Tuesday, August 28, 2012

තිසාහාමි පනපිටින්




                    
ඊජිප්තුවේ ඇඛනේටන් රජුගේ බිසව වූ නෙපටිටිගේ ප‍්‍රතිමාව ලෝකයේ ආලේඛ්‍ය මූර්ති කලාවේ අගතැන් පත් කෘතියකි. එය නිමැවූ මූර්ති ශිල්පියාගේ නම තට්මෝස්ය. තට්මෝස් යන නමෙහි අරුත කෙනෙකු පනපිටින් තබන්නාය. 
භාරත මූර්ති කලාවේ අග‍්‍රගණ්‍ය සිහිවටනයන් වන කජුරාහෝහි කාමෝද්දීපන මූර්ති නිමැවීමට අලූත විවාපත් මූර්ති ශිල්පීන් බිරින්දෑවරුන්ගෙන් වෙන් කොට යොදා ගත් බව කියවේ. නිරුවත් නිරූපිකාවන් පුරුෂයන් සමග සම්භෝග ඉරියව් සහ අවස්ථාවන් නිරූපනය කරද්දී ඒ රූමත් ස්ත‍්‍රීන් ස්පර්ශ නොකිරීමේ තහංචිය යටතේ ඔවුන් එම මූර්ති නිර්මාණය කොට ඇත්තේලූ. 
මූර්ති ශිල්පියා යනු හුදු ශිල්පියෙකු පමණක් නොව එවන් ආත්මීය සහානුභූතියකින් හෙබි කලාකරුවකු වේ.
එහෙත් අතීතයේ කෙසේ වෙතා අපේ රටේ තැන් තැන්වල හිටගෙන සිටින කවුද මේ හිටගෙන ඉන්නෙයි සොයා ගැනීමට අනිවාර්්‍යයෙන්ම නම කියවිය යුතු, මළවුන්වත් නැවත මැරීමේ කලාවක් බවට මූර්ති කලාව පත්ව ඇත. 
අනෙක් අතින් මේ වන විට මූර්තිකරණය විවිධ දේශපාලන හෝ වෙනත් ව්‍යාපෘතීන්ගේ අතකොලූවක්.
බ‍්‍රාක් වැන්නකු ගෙන් ලෝක සම්භාවනාවට පත් නූතන අමූර්ත මූර්ති කලාව මහින්ද අබේසේකර , තිස්ස රණසිංහ වැන්නන් විසින් මෙහිද නියෝජනය කළේය. අද පශ්චාත් නූතන මිශ‍්‍රමාධ්‍ය ස්ථාපන විසින් ඒ විතැන් කර තිබේ. එහෙත් පොදු ජන මතය වී පවතින්නේ ඒවා යථාර්ථවත් ආකාරයට චිත‍්‍රයක් මූර්තියක් ආලේඛ්‍යයක් නිර්මාණය කිරීමට බැරි අයගේ නිර්මාණ බවයි. අපේ නූතන මෙන්ම  පශ්චාත් නූතන චිත‍්‍ර හා මූර්ති ශිල්පීන් මෙම මතයට නිදසුන් බවටද පත්වී තිබෙන බවද ඇත්තක් නොවන්නේත් නොවේ.  
කිසිදු වෙනත් අභිලාෂයකින් හෝ පසුපසින් පවතින කිසිදු ව්‍යාපෘතියකින් තොරව අනිල් තිසාහාමිව අඹන්නෙ මේ අව්අස්සෙ.
 අනිල්  පුවත්පත් පිරිසැලසුම් ශිල්පියකු , රාජ්‍ය තාන්ත‍්‍රික මෙන්ම දේශපාලන වශයෙන් නිහඩව කැලඹීම් ඇති කළ කාටුන් ශිල්පියෙකු, පොත් කවර හා ග‍්‍රැෆික් නිර්මාණකරුවකු , ප‍්‍රචාරක කලා අධ්‍යක්ෂකවරයකු මෙන්ම පසුතල නිර්මාණ ශිල්පියකු වශයෙන් දිගුකලක් නිහඩව කටයුතු කළා. පසුගිය කාලයේ ඔහු උන්හිටි ගමන් අතුරුදහන් වෙනවා. අනිල් කැලෑ වැදිලා කියලා ඉදහිට ආරංචියක් ලැබෙනවා. ඉදහිට ඔහුව සමහර අයට මුණ ගැහිලත් තියනවා. ඇත්තෙන්ම අනිල් කැලෑ වදින්නෙ මේ නගරයේ මෙන්ම ක්ෂේත‍්‍රයේ ව්‍යාජත්වයෙන් , මේ ගේම් එකෙන් අපි කවුරුත් වගේම හති වැටිලා. අපි ඒ ව්‍යාජත්වයත් එක්ක ක්ෂේත‍්‍රයෙම පන ගැටගහගන්න හදද්දි අනිල් කැලෑ වදිනවා.

ඉන්පසු ඔහු පාරිසරික සංචාරක කර්මාන්තයට අදාල නිර්මාණ කටයුතු , ගෘහනිර්මාණ කටයුතු , චිත‍්‍ර හා මූර්ති කටයුතුවලටම යොමු වනවා. ඔහු හාවො ඉත්තෑවො විතරක් නෙමේ සර්පයොත් ඇති කරනවා. වසරෙන් වැඩි කාලයක් කැලෑබද දිවියක් ගෙවනවා. වන්නියලැත්තැන්ගේ බින්තැන්නෙ කැලෑ අස්සෙ කරක් ගහනවා. 
ඔහු අනිල් නිශාන්ත. ඔහු පහුගිය කාලෙ තිසාහාමිගෙ පිළිරුවක් අඹන්න අරන්. 
අඹන්න අරන් දවස් කීපෙකින් මෙන්න තිසාහාමි පනපිටින්. අනිල්ට විශ්මකර්මයා ආරූඩ වෙලා. තිසාහාමිගෙ ඇස්වල කොටින්ම සුදත් මතු වෙලා. ඇස් බෝලයක් හදලා ඒකෙ සුදු පාට ගාලා නං නෙමේ. බලන බලන පැත්තට හෙවනැල්ල වැටෙද්දි සුද පේන විදිහට හාරලා. තිසාහාමිගෙ කටේ පැත්තෙන් බුලත් කෙලත් . රතු පාට ගාල නං නෙමේ. බලන්න බැරි අපුලක් හිතෙන විදිහට වැක්කෙරෙන්නත් නෙමේ. රතුපාට නිකමටවත් පාව්ච්චි කරන්නෙ නැතුවම ඒ වයනයෙන් . ආලේඛ්‍ය මූර්ති කලාව පිළිබද අපූරු නිදසුනක් මගෙ ඇස් ඉස්සරහා. මිනිස් රූප ඇදීමේදී මෙන්ම ඇඹීමේදීත් යොදා ගන්නා ලෝක සම්මත බටහිර මානව දේහ අනුපාතයන්ට අනුව තිසාහාමිව අඹන්න කොහෙත්ම බැහැ. මොකද වැද්දන්ගෙ දේහ අනුපාතය මානව වංශ විද්‍යාවෙ කායික දේහ විද්‍යා අනුමිතීන්ට සම්පූර්ණයෙන්ම වෙනස්. ලාංකීය මූර්ති ශිල්පියෙක් ජාති -කුල- වංශ යනාදී සියල්ල ගැන ඉවකින් යුතු විය යුතුයි. අනිල් ඒ සියල්ලම ජය අරන් . ඒ විතරක් නෙමේ තිසාහාමිගේ ජීවන පරිපාකයෙන් ලද පැසුනුබව , ඒ පරිණතබවත් සමග නිසගයෙන්ම එන උපේක්ෂාව සියල්ල මේ ආලේඛ්‍යය තුළ ගැබ් වෙලා. අනික තිසාහාමි බෝනික්කෙක් කරලා නෑ ෂෝ රූම් එකක තියන්න පුලූවන්. 

ජපාන ඉකෙබානා කලාවේ ආප්තයක් වනුයේ ‘ඔබට මල ලස්සන කරන්නට  ඕනෑ නම් බදුන වඩාත් රළු කරන්න’ යන්නයි. තිසාහාමිගේ ආලේඛ්‍යය ඉදිරියේ මට සිහිවූයේ එයයි.
ලාංකීය මූර්ති කලාවට අනිල් සුභවාදී බලාපොරොත්තුවක් මින් එක් කරන බව නිසැකයි.

- ඇයි තිසාහාමිව අඹන්නෙ?

- ඒක මම කාලයක් තිස්සෙ හිතන් හිටපු එකක්. ඒත් කරන්න ලැබුන් නෑ. ඇත්තටම මම මේක කරන්න කියලා ක්ෂේත‍්‍රයේ ඉන්න බොහෝ මූර්ති ශිල්පීන්ගෙන් ඉල්ලූවා . නමුත් මොන මොන හේතු එක්ක හරි ඒක කෙරුණෙ නෑ.  වන්නියලැත්තන්ගෙන් ඉල්ලීමක් ඒ අතර තිබුණා දිගටම. සමහරු තිසාහාමිගෙ පිළිරුවක් අඹන්න කියලා ගිහින් නොයෙකුත් පහසුකම් භුක්ති විදලා සල්ලිත් අරන් ඒත් වැඬේ කෙරිලා තිබුනෙ නෑ. මාස ගාණක් ගත කරපු එක්කෙනෙක් අතින් කෙරිලා තිබුනෙ පාදමයි, තිසාහාමිගෙ පතුල් දෙකයි විතරයි.  පස්සෙ කොළඹ ගිහින්  එන්නම් කියලා ගිහින් ආයි පැත්ත පලාතක ඇවිත් නෑ. මේ නිසා මං හිතුවා ඉඩක් ලැබිච්ච වෙලාවෙ මේකට අත ගහන්න. විශේෂයෙන් මගේ බිරිද තනුරිගෙත් ලොකු ආශාවක් තිබුණා මේ වැඬේට. 

- එතකොට මේක ව්‍යාපෘතියක් නෙමෙයි.

- නෑ. මම ඉඩක් ලැබිච්ච වෙලාවෙ මේක කළා. ඉඩක් ලැබිච්ච වෙලාවෙ කියන්නෙ මට මේකට මහ කාලයක් ගියෙ නෑ. හරියට ගත්තොත් දවස් කීපයක්. ඒත් මං තිසාහාමිත් එක්ක මනසින් කාලයක් තිස්සෙ ජීවත් වුණා. මේ වෙලාවෙ ඒක කෙරුණෙ නැත්තං ඒක නොකෙරෙන්න තිබුණා. මගෙ හුගක් වැඩ මැද්දෙදි නවතිනවා . නැත්තං මම බාගෙට අත ඇරලා දානවා. නමුත් කාලයක් තිස්සෙ මගෙ හිතේ තිබිච්ච වැඩක් නිසා මේක නං එහෙම අත අරින්න පුලූවන් කමක් තිබුනෙත් නෑ.

- එතකොට මේකට සල්ලි කොහෙන්ද? ඔබ මේවගේ වැඩ කරන්නෙ කැපවීමෙන් නම් ඒවට සල්ලි කොහෙන්ද? මෙවගෙ වෙළදපල ක‍්‍රමයක් ඇතුළෙ ඔබ පවතින්නෙ කොහොමද?

ලෝකෙ දෙකක් තියනවා ආර්ට් වර්ක් (ART WORK) කමිෂන් වර්ක් (COMMISSION WORK)  කියලා. ආර්ට් වර්ක් කියන්නෙ මේ වගේ කලා කෘතියක් කිරිමේ අරමුණින්ම කරන ඒවා. අනික කමිෂන් වර්ක් කියන්නෙ කාගෙ හරි ඉල්ලීමකට සල්ලිවලට කරන ඒවා . මං එහෙම ඒවා කරනවා හොටෙල්වලට  , පන්සල්වලට, එකේක පුද්ගලයන්ට...... 

  - මේක පිටිපස්සෙ කිසිම ව්‍යාපෘතියක් නැද්ද?

- නෑ මේක මගෙ ආසාවට කරපු දෙයක්.

- ඔබ මූර්ති ශිල්පියෙක් වශයෙන් යොමු වෙන්නෙ කොහොමද? 

- වැඩි කල් නෙමේ අවුරුදු කීපෙකට කලින් . සරත් තමා මට මූර්ති ශිල්පයෙ සමහර තාක්ෂණීක දේවල්  කෙටි කාලයක් ඇතුළත යන එන ගමන් කියලා දුන්නෙ. මූර්තියක, මොඞ්ලින් (MODELING), මෝල්ඩින් (MOULDING), කාස්ටින්(CASTTING) , ඒ කියන්නෙ මූර්තිය, අච්චු දැමීම සහ අනුපිටපත් කිරීම මූලින්ම මට කියලා දෙන්නෙ සරත් කුමාරසිරි මහතා.  ඒ ගෞරවය ඔහුට හිමියි.

- අපේ රටේ මූර්ති කලාව ගැන ඔබේ අදහස මොකක්ද?

- අපේ ඉතින් පාරෙ තැන් තැන්වල තියන මූර්ති ටිකක්නෙ තියෙන්නෙ. ඒවයින් අදහසක් ගන්න බෑ. සමහර ඒවා ඉතා විශිෂ්ඨ මට්ටමේ තියනවා. වැඩිහරියක් තියෙන්නෙ යටින් නම ගහලා නැත්තං කවුද කියලා හිතා ගන්න බැරි ඒවා තමා.

- ලෝකයේ මූර්ති ශිල්පය ගැන ඔබේ අදහස? 

- එච්චර ලොකු දේවල් ගැන කියන්න තරං මහ ලොකුවට මං දන් නෑ. දන්නෑ කියන්නෙ මට අදාල වෙලා නෑ.

- මූර්ති කලාව කියන්නෙ මොකක්ද? 

- මම ඔය නිර්වචනවලට නං කැමතිම නෑ. අනික ඒක මගෙ වැඩක් නෙමේ. ඒකට උදවිය ඉන්නවනෙ. නිර්මාණ වචන ඇතුළෙ හිර කරන්න මං ආස නෑ. මම කිසිදෙයක් ආයතනිකව ශාස්ත‍්‍රාලයීයව ඉගෙන ගත්තු ප‍්‍රගුණ කරපු කෙනෙක් නෙමෙයි. මට කවදාවත් එහෙම ලොකුවට  ඕනෙ වෙලා නෑ. මං හිතන්නෙ කාට හරි තමන් දකින දේ කරන්න ඒකට තමන්ගෙන් දෙයක් එකතු කරන්න ඔය මුකුත් අවශ්‍ය නෑ. ඒකට  ඕනෙ තමන්ගෙ ඇහැයි නිර්මාණශීලිත්වයයි විතරයි.

- මූර්ති ශිල්පයට එන්න කලින් හුග දෙනෙක් චිත‍්‍ර ශිල්පියෙක් වෙනවා . ඔබ සම්බන්ධයෙන්?

- මම පොඩි කාලෙ ඉදලම චිත‍්‍ර ඇන්දා. එක එක්කෙනා කිව්වහම ඇදලා දෙනවා . දැනුත් ඒ විදිහටම මම කාට හරි  ඕනෙ වුනාම චිත‍්‍ර අදිනවා . ඇදලා විකුණනවා. කවදාවත් මට ප‍්‍රදර්ශණ කරන්න හිතිලා නම් නෑ. ඊළගට චිත‍්‍රයක් වෙනුවෙන් හත් අටදාහක් වැය කරලා ඇදලා චිත‍්‍ර එකතුවක් කරන්න පුලූවන් තත්වයක් මට තිබුන් නෑ. එකක් ඇදලා විකුණුවොත් තමයි ඊළග එක අදින්න කැන්වස් තීන්ත ගන්න පුලූවන් වෙන්නෙ. අනික මට එහෙම චිත‍්‍රයක් ඇදලා එල්ලලා තියන්න පුලූවන් විදිහට බිත්තියක්වත් මෑතක් වෙනකම්ම තිබිලා නෑ. දැන් ඒ තත්ත්වය වෙනස් දැන් මට  ඕනෙ දෙයක් අ`දින්න පටන් ගන්න පුලූවන්.

- වියුක්ත චිත‍්‍ර ^Abstract) ඇදලම නැද්ද?

නැත්තෙ නෑ. ඒත් මම චිත‍්‍ර අදින්නෙ අනුන්ටනෙ . සාමාන්‍යයෙන් පොදුවේ මිනිස්සුන්ට ඒවා ගැන කිසිම හැගීමක් නෑ. ඒකෙන් මම කියන්නෑ මිනිස්සු කැමති ඒවම අදින්න  ඕනෙ කියලා . ඒවා විතරයි කලාව කියලා . මට වුනත් ඒ ගැන ලොකු හැගීමක් නම් නෑ.

- කැලෑ ජීවිතේ ගැන කිව්වොත්?

-පොඩි කාලෙ ඉදලම මට සත්තු එක්ක නම් බැදීම තිබුණා.  තේරෙන දවසේ ඉදලා අද වෙනකං මම කවදාවත් සතෙක් නැතුව ඉදලා නෑ . ඒ කියන්නෙ අඩුම තරමින්  හූනෙක් හරි පත්තෑයෙක් වත් මං මොහොකහරි දාගෙන හිටියා. උන්ගෙ ඇසුර මට  පුදුමාකාර සතුටක් . මං කියන්නෙ සතෙක්ට ආදරේ කරන්න ඌ එන්ඩමික්ද (Endemic) නැද්ද, සත්ව විද්‍යාත්මක නාමය- ගණය-ගෝත‍්‍රය-වර්ගය මොකක්ද, සුලබද දුලබද, Bio diversity  එකට (ජෛව විවිධත්වයට) උගෙන් වන සේවය කියන දේවල් මට අදාල නෑ. මට නං උගෙ නමවත් දැන ගන්න  ඕනෙ නෑ. වඩා වැදගත් වෙන්නේ අපි කොච්චර අවංකද පරිසරයට සතා සීපාවට කියන එක.  මම කිසිම දෙයක් කවදාවත් සිලබස්වලට ඉගෙන ගෙන නෑ. මට එහෙම  ඕන්නෑ. හැබැයි ඉතින් සත්තුත් එක්ක ඉදලා මම දැණුනු, දැනගත්ත දේ බොහෝයි . ඊට පස්සෙ ඒකට පොත්පත්වලින් එකතු වෙච්ච දේවල් තියනවා. අපේ වනාන්තර ටිකටත් සතුන්ටත් වෙමින් තියෙන දේ ගැන වගේම ප‍්‍රසිද්ධියේ  සත්තු ගැන ලොකුවට කතා කරන සමහර අය ගැනත් නම් මට ලොකු කණගාටුවක් තියෙනවා

- එතකොට කැලෑ ගත වෙන්නෙ? 

- ඒක නං පොඩි කාලෙ ඉදලා තිබ්බ එකක් නෙමේ. ආයතනවල වැඩ කරලා නාගරික ජීවිතේ එපාවෙලා මෑතක තමයි ඒක වෙන්නෙ.

- තිසාහාමිව දැකලා තියනවද? 
- නෑ.

- එතකොට වැද්දො එක්ක තියන සම්බන්ධය?

- මම සත්තුන්ටයි කැලැවටයි ආදරේ කරන කොට මට ඇත්තේන්ම සත්තුන් කැලෑවත්  එක්ක ජීවත් වෙන මිනිස්සු කියලා හම්බ වෙන්නෙ වැදි ජනතාව. ඔවුන් දැන් කලිසම් අදිනවද බිස්නස් කරනවද , ඒව එකක්වත් මට අදාල නෑ. කොල අතු නැතුව ඇදුම් අදින්නෙ මොකෝ කියලා අහපු තරුණයෙක්ට වන්නියලැත්තො කිව්වෙ ජීවහත්තගෙ දිසාලාගෙ පරපුරින් ඔවුන් පැවත එන බවත් කුවේණි කපු කටිමින් සිටි නිසා ඇදුම් ඇදීමේ සැබෑ අයිතිය තියෙන්නෙ ඔවුන්ට බවත්. පරිසරයත් එක්ක හැබෑවටම ජීවත් වෙන්නෙ ඔවුන්. ඒ නිසා මම ඔවුන්ට ආදරේ කරනවා . ඒ නිසා මම ඔවුන්ගෙ නායක ඇත්තො වෙච්ච තිසාහාමිටත් ආදරේ කරනවා. ගෞරව කරනවා. ඒ නිසා තමයි මම එතුමාගෙ පිළිරුව අඹන්නෙම. මේ සිස්ටම් එක ඔවුන්ගෙ ජීවන රටාව විනාශ කරලා . අලින්ගෙ වගේම. වන්නියලැත්තන්ට  ඕනෙ නං ඡුන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තුවට ඇවිත් පොලිස් ආරක්ෂාව යාන වාහන ඇතුව ලේසියෙන්ම ඉන්න පුලූවන්. ඒත් ඔහු මේ සිස්ටම් එකට කැමති නෑ. අපි ඒ මිනිස්සු සුද්දන්ටයි රිසච් කරන අයටයි ඇන්ටික් බඩු වගේ ඉන්න  ඕනෙයි කියලා හිතන එක හරිම අසාධාරණයි. මෙච්චර දියුණු ලෝකෙක තාම එක පවුලකින් එකෙක්හරි සම්ප‍්‍රදාය ගෙනියන්න තාත්තගෙ කෙටේරිය කරට ගන්නවා . ඒක දෙන්නෙ වන්නියලැත්තො. ඒක හරියට මහණකම වගේ. මම පුද්ගලිකව වැද්දො ඒ විදිහටම ඉන්නවට ආසයි. මේ සිස්ටම් එක ඇතුළට ඇවිත් උන්ට වෙන්නෙත් අපිට මේ වෙලා තියන දේමයි. තිසාහාමි මාතරින් පැනලා ගිය හොරෙක් කියලා සමහරු  පටන් ගත්ත ව්‍යාපෘතිය වැද්දන්ගෙ ජාන , දේහ විද්‍යාත්මක ලක්ෂණ දන්නැති උදවිය විශ්වාස කළා. ඒක වැදි ජනතාව නැති කරලා දාන්න හදපු මතවාදී ව්‍යාපෘතියක්.

- ඔබේ පාරිසරික සංචාරක සහ ගෘහනිර්මාණ කටයුතු ගැන කතා කළොත්?

- ගෘහ නිර්මාණය ගැන කතා කරන්න මම පිළිගත් වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙක් නෙමේ. ඒක ගැන කතා කරන්න ගියොත් ඒක වෙනම කතාවක්. එකෝ ටුවරිසම්වලට(ECO TOURISM)  ආදාලව මම කබානා කීපයක්ම නිර්මාණය කළා. මගෙ මිත‍්‍රයෙක් වන ගෘහ නිර්මාණ ශිල්පී දමිත් මහතාට මාදුරුඔය හමුදා කදවුරෙන් කබානාවක් නිර්මාණය කරන්න ඉල්ලීමක් කෙරෙනවා . ඔහුට කාලය නැති නිසා මගෙන් මේක කරන්න පුලූවන්ද කියලා ඔහු අහනවා . ඒක වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ලස්සන තැනක්. ඒ වගේ තැනක ජීවත් වෙන්න ලැබීම  වාසනාවක් විදිහට මට දැනුණා. මම ඒ වැඬේ සතුටින් බාරගත්තා. ඉන් පස්සේ මම කනල් චන්දිමාල් මහතා සහ මේජර් අසංග  පෙරේරා යන මහත්වරුන්ගේ නොමසුරු සහයෝගය ඇතිව ඔවුන් සමග එක්ව දිවා රාත‍්‍රී නොබලා වැඩ කරමින් කෙටි කාලයකින් වැඬේ ඉවර කලා. අමුද්‍රව්‍ය වුනේ පාවිච්චියෙන් ඉවත දාපු දේවල් අනික වැඩ කළේ හමුදා සේවකයින් නිසා නිර්මාණ කටයුතුවලට ගොඩක් මහන්සි වෙන්න සිදුවුණා . ඒකට දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙනුත් හොද ඇගයීමක් සිදුවූණා. යුරෝපයේ පළවන මාක් (MARK) සගරාවෙ ඒ වෙනුවෙන් පිටු දෙකක් වෙන් කෙරෙනවා. ලංකාවේ ආකිටෙක්ට් (ARCHITECT) සගරාවෙ මේ ගැන මුල් කවරයේම පළ වෙනවා. වෙබ් පිටු දහස් ගණනක මේ ගැන තොරතුරු පළවෙනවා. ඒ ගැන මම අවංකවම සතුටු වෙනවා.

  මම එවැනි පාරිසරික නිර්මාණයක් කරදිදි දවස් ගානක් එතනට වෙලා ඔහේ බලාගෙන ඉන්නවා හුලං අත දැනගන්න, දවස පුරා ඉරඑළිය වැටෙන හැටි, වළාකුළු,  අව්ව වැස්ස   වටහා ගන්න. ඔලූව ඇතුළෙ හැදෙන මොකක්හරි පොළව උඩ නිකං පිහිටුවන්න බෑ. මම මුලින්ම කරන්නෙ එතනට වෙලා මගෙ හීනෙ දකින එක. සමහරු චිත‍්‍රපටියක ලොකේෂන් බලනවා වගේ තැන බලන් ගිහින් කරන කාමරේකට වෙලා හීන දැකලා ඊට පස්සෙ ඒක පොළවට ගේන්න මම කැමති නෑ. කාලගුණය දේශගුණය අවුරුද්ද පුරා තියන වර්ෂාපතනය සේරම මගෙ හීනෙ ඇතුළෙ ලේ මස් වගේ තියනවා. . එහෙම වැඬේට අවංක නොවී මෙ දේවල් කරන්න අමාරුයි. දැනට කටයුතු අවසන් වූ ඒවා මෙන්ම නිර්මාණ සැලසුම් මට්ටමේ වැඩ කීපයක් මේ දවස් වල කෙරීගෙන යනවා.

- ඉස්සරහට මොනවද අඹන්න ඉන්නෙ?

- අඹන්න අදහසක් නම් තියනවා.......... ඒත් ඒක මට තනිවම කරන්න බැරි  තරම් විශාල වැඩක්. ලොකු මුදලක් වැය වෙනවා අපේ රටේ ජාතික තලයේ සාහිත්‍යධරයන් , කලාකරුවන් , කවියන් , නාට්‍යකරුවන් , පඩිවරුන්, බුද්ධිමතුන් ආදීන්ගේ මූර්ති අඹන්න මට හීනයක් තියනවා . මිනිසුන්ට, අනාගත පරපුරට දකින්න බලන්න එකම තැනක ඒ ටික පිහිටුවන්න. හරියට පිටරට මූර්ති උද්‍යානයක වගේ . එහෙම නැත්තං එකම තැනක මිනිස්සු රැස්වෙන . ඒත් මේක රජයෙන් හෝ වෙනත්  ආයතනවලින් හෝ අනුග‍්‍රහයක් නැතිව කරන්න පුලූවන් දෙයක් නෙමේ . මම මේ දිනවල මම ඒ සදහා අනුග‍්‍රාහකයන් සොයමින් ඉන්නවා.

-හොයනවා කියන්නෙ ඒකට ව්‍යාපෘතියක් දියත් කරලා තියනවා?

-දැනට නම් නෑ. ඒත් මං කොච්චර අකමැති වුනත් එහෙම නැතුව ඒක කරන්න බෑ වගේ.දැනට මම දන්න කීපදෙනෙක්ට තියලා තියනවා. එච්චරයි. 

-ඒකට අනුග‍්‍රහය දක්වන්න කැමති හරි , වෙනත් නිර්මාණයක් ඔබෙන් කර ගන්න කැමති හරි කෙනෙක් කොහොමද කැලෑ වැදිච්ච ඔබව සම්බන්ධ කරගන්නෙ? ඒක ප‍්‍රශ්නයක්නෙ.

-එහෙම අවශ්‍ය නම් මගෙ දුරකථන අංකය 0772382929 .

-එතකොට තිසාහාමිගෙ පිළිරුව විවෘත කරන්නෙ කවද්ද? 

- මට ඒක එහෙම විවෘත කිරීමක් අවශ්‍ය වුණේ නෑ . මම හිතන් හිටියෙ ඉවර කරලා ලොරියක පටවගෙන ගිහින් පිහිටුවලා එන්න. ඒකට වන්නියලැත්තො හම්බවෙන්න ගිහාම වන්නියලැත්තො කිව්වා අගෝස්තු අට වෙනිදා ලෝක ආදීවාසීන්ගේ දිනය කියලා . එදාට මේක පිහිටවමු කියලා. එදාට දඹාන වගේම හේනානිගල , නිල්ගල, රතුගල, පොල්ලෙබැද්දෙ , වෙරළතීරෙ හැම තැනම ඉන්න සේරම වැදි ජනතාව එතනට එනවා කියලා . ඊළගට තිසාහාමිගෙ සොහොනත් එදාට විවෘත කරනවා කියලා. ජනාධිපතිතුමාත් එදාට එනවා කියලා . ඉතින් ඒවා වන්නියලැත්තන්ට  ඕනෙ විදිහට සිද්ධ වෙයි. 

- එතකොට ඉබේම එතනදි ව්‍යාපෘතියක කොටසක් බවට මේක පත්වෙයි . 
- මගෙ වැඬේ මම කරලා ඉවරයි මට ඒක අදාල නෑ. ඊළගට ඒක නවත්තන්නත් බෑ. ඒකෙන් වැදිජනතාවට මොකක් හරි හොදක් වෙනවා නම් එච්චරයි.

සංවාදය සහ සටහන - කේ.කේ.සමන් කුමාර 







No comments: