. මේ වනාහි සාහිත්‍යයත් බෞද්ධ ආකල්පයත් සම්මුඛ කරවන කදිම ප‍්‍රශ්නයකි.
මතුපිටින් කියවන කල සදාචාරවාදි ලෙස හැඟී යා හැකි මේ ප‍්‍රශ්නයෙන් ඇත්තෙන් ම ඉඟි කරන්නේ, බෞද්ධ ආකල්පය කිසි සේත් සදාචාරවාදි නො වන බව යි. ඇතුළු මනස පහන් පැලක් නොව වැසිකිළි වලක් බව ඉන් අවධාරණය කෙරේ.

මේ වැසිකිළි වල ගොඩ ඇදීමෙන් තොර ව ලබාගත හැකි ඥානයක් බුදුසමය විසින් දිරි ගැන්වෙන්නේ නැත. එසේ ගොඩ ඇදීම අරබයා ථෙරවාද සහ මහායාන සම්ප‍්‍රදායන් අනුගමනය කරන තාක්ෂණ ක‍්‍රම වෙනස් ය. ග‍්‍රන්ථකරණය දිරිගැන්වුණු මහායාන සම්ප‍්‍රදාය තුළ, ‘කියවීම‘ ඒ සඳහා සුදුසු ක‍්‍රමයක් හැටියට නිර්දේශ කරනු ලැබිණ. ඇතැම් මහායාන යතිවරුන් විමුක්තිය ලැබුවේ සූත‍්‍ර ග‍්‍රන්ථ කියවමින් උන් අතරයැ යි කියැවේ. ථෙරවාද සම්ප‍්‍රදාය පොත් ගැන විශ්වාසය තැබුවේ නැත. එහි ලා පොත අවශ්‍ය වූයේ, භක්ති මාර්ගයක් හැටියට මිස, ඥාන මාර්ගයක් හැටියට නො වේ.සාහිත්‍යය හරහා ඇතුළු මනසට පිවිසීම සෙන් සම්ප‍්‍රදායේ මෙන් ම වජ‍්‍රයාන සම්ප‍්‍රදායේ ද සුලබ ය. සෙන් සම්ප‍්‍රදාය ඍජු අත්දැකීම් සාහිත්‍යයක් ද වජ‍්‍රයාන සම්ප‍්‍රදාය රූපක බහුල සාහිත්‍යයක් ද යොදාගනී.වජ‍්‍රයාන සම්ප‍්‍රදාය තුළ ඇතුළු මනස හෙළි කිරීමට රූපක ලෙස ලිංගික සංකේත ද උදවු කරගැනේ. බෞද්ධ සම්ප‍්‍රදායන්හි බොහෝ විට අප මේවා දකින්නේ වජ‍්‍රයානික මුද්‍රා තුළ වුවත්, මේ ලිංගික සංකේත ඇසුරින් නිපන් සරු සාහිත්‍යයක් ද තිබ්බතය සතු ව ඇත. 

මහිලාවංශය මේ අර්ථයෙන් වජ‍්‍රයාන ආඛ්‍යාන සම්ප‍්‍රදායට නෑකම් කියයි. එය රූපක -ලිංගික සංකේත ඔස්සේ කිසියම් ආධ්‍යාත්මයක් තුළට පිවිසෙයි.

උදක් ම ආධ්‍යාත්මික අරමුණු සහිත ව නවකතා රචනා නො වේ. අර වැසිකිළි වළ සමග වටපිටාව ද ගොඩ ඇදීම සාහිත්‍යකරුවාගේ කටයුත්තකි. මහිලාවංශ කතුවරයා, එම වැසිකිළිය පිහිටි ඉඩමේ හතරමායිම ද එහි රහස් ද වැලලූ මිනී ද නිදන් ද යන සියල්ල ගොඩ ඇද දමයි. එසේ වුව ද තවමත් එහි කේන්ද්‍රය වශයෙන් බෙහෙවින් දුගඳ හමන පුද්ගල විඥාන වැසිකිළිය වෙයි. සමූහ විඥානය එයට අමුද්‍රව්‍ය සපයන ගෙබිම - ඉඩම යි. මේ නිසා එය භෞතිකවාදි හෝ සදාචාරවාදි නිශ්චායක තුළ කියවාගත නො හැකි කෘතියක් වෙයි.

තිබ්බත සාහිත්‍යයේ එන උමතු යෝගි දෘග්පා කුන්ලේගේ කතා (කීත් ඩෝමන් විසින් ඉංග‍්‍රිසියට පෙරළන ලදි) ද එබඳු ය. ඔහු යක්ෂයන්ට සිය ඍජු වූ ලිඟුව පායි. යෝගිනින්ගේ යෝනි සමග ක‍්‍රීඩාවෙහි යෙදෙයි. සිය අධෝවාතයන් අත්ලට කැටි කොට, ආරාමයේ ලාමාවරුනට දක්වයි.

වජ‍්‍රයානය යනු, සත්‍යය දැකීමට නම් සියලූ සදාචාරවාදයන්ගෙන් - බාහිර ලෝකයේ දෘඪ මිනුම්වලින් ගැලවිය යුතු බවට බුදු සමයේ එන කේන්ද්‍රීය ඉගැන්වීම පදනම් කොටගත් ව්‍යවහාරික සම්ප‍්‍රදායකි. ලිංගික සහ සමාජ සදාචාරයන්ට අනුගත නො වන දෘග්පා කුන්ලේගේ චර්යා - මනෝ දර්ශන යනාදි සියල්ල, අර සදාචාරවාදයෙන් කැඩෙන්නටත්, හොඳ-නරක වන් සියලූ ද්වයතාවන් අරබයා උපේක්ෂාසහගත වන්නටත් අපට උදවු වෙයි.

කවර බෞද්ධ සම්ප‍්‍රදායක වුව මූලික වන්නේ මනස ය. එ ද, පුද්ගල මනස ය. වජ‍්‍රයානික ලිංගික සංකේත සහ ඒ සබැඳි සාහිත්‍යය යොමු වන්නේ පුද්ගල මනස සමග කරන සංග‍්‍රාමයකට ය. අනෙක් අතට, සෑම සත්ත්වයකු තුළ ම බුද්ධාංකුරය ඇතැ යි මහායානයේ එන මූලික ප‍්‍රකාශය තුළින්, ඔබේ මනස - මගේ මනස යන ද්වන්ධය, විවිධාංගීකරණය අහෝසි කොට දමයි.‘පුද්ගල‘ මනස ‘ස්වාත්මය‘ ලෙස වැඞීමට තිබෙන අනතුර ඉන් අවුරා දැමේ. එවිට අරගලය ඇත්තේ මනුෂ්‍ය, තිරශ්චීන, නේරයික, දිව්‍ය හෝ පේ‍්‍රත යන කවර වේශයක් තුළ, කවර නාමයක් තුළ හෝ සැඟවී සිටින ‘පොදු‘ සතුරකු සමගිනි. විමසන්නට ඇත්තේ පොදු වූ යමකි. ඇද දමන්නට ඇත්තේ පොදු වැසිකිළියකි.

වජ‍්‍ර යෝගියා පුද්ගලයෙකි. ඔහු කිඳා බසින්නේ ස්වකීය ආධ්‍යාත්මයට ය. සාහිත්‍යකරුවා ද පුද්ගලයෙකි. එහෙත් ඔහුට ස්පර්ශ කරන්නට සිදු වන පරාසය පළල් ය. දේශපාලන සමාජ අර්ථයන් පිණිස සාහිත්‍ය කෘතියක සැලකිය යුතු ඉඩක් හිමි වේ. මේ නිසා ඔහුට කිඳා බසින්නට සිදු වන්නේ බෙහෙවින් පුළුල් වූ සමාජ ආධ්‍යාත්මයකට ය. 

නළයක පළල් තැනකදී වතුර ගලන වේගය අඩු වන්නේ යම් සේ ද, පළල් ක්ෂේත‍්‍රයක් කියැවීමේදී තියුණුකම අඩු වේ. මේ නිසා සාමූහික ආධ්‍යාත්මයක් පොතකට ගෙන එන සාහිත්‍යකරුවාට වජ‍්‍ර යෝගියා සේ සියුම් වන්නට බැරි ය. ගොරහැඩි ආධ්‍යාත්මයක් පිටුවලට ගෙන ඒමේ දී ඒ පිටු ද ගොරහැඩි විය යුතු ය.
කතුවරයා ජය ගන්නේ, චෛතසික කියැවීම කේන්ද්‍ර කරගත් සාහිත්‍ය ක‍්‍රමයක්, සමූහ ආධ්‍යාත්මය කියැවීමට යොදාගැනීමේ අභියෝගය යි.

යථාවාදි ආඛ්‍යානය වලංගු නො වන තැනින් උපදින්නේ අභූතරූපී (absurd) ව්‍යාකරණය යි. රීතිය අතින් මහිලාවංශය ස්ථානගත වන්නේ අභූතරූපි නාටකය සහ නවකතාවේ ඡේදන කලාපයක ය. ජෝන් ස්ටෙයින්බෙක් Burning Bright වැනි ප්‍රබන්ධ හරහා කෙටි නවකතාව නාටකය සමග ඡේදනය කරවී ය. මහිලාවංශ රීතිය තුළ, දීර්ඝ නවකතාව අභූතරූපි නාටකය සමග ඡේදනය වේ.
මහිලාවංශය යනු අපගේ වංශකථාව යි. අපගේ අර්බුදයේ ප‍්‍රකාශනය යි. අප මුහුණ පා සිටින ඒ අර්බුදයේ රෝගබීජය සොයාගත හැක්කේ අපගේ සමූහ ආධ්‍යාත්මය - අවිඥානය තුළින් මිස, භෞතිකය හෝ කාය චර්යා තුළින් නො වේ. කතුවරයා විඥානයේ අභූතරූපි භාෂාව යොදාගන්නේ එහෙයිනි.

විඥාන ව්‍යාකරණය තුළ, විජය - කුවේණි - එළාර - ගැමුණු යනු සොහොන් හදා පොළොවට යට කර දැමුව පංචස්කන්ධ නො වේ. ඔවුහු අපගේ ආශාවන්ගේ - අභිලාෂයන්ගේ වර්ණ තවරාගනිමින්, අප හා නිරන්තර කථනයේ යෙදෙන සජීවි මිනිස්සු ගැහැනු වෙති. එම ව්‍යාකරණය තුළ, ඉතිහාසය යනු, ඔරලෝසු කටුවෙන් මිනුම් කර වෙන් කළ එකක් නො වේ. ඔරලෝසු කටුවේ නැගී ඉතිහාසය සොයා යන්නාට, වට දෙදහසක් ගිය ද කුවේණිය හමු වන්නේ නැත. මහිලාවංශය රේඛීය නො වූ කාලාවකාශයක අප රැගෙන යමින්, කුවණ්ණාවන් ද සුවණ්ණාවන් ද අපට සම්මුඛ කරවයි.

‘කුවණ්ණ ලාක්ෂණිකය‘ කේන්ද්‍ර වීම හෝ ග‍්‍රන්ථනාමය නිසා ස්ත‍්‍රිය හෝ ලාංකේය ස්ත‍්‍රිය පිළිබඳ වෘත්තාන්තයකැ යි යමකු වටහාගැනීමට ඉඩ තිබුණ ද, මහිලාවංශය යනු තද පුරුෂ දෘෂ්ටියකින් ලියැවුණු කෘතියකි. ස්ත‍්‍රියගේ චෛතසික කියැවීමට වුව එහි වෙන් කොට ඇත්තේ අල්ප ඉඩකි. කුවණ්ණා ලාක්ෂණිකයට වඩා සිත්කලු ලෙස එහි ස්ථානගත කර ඇත්තේ සිංහල පුරුෂාධ්‍යාත්මය හඳුනාගැනීමෙහි ලා කදිම රූපකයක් වන ‘කළු බණ්ඩාර‘ ලාක්ෂණිකය යි.

මහාවංශය විසින් හඳුන්වා දෙනු ලැබූ, නිදහස් අරගලය විසින් උත්කර්ෂයට නංවනු ලැබූ ආර්ය සිංහල ප‍්‍රවාදයේ එන මහ රික්තයට, මහිලාවංශය, කළු බණ්ඩාර ප‍්‍රවාදය යෝජනා කරයි. අප ඉතිහාසයේ එන හැටියට, කළු බණ්ඩාර යනු ස්වදේශිකයෙකි. බලපුලූවන්කාරයෙකි. රාග චරිතයකි. ශ‍්‍රී මහා බෝධි ආරක්ෂක ප‍්‍රධානින් වූයේ, පාඨලීපුත‍්‍රයෙන් ආ ජුතින්ද්‍රගුප්ත සහ ස්වදේශික කළු බණ්ඩාර ය.
අධිපති සම්ප‍්‍රදාය විසින් පුන පුනා ජුතින්ද්‍රගුප්තට ම පවරනු ලැබුව ද, පාඨලීපුත‍්‍ර ලාක්ෂණිකය හා සමපාත නො වන මහා කලාපයක් සිංහල පුරුෂයාගේ අවිඥානයේ තිබේ. මහිලාවංශය හරහා, ජුතින්ද්‍රගුප්තට කළු බණ්ඩාර සම්මුඛ වෙයි. ද්වේෂ චරිතයාට රාග චරිතයා සම්මුඛ වෙයි. එනම්, අපට අනෙකා ද අප ද යන දෙදෙනා ම සම්මුඛ වෙති.
එසේ සම්මුඛ වීමේදී, ඒ කාට වුව අපට ජීවත් වන්නට සිදු වන වටපිටාවෙන් ගැලවෙන්නට නො හැකි වෙයි. ස්ත‍්‍රී යට ඇඳුම් විසින්, ස්ත‍්‍රී ශරීරයට පවා අත පොවා ගත නො හැකි වූ පිරිමි අවිඥානයේ ගැඹුරු අඳුරු තැන් ස්පර්ශ කරනු ලැබ ඇත. දෘෂ්‍ය කවිය විසින් ශ‍්‍රව්‍ය කවිය ද, දෘෂ්‍ය කාමය විසින් ස්පර්ශ කාමය ද යටපත් කර ඇත. උපකරණ සියුම් වන විට භාවිතාව ඕලාරික වි ඇත. කවර ඓතිහාසික සත්තාවකට වුව තාක්ෂණික ධනවාදයේ මේ අර්බුදයෙන් නො මිදී වර්තමානයේ ස්ථානගත වන්නට නො හැකි ය. රේඛීය නො වන කාලාවකාශයක, සමූහ පුරුෂවිඥානයක කුවේණිය ස්ථානගත කරන විට, ඇගේ තනපටයේ හැඩය නො තකා සිටින්නට බැරි එහෙයිනි.
සමූහ ආධ්‍යාත්මයේ සැඟවුණු හැඩ නිල හඳුනාගැනීමෙහි ලා මහිලාවංශය ප‍්‍රබල රූපක සහ සමපාතකිරීම් ගෙන එයි. ඒ සඳහා කතුවරයා තමාට අනන්‍ය විලාසයෙන් වෛකල්පික ඉතිහාසයෙන් බොහෝ අමුද්‍රව්‍ය ගනී. ප‍්‍රධාන ධාරාවේ ඉතිහාසය සේ ම, වෛකල්පික ඉතිහාසය ද සංගත නො වේ. ලමැණි වංශය, ස්වදේශිකත්වය සහ අභයගිරිය සමපාත කිරීම අතිශය විසංවාදි ය. අභයගිරියට වැඩි අනුග‍්‍රහ දැක්වූ ලම්බකර්ණයෝ, ජුතින්ද්‍රගුප්තගේ සැබෑ ලේ නෑයෝ වෙති. බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා මේ අය හැඳින්වූයේ, අප ඉතිහාසයේ සකල අර්බුදයන්ට වගකිවයුතු අහංකාර ඉන්දියානුවන් පිරිසක් හැටියට ය. භාරතීය ප‍්‍රභූ ලාක්ෂණිකයේ අනෙකා තැනීමට ලමැණි වංශය හෝ අභයගිරිය කිසි රුකුලක් සපයන්නේ නැත.
අපගේ පෞද්ගලික රුචි අරුචිකම් ටිකකට අමතක කරන්නේ නම්, මහාවිහාර භූමියෙහි බැරි නම්, අඩු තරමින් නිර්ප‍්‍රභූ චිත්තල පබ්බතය වැනි තැනක, කළු බණ්ඩාර නමැති ස්වදේශිකයා වඩා සංගත ලෙස ස්ථානගත කළ හැකි ය.
මහිලාවංශය කියැවීමට කිසියම් පූර්ව දැනුමක් අත්‍යවශ්‍යයැ යි අදහසක් ඇත. කරාටේ ඉගෙනගත් පසු සටන් කළ හැක්කේ කරාටේ දන්නා අය සමග පමණදැ යි අපි කුඩා කාලයේ සටන් කලා ඉගෙනගන්නට උනන්දු යහළුවන්ගෙන් ඇසිමු. කතුවරයා කියවූ සියල්ල කියවා තිබීම අත්‍යවශ්‍ය නො වේ. කියවා තිබෙන තරමට - කියවූ ගැඹුරේ තරමට කතුවරයා සමග සම්මුඛ වීම මනරම් අත්දැකීමක් වෙයි. කරාටේ දන්නා දෙදෙනකුගේ සටනක් බඳු වෙයි. අනෙක් අතට, සරුසාර උපග‍්‍රන්ථයන් දැනුම් ප‍්‍රශ්නයේදී උදවුවට එනු ඇත. අප විසින් වෙහෙසී හෝ තනි ව ග‍්‍රහණය කරගත යුත්තේ ග‍්‍රන්ථයේ ඓන්ද්‍රිය ව්‍යාකරණය යි. මහිලාවංශය මගහැරෙන්නේ ඒ ව්‍යාකරණය මගහැරුණොත් ය. එය චාල්ස් බුකෝස්කිගේ Women වැනි කතුවරයාගේ මහිලා ඇසුර ගැන පොතක් හෝ කාම කතන්දරයක් සේ පෙනී යන්නේ, ඒ ව්‍යාකරණය මගහැරුණු විට ය.

අනුරාධ මහසිංහ


Wednesday, September 21, 2016

මහ රෑ හමුවූ අරැම පුදුම බලු විපත




කලාකරුවා ළමයෙකි. කොහොමටත් මානවයා යනු සදාතනික ළමා වියක් සහිත සත්වයෙකි.

පවත්නා ක්‍රමය විසින්, පටිපාටි විසින් මේ ළමයා මරා දමනු ලබයි. පිකාසෝ කීවේ සෑම ළමයකුම උපතින්ම කලාකරුවකු බවත් ඔහුව මරා දමනා ලබනු බවත්ය. වැඩිහිටියන් නොවන, එනම් පවත්නා සංකේතීය පටිපාටියට අනුගත නොවන හෝ අසමත් සියල්ලන් විශේෂිතයන්, පිස්සන්, මානසික රෝගීන්, විපරිතයන් ලෙස වර්ග කෙරේ.  

ළමුන් මෙන්ම කලාකරුවන්ද පවත්නා ක්‍රමය තුළ පටිපාටි තුළ මනෝ වික්ෂිප්තභාවයෙන් යුතු වූවන්ය. නමුත් ළමුන්ව විවිධ දණ්ඩනයන් මගින් තමා ගැන හීනමානයට ලක් කොට පවත්නා ක්‍රමයට අනුගත කරගැනීම සිදුවේ. සමාජානුයෝජනය යනු එයයි. එහෙත් එසේ වැඩිහිටියන් වූ පසු අවරෝධිත ළමා ලක්ෂණ විවිධාකාරයෙන් විපරීත ලෙස පොලා පනියි.කලාකරුවා කොහොමටත් මනෝවික්ෂිප්තතාවයෙන් හෙබියෙකි. වැඩිහිටියන් වූ කලාකරුවන්ගේ කලාකෘති මෙලෝ රහක් ඇත්තේ නැත. 

අවිහිංසක ඇස යනු කතාන්දර කලාවේ එන දාෂ්ටිකෝණයකි. මෙය සිනමාව තුළද යොදා ගැනේ. එහිදී ළමයකුගේ ඇසින් සියල්ල නිරූපනය කෙරේ. නිදසුනක් ලෙෂ මාක් හැඩොන්ගේ කෘතියක පරිවර්තනයක් වන මහ රෑ හමුවූ අරුම පුදුම බලු විපත ගනිමු.

එය මනෝ වික්ෂිප්තතාවයෙන් පෙලෙන දරුවකුගේ ඇසින් තමා අවට වන තදාසන්න ලෝකය නිරූපනය කරයි. එය එක් අතකින් මනෝ විද්‍යාත්මක කතාවකි. ඔහු ඊනියා විශේෂ හැකියාවෙන් යුත් අයකුය. ගණිතයෙහි දක්ෂයෙකි. එම ගණිතමය සංකල්ප මෙන්ම භෞතික විද්‍යා සංකල්ප ඇතැම් විට දාර්ශනික තලයක් කරා පොලා පනිනා තාර්කික බවකින් යුතුය.

ඔහුට සියල්ල කුතුහලයෙන් පිරී ඇත. මෙම කුහුල ඊනියා රහස් පරීක්ෂක කතා ව්‍යුහයක් ඔස්සේ ඉදිරියට යයි. වැඩිහිටි ලෝකයේ තර්කය ඔහුට ග්‍රහණය නොවේ. ඒ තර්කවලට ඕනෑ තරම් විකල්ප තර්ක ඇත. ඒ හරහා ලේඛකයා වැඩිහිටි ලෝකයේ තර්කවල නිස්සාරත්වය අප ඉදිරියට ගෙනෙයි. 

කාරණය නවයොවුන් සාහිත්‍යයේ ප්‍රධාන ධාරාවන් වන රහස් පරීක්ෂක කතා හා වික්‍රමාන්විත කතා ජීවිතය පිළිබඳවත්, ලෝකය පිළිබඳවත් තමා පිළිබඳවත් අලුත් යමක් ජනිත නොකරන තරමට යල්පැන යද්දී මෙවන් ඊනියා රහස් පරීක්ෂක කතාවක් ඒ සියල්ල අප වෙත ගෙන ඒමයි. එය අයත් වන්නේ ගැටළු නවකතා නම් ෂානරයටයි. ලාංකීය යොවුන් සාහිත්‍යයේ ස්වතන්ත්‍ර ගැටලු නවකතාවක් ලෙස අපට හමු වන්නේ ප්‍රියාන් ආර් විජේබංඩාරගේ නෑ ඒ අම්මා නෙමෙයි පමණකි. 

අවරදිග නවයොවුන් පාඨකයන් අතර වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ගැටළු නවකතා හෙවත් ඡරදඉකැප භදඩැක නමැති ෂානරයයි. සමාජ ආර්ථික සීමාමායිම් හරහා විහිදෙන මෙන්ම, සාම්ප්‍රදායික හා අසාම්ප්‍රදායික පවුල් ව්‍යුහයන් තුළ පුද්ගල මෙන්ම සමාජ කාරණාවන් කෙරේ ආමන්ත්‍රණය කළ, යථාර්ථවාදී ප්‍රබන්ධයන් වන යොවුන් නවකතා ගැටළු නවකතා ලෙස වර්ග කෙරේ. මෙම නවකතාවන්හි වන අන්තර්ගතයන්හි පරිණත බව නිසා ඇතැම් යොවුන් සාහිත්‍ය විචාරකයන් ඒ පිළිබඳව ගැටළු මතු කළත් ඒ වෙනුවෙන් පෙනී සිටි විචාරකයන් මෙන්ම ඒවා ආදරයෙන් වැළඳ ගත් යොවුන් පාඨකයන්ද සිටියහ. ඇමරිකානු ලේඛිකා ජූඩි බ්ලූම්ගේ ,්රු ශදම එයැරු ටදාරෑ ෂඑි පැ ඵ්රට්රුඑ, යන කෘතිය නවයොවුන් දැරියන්ගේ ලිංගිකත්වය හා ශාරීරික පරිණතවීම් පිළිබඳ ගැටළු කෙරේ ආමන්ත්‍රණය කරන්නකි. මෙම කෘතිය දෙවියනි ඔබ සිටිනවාද මම මාගරට් යනුවෙන් සුජීවා නිරංජනී රත්නායක විසින් පරිවර්තනය කොට තිබේ. 

වීරකතාවේ, විද්‍යා ප්‍රබන්ධයේ සිට ඉහත කී සමාජ, ආර්ථික, ලිංගික අත්දැකීම් දක්වා නවයොවුන් කතාන්දරයේ තේමාත්මක වපසරිය පෘථුලය. විරැකියාව සිට පාරමානසික අත්දැකීම් දක්වා ඒ විවිධය. ආරම්භයේ සිටම විවිධ සමාජ ගැටළු සහ තත්වයන්ට මුහුණ දෙන නවයොවුනන් පිළිබඳව නවයොවුන් නවකතාවන්ට විෂය විය. එවැනි මුලදී වැඩිහිටි යැයි හඳුන්වනු ලැබූ තේමාවන් පසුකාලීනව ජනාදරයට පත් විණි. දික්කසාද, අපරාධ, ප්‍රචණ්ඩත්වය, ලිංගිකත්වය, ව්‍යභිචාරය, මෞඛ ලිංගික සේවනය, ස්ත්‍රී මෙන්ම පුරුෂ දූෂණයන්, කල්ලි, මත්ද්‍රව්‍ය ආදී සකල තේමාවන් මේ වන විට නවයොවුන් සාහිත්‍යයේ නියෝජනය වේ. මෙවන් නවකතාවන් එවන් විනාශකාරී මෙන්ම සදාචාරාත්මක නොවන ක්‍රියාවන් දිරිමත් කරන බව ඇතැම් විචාරකයන් දක්වති. එහෙත් දුෂ්කර අවස්ථාවන්ට හා සමාජ ආර්ථික ගැටළු ආදියට ජීවිතයේදී මුහුණ දෙන නවයොවුනන්ට සැබෑ ජීවිතයේ අභියෝගයන්ට මුහුණු දීමට මෙම කෘතීන් තුළින් ලැබෙන පන්නරය ඉවහල් වෙතැයි අනෙකුන් තර්ක කරති.
මහ රෑ හමුවූ අරුම පුදුම බලු විපත මනෝවික්ෂිප්තතාවෙන් යුත් දරුවකුගේ අත්දැකීම් විෂය කොට ගනියි. කෘතියේ මදක් යන විට අප ඔහු සමග එක්ව වැඩිහිටියන්ට හා ලෝකයට සානුකම්පිත වෙමු. රහස් පරීක්ෂක කතා ව්‍යුහය තුලින් ඔහුගේ ජීවිතයේ ඇති රහස, ප්‍රහේළිකාව මෙන්ම ජීවන ගණිත ගැටළුව අප වෙත අභිමුඛවේ. කාරණය රචකයා යම් න්‍යායක් සාධනය කරනු පිණිස කෘතිය වෛශ්‍යා වෘත්තියේ නොයෙදවීමයි. යොවුන් කතාවල ආදර්ශමත් චරිත, සාධනීය අවසානයන් ගෙන එමින් කරන කාර්්‍යයම බොහෝ වැඩිහිටියන් උදෙසා ලියන අපේ ලේඛකයන්ද කරයි. ඒ වෙනුවට මෙම කෘතිය සිය මනෝ වික්ෂිප්තතාවයත්, ඒ නිසා මුහුණ දෙන අත්දැකීම්, පියා සහ මව අතර ඇතිවන වෙන්වීම, වැඩිහිටි ලෝකයේ වන ගැටළු මගින් ජීවිතය පිළිබඳ ප්‍රඥාවක් සහ උපේක්ෂා සහගත නිරාමිස අවබෝධයක් අප තුළ ජනිත කරයි. අවසානයේ දරුවා ගැන නොව අප වැඩිහිටියන් ගැන අනුකම්පා කරන තැනකට ගමන් කරමු. ලේඛකයා මෙය කරන්නේ අවිහිංසක ඇසින් ළමයකුගේ කෝණයෙනි.

අනෙක් අතින් මෙය රේඛීය විකාශනයෙන් යුත් උච්චාවස්ථාමය නාට්‍යමය සන්දර්භයක් වෙනුවට උපාඛ්‍යානමය ලෙසින් ගොඩ නැගේ. එනිසා සුරතාන්තමය කතා ව්‍යුහයක් තුලින් මතු විය හැකි ග්‍රස්ථික බව මෙහි මතු නොවේ. මනෝ වික්ෂිප්තතාව යනු දාර්ශනික ආකාරයකට ජීවිතය පිළිබඳ නිරාමිස අයුරකින් බැලීමක් බවට මෙහිදී පත් වෙයි. ගණිතමය පඨිතයන්, මනෝ විද්‍යාත්මක පඨිතයන්, විද්‍යාත්මක හා දාර්ශනික පඨිතයන් බහුශාබ්දික අයුරකින් මෙහි එකලස්කරණියව තිබේ. බාක්තීන් සඳහන් කරන වන් සැණකෙළිකරණයක් අපූරුවට එයින් පැන නගියි. 

කාරණය එම බහු ශාබ්දික බව වෙනුවට අපගේ යොවුන් සාහිත්‍යයේ පමණක් නොව පොදුවේ වැඩිහිටි සාහිත්‍යයේද වැඩිහරියක් ඇත්තේ කතුවර අධ්‍යාශයක්, න්‍යායික සාධනයක් මගින් දැක්කීමමය. සෑම කලාකෘතියක් තුළම කලාකරුවා විසින් දැක්කීමක් තියන බව ඇත්තය. එහෙත් අපේ නවකතා ගත්තත්, චිත්‍රපටි ගත්තත් කෙවිට කොහෙන් හෝ පෙනෙයි. 
කලාකෘතියක් යනු නිදැල්ලේ යාමකි. වල්මත්වීමකි. බැටළු රැල සමග කලාකරුවාද අයාලේ යයි. එහෙත් අපේ සිදුවන්නේ කලින් දන්නා ගාලට බැටළුවන් ටික දැක්කීමය. කලාකෘතියක ගාල තිබෙන්නේ කොහේදැයි කලාකරුවා නොදනියි. 
යොවුන් කතාව පවා මෙවන් සංකීර්ණ බහුශාබ්දිකත්වයක් කරා ගොස් තිබියදී අපේ කලාකරුවන් මේ කිසිවක් නොදැන තවමත් ලියන කියන දැයට හේතු වන ප්‍රධාන දෙය ඔවුන් ළමුන් වන්නට කැමති නැති එකය. පිස්සන් වන්නට හෝ මනෝ වික්ෂිප්තබවට වැටෙන්නට කැමති නැති වීමය. ඒ වෙනුවට ඔවුන්ට කලාකාරයන් හෝ බුද්ධිමතුන් වන්නට,  ආචාර්යවරුන් වන්නට ඕනෑය. නැතිනම් දේශපාලනික වශයෙන් චින්තකයන් වන්නට ඕනෑය. 

ඒ සියල්ලට සිනාසෙන ළමයකු වන්නට හැකිවුවහොත් මිස ලෝකය අලුත් ඇසකින් ග්‍රහණය කොට ගත නොහැකිය. කුමන ආකෘතියක් තුළ, ශෛලියක් තුළ, න්‍යායක් තුළ සිටියත් ළමයකු නොවන්නේ නම් කලාව වානාය. කලා සාහිත්‍ය සමාජයේ පිළිගැන්මට ලක්වන්නට අවැසි නම්, ඒ සමග ලගින්නේ නම් කලාවේ මේ වික්ෂිප්ත සෞන්දර්්‍යය සාක්ෂාත් කර ගත නොහැකිය. එම වික්ෂිප්තතාවෙන් තොරව ලෝකය ගැන කිසිවක් සාක්ෂාත් කළ නොහේ.

එය උමතු ප්‍රඥාවකි. එය ලබන්නට ළමයකු විය යුතුය. පිස්සකු විය යුතුය. ලෝකයේ, වැඩිහිටියන්ගේ, මෙම පටිපාටිවල, න්‍යායන්වල ළමා බවත් පිස්සු හුටං බහුභූත ගතියත් පෙනෙන්නේ එවිටය. 

කේ. කේ. සමන් කුමාර