Thursday, October 12, 2017

බොල බූරු පුතේ දුක සෝකා ඉතින් ඉවසන්




සෝබාව දේ මෙපුර සිරි විසිතුරු
බලනු මිතුරු මග පියකරු වූ
සුසුදු වළා කැරළි පලසකි මේ
මග දිග ඇතිරූ
අහස සූරන මැදුරූ

1977 දී ඇතිවූ විපරීත සමාජ ක්‍රමය පිළිබදව ලූෂන් බුලත්සිංහල සහෘදයාණන් එදා සිත්තම් කළේ එසේය. අනතුරුව අහස්කුස සිසාරා තාරාවන් ඉගිල යන්නට පටන් ගති.
ආනන්ද එස් විජයසිරි සහෘදයා මේ සිත්තම් කළේ මෙසේය


බොල බූරු පුතේ 
දුක සෝකා ඉතින් ඉවසන්
අපි යන්න යමූ 
අපි යන්න යමූ 
දෙව් ලෝකෙ බලා විගසින්
බොල බූරු පුතේ

තාරාවන් ඉගිලෙන, බූරු පුතුන් දිව්‍ය ලෝකේ  කාලකණ්ණි සමාජ ක්‍රමයක, තිරුවානා ගල් උඩ විත් ගොම රිති යට යන අබුද්දස්ස යුගයක දිවි ගෙවමු. ඒ ගැන අනාවැකි කීවුන්ද අඩුවක් නැතිව ඊටම උඩ ගෙඩි දෙති.

ඉතාලි ජාතික තෝමස් කොලෝඩිගේ ලෝක ප්‍රකට ළමා සාහිත්‍ය කෘතියක් වන පිනෝකියෝ හෙවත් රූකඩ පැංචා කතාන්දරයේ හා හාපුරා කියා පාසල් යන්නට යන පිනෝකියෝව රවටන කපටි නරියකු සහ දුෂ්ඨ බළලෙකු ඔහුගේ හෝඩි පොත විකුණා පිනෝකියෝව කානිවල් එකකට කැටුව යයි. එහිදී සෙල්ලම්ලන්තයට යන දුම්රියක නැග එහි යන පිනෝකියෝ බූරුවකු බවට පත්වේ.

ඉතාලිය තුළ සිදුවූ අධ්‍යාපනය විකුණා දැමීමේ ක්‍රියාවලියේ ආරම්භය තෝමස් කොලෝඩි නම් ඒ මහා ගත්කරුවාණන් දුටුවේ එසේය.
දැන් ඒ කපටි නරියා සහ දුෂ්ඨ බළලා මෙහි පැමිණ සිටී. ආදරණීය අම්මේ තාත්තේ, තක්කඩි වෙළෙන්දන්ගේද, විපරීත කානිවල්කරුවන්ගේද උන්ගේ අප්පා වන ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේද කොන්ත්‍රාත්තුව මත ඔබේ දරුවා සෙල්ලම්ලන්තයට යවා බූරුවකු බවට පත් කිරීමේ කාරිය මේ කපටි නරියාත් දුෂ්ඨ බළලාත් විසින් බාර ගෙන තිබේ.

ආදරණීය අම්මේ තාත්තේ ඔබ බූරුවකු විය හැකිය. එහෙත් ඔබේ දරුවා බූරුවකු වනවාට ඔබ කැමතිද?
පිනාකියෝට පසුව සිය පියා හමුවන්නේ තල්මසකුගේ බඩ ඇතුළේදීය. මේ කොලෝඩි සහ පියා එකම ණයකරුවකු විසින් ගිල ගැනීම දක්වන සංකේතය බව විචාරකයන් විසින් විග්‍රහ කරනු ලැබීය. ආදරණීය අම්මේ තාත්තේ, ලෝක බැංකුව නම් තල්මසාගේ බඩ තුළ ඔබේත් ඔබේ දරුවාගේත් ජීවිත ග්‍රහණය වී ඇත. ඉන් ගැලවීමටවත්, සමාජ ක්‍්‍රමය වෙනස් කිරීමටවත්, ආණ්ඩු පෙරලීමටවත් දවල් සිහින දකින්නට කාලය මිඩංගු කිරීමට මේ අවස්ථාව නොවේ. මේ එළඹ ඇත්තේ ඔබේ දරුවා බූරුවකු බවට පත්වීමේ අවාසනාවන්ත ඉරණමෙන් බේරා ගන්නට ඔබට ඇති අවසාන නිමේෂයයි.

නැතිනම් ඔබට ගයන්නට වන්නේ බොල බුරු පුතේ යන දෙව්ලෝ යනකං නාට්‍යයේ ගීතයයි.


දමිල ජනයා පිළිබද සිංහල ඔබ නැගූ චෝදනා අතරින් එකක්  වූයේ දොස්තරවරුන්, උගතුන්, ඉංජිනේරුවන්, නීතිවේදින් ආදී බොහෝ දෙනෙකු දමිලයන් වීම දරා ගත නොහැකි වීමේ චෝදනාවයි.  මේ වන විට අධිරාජ්‍යවාදීන් විසින් විශේෂ වරප්‍රසාද දීමෙන් ඇති කළායැයි කියන එම තත්වයද  පරාජය කොට ඇත. මෙහි ඇතිවූ සියලූ මර්ධනයන් තුළදී සිංහල දෙමල භේදයකින් තොරව උගත් තරුණයන්ගේ කරදරය අහවර කෙරිණි. 89න් පසු සියලූ සාහිත්‍ය කලා සමාජ සංවාදයන්හි හිස් පුටු දකින්නට භාග්‍යය අපට හිමි විය. ගමේද නගරයේද කියා වෙනසකින් තොරව නූගත් අලජ්ජි බූරුවන් අහිනක් සහ ලූම්පන් තිරිසනුන් රොත්තක් ජනතා නියෝජිතයන් ලෙස පත් විය. සියලූ උත්තරීතර ආයතනයන් තිරිසනුන් විසින් අරක් ගැණිනි. මේ ලූම්පන් අප්පාවරුන්ට සරිලන, මේ ලූම්පන් ක්‍්‍රමයට ගැලපෙන ලූම්පන් අධ්‍යාපනයක් දියත් කිරීමට පිඹුරුපත් සැකසිණි. ජනමාධ්‍ය මේ තිරිසන්  බව ලූම්පන් බව අභිනන්දනය කරන්නට ගත්හ.

පිනෝකියෝගේ පියා ගෙපෙටෝ අසීරුවෙන් පිනෝකියෝට හෝඩි පොත මිලට ගෙන දෙයි. දරුවන් සරසවියට යවන්නට ගම්වල බොහෝ මව්පියන් ගේදොර ඉඩකඩම් උගස් කරති. නාගරික මව්පියෝ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සිය ජීවිත පිටින්ම උගස් කරති.
අම්මේ තාත්තේ තව දුරටත් ඔබ ඔබේ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔබේ ජීවිත උගස් තැබීමේ තේරුමක් නැත. එක්කෝ මේ කපටි නරියාටත් දුෂ්ඨ බළලාටත් උන්ගේ අප්පලාටත් එරෙහිව සටන් කරන්න. නැතිනම් ඔබේ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔබේ ජීවිතය උගස් තැබීම වහාම නවත්වන්න.

දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට හයක් රටේ අධ්‍යාපනයට වැය කිරීමට කනිපින්දම් ගසන රජයක් තවමත් පාසල් පොත්වල නිදහස් අධ්‍යාපනයේ පියා යැයි සී.ඩබ්.ඩබ්. කන්නංගර ශ්‍රීමතාණන්ව විලිලජ්ජාවකින් තොරව සදහන් කරයි. දලජාතික නිෂ්පාදනයෙන් රටේ ඒ ඒ දේවලට වෙන් වන අනුපාතයන් සැසදීමට ගියහොත් ඔබගේ මුඛ පූට්ටු වනු ඇත. මෙසේ තිබියදී සිරිල් පොන්නම්පෙරුම වැනි විශ්ව කීර්තියට පත් බුද්ධිමතුන් ගැන වහසි බස් දොඩන්නටත් ඇතැමුන්ට ලැජ්ජාවක් නැත. මින් ඉදිරියට සිරිල් පොන්නම්පෙරුමලා අවශ්‍ය නැත . අවශ්‍ය බූරුවන් පමණය. බූරුවන්ට පාලනය කරන්නට බූරුවන් සිටිය විට ලෙහෙසිය.
 අප රට සාක්ෂරතාව පිළිබද පම්පෝරි කලක සිට අප අසා ඇතිමු. අප රටේ දෙමාපියන් වැඩි හරියක් සිය ආදායම වැය කරනුයේ දරුවන්ගේ අධ්‍යාපනය උදෙසාය. දරුවන් සේම මව්පියන්ද නොවිදිනා දුක් අධ්‍යාපනය වෙනුවෙන් විදිති. දරුවන්ට ළමා කාලය, සිය නව යොවුන් විය සේම දෙමාපියන්ට සිය තරුණ කාලයද මේ වෙනුවෙන් අහිමි වේ. අප රට තුළ පංති සංක්‍්‍රමණයේ ප්‍රධාන මාදිලියක් වන්නේ අධ්‍යාපනයයි.
මේ වන විට රට තුළ පංති බෙදීමක් නැතිය යන මායා දර්ශනයක් සියල්ලන්ගේ සිත් තුළ එලා තිබේ. සැබැවින්ම මෙහි අන් කවරදාකවත් නොවූ විරූ ලෙස පංති බෙදීම සිදු වන්නේ මෙකල්හිය. එවන් කලෙක පැරණි ස්ථර ක්‍්‍රමයෙන් වාෂ්ප වී නව ස්ථර බිහිව ඒ. එම නව ස්ථරයන්ට ස්ථාන ගත වන සැවොම තමන් පංති හිණිපෙතේ ඉහළින් සිටිනවාය යන මායාවෙන් අන්ධව සැරි සරති. සියළු මිනිසුන් මනුස්ස දූලි බවට පත් කරන මෙම අවධිය අතිශය සංක්‍රාන්තික වූවකි.



මරුටියක් තිබූ පමණින් ඔබ ධනපතියකුවත් ඉහළ මධ්‍යම පංතිකයකුවත් නොවේ. එම මෝහයත් මුලාවත් ඔබව ගෙන යනු ඇත්තේ පරිභෝජනවාදය තුළ, වෙළද භාණ්ඩ වන්දනාවාදය හරහා ඉතාමත්ම අනාරක්ෂිත තත්වයකටය. යුරෝපයේ කම්කරුවන්ටත් කාර් එකක් තිබේ. ධනපති හෝ සුලූ ධනේශ්වර බව මේ වනවිට ජගුවරය ලිමුසීනය කරා පොලා පැන තිබේ. බොහෝ සුළු ධනේශ්වරයන් යනු උගත් පරිපාලන හෝ සේවා සපයන කම්කරුවන්ය. කලාකරුවාගේ සහ කම්කරුවාගේ පවා වෙනස මේ වන විට ඇකී මැකී ගොස් තිබේ. මොකක් හෝ කඩ කෑල්ලක් දා ගත් පලියට සුලූ ධනේශ්වර වන්නට පුලූවන් යුගයක් අතීතයේ තිබිණි. කායික ශ්‍රමය වෙහෙසනා එයට වැටුප් ලබන්නා නිර්ධනයාය යන පැරණි සීමාව ඇකී මැකී ගොස් තිබේ. කෙසේ හෝ කේන්ද්‍රයේ අධිරාජ්‍යවාදී රටවල පුරවැසියන් නොකරන නොවැදගත් වැඩකිරීමට මනුස්ස දුලි පමණක් මේ වන විට එම රටවලට මෙවන් පරිවාරයේ රටවලින් අවශ්‍යව තිබේ. අධ්‍යාපනය ඊට සීමා වීම උන්ට සෑහේ. යුධ සමයේදී ගම් ප්‍රදේශවල පාසල්වලට ප්‍රතිපාදන සිතා මතාම කප්පාදු කරනු ලැබුවේ ගම යුද්ධයට තරුණයන් සපයන තවානක් ලෙස තබා ගත යුතු හෙයිනි.

විදේශ විශ්ව විද්‍යාලවලට හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලවලට, අන්තර්ජාතික පාසල්වලට සිය දරුවන් යැවීමට සමත් පිරිසට ඇතැම් විට ඔබ අයත් වනවා වන්නට පුලූවන. එහෙත් හෙට දින ඔබේ දරුවාට ගනු දෙනු කිරීමට වන්නේ, පාලනය කිරීමට වන්නේ, මහමග ගමන් කිරීමට වන්නේ බූරුවන් සමග නම් ඒ වරප්‍රසාදිත තත්වයෙන් කුමන පලක් වේද? හෙට ඔබේ දියණිය මේ බූරුවකු අතින් දුෂණයට පත් විය හැක. ඔබේ පුතා මේ බූරුවකු අතින් මිය යන්නට පුලූවන.
තරුපහේ හෝටල්වල අහර වළදින්නෝ සිටිති. කුඩා අවන්හල්වල අහර ගන්නෝද සිටිති. තරුපහේ හෝටල්වල බුදින්නන් අනෙක් කුඩා හෝටල හෝ කුඩා අවන්හල් වසා දමන්නට කටයුතු කරන්නේවත් ,ඒවා වැසී යන තැනට කටයුතු සිද්ධ කරන්නේවත් නැත.

සියළු සත්වයෝ ආහාරයෙන් යැපෙතියි බුදුරදුන් වදාළේය. එසේම සියලූ මනුෂ්‍යයෝ අධ්‍යාපනයෙන් යැපෙති.  ඔවුන් මනුෂ්‍යයන් බවට පත් වන්නේ අධ්‍යාපනයෙනි.

ආහාරයේ සමබර බව, ගූණාත්මකතාව කෙසේ වේවා සියලූ සත්වයන්ට ආහාර අවශ්‍යය. අධ්‍යාපනයේ ගුණාත්මක බවද එවන්ය.
අධ්‍යාපනය යනු දැනුම ලබා ගැනීම පමණක්ම නොවේ. එය ශිෂ්ඨත්වය සහ මනුෂ්‍යත්වද අත්පත් කොට ගැනුමයි. එය මිනිසුන් උගතුන් කරනු පමණක් නොව මනුෂ්‍යයන්ද කරයි. නොඑසේව උගත් බූරුවන්ද සිටින බව ඇත්තය. එහෙත් නූගත් බූරුවන්ට වඩා උගත් බූරුවන්  පවා උසස්ය.
ලොව පුරා සියළු කල්හි බූරුවා එක් කාරණයක් සංකේතවත් කරන්නක් ලෙස යෙදී තිබේ. අම්මේ තාත්තේ ඔබේ දරුවාට මනුෂ්‍යාත්මභාවයක් ලබා දෙන්න. 

ලෝක ධනේශ්වරයේ විපරීත කොන්ත්‍රාත්කරු ජේ ආර් ජයවර්ධනගේ සම්පූර්ණ නොකළ කොන්ත්‍රාත්තුව එදා ඔහුට විරුද්ධ වූ ඔහුගේ මුනුබුරන් වන වත්මන් පාලකයන් විසින් ජාතික- වාම- බෞද්ධ වෙස් මුහුණක් පැළද කරගෙන යනු ලබයි. රනිල් වික්‍රමසිංහ ජාතික වෙස්මූණු පළඳන්නට එදා සමත් නොවූ නිසා ලෝක ධනේශ්වරය මෙන්ම ඔබද ඔහුව කුණු කූඩයට වීසි කොට තිබිණි. එහෙත් මේ යහපාලන මහබඹා කෝලමේ වෙස් මුහුණින්, එදා ඔබ විරුද්ධ වූ දේම දැන් ඔබගේ ආශීර්වාදය මැද ජේ ආර්ගේ මේ විපරීත මුනුබුරු කැලත විසින් රෙද්දෙන් හෝ සරුවාලයෙන් දැන් කරගෙන යනු ලබයි.
ක්‍රමය වෙනස් කිරීමවත් ආණ්ඩු පෙරලීමවත් ගැන දවල් සිහින නොදැක, ඔබ යූඑන්පීකාරයකු ජේවීපීකාරයකු සන්ධාන හෝ හෙළ උරුමකරුවකු, පෙරටුගාමී පාක්ෂිකයකු හෝ පෙරටුගාමී සමාජවාදියකු හෝ අන්කවරකු වේවා, කවර ජාතියකට කුලයකට, ආගමකට, වෘත්තියකට, පන්තියකට, තරාතිරමකට, කවර දර්ශණයකට, ගුරුකුලයකට අයත් වේවා ඔබේ යුතුකම ඉටු කරන්න. ඒ මුදලින්ද ශ්‍රමයෙන්ද, වචනයෙන්ද අන්තර්ජාලයෙන්ද, පාසලේ කාර්යාලයේ හෝ වැඩබිමේද තැබැරුමේද යන්න නොතකා ඔබේ යුතුකම ඉටු කරන්න. ආදරණීය අම්මේ තාත්තේ ඔබත් ඔබේ දරුවා බූරුවෙක් කරන්නට සදන කපටි නරියාටත්, දුෂ්ඨ බළලාටත්, උන්ගේ අප්පලාටත් එරෙහිව මේ සටනට සහාය දෙන්න.
ඔබේ දරුවා බූරුවකු බවට පත් කරන්නට කැස කවන මේ කපටි නරියාටත් දුෂ්ඨ බළලාටත් උන්ගේ අප්පලාටත් එරෙහි වීමෙන් හෝ නොවීමෙන් ඔබ බූරුවකු වන නොවන බව ඔබම තීරණය කරන්න.

ධම්ම ජාගොඩ සහෝදරයා විසින් නිර්මාණය කළ මළවුන් නැගිටිති 70 දශකයේ මුල් භාගයේදී තහනමට ලක් කෙරිණි. එහි ශීෂ්‍යයන්ට පොලීසිය විසින් දියත් කෙරෙන බැටන් ප්‍රහාරය නිරූපනය කෙරුණේ ලෝ වැඩ සඟරාවේ කවිවල පසුබිම් ගායනයක් මගිනි.

අද අද එයි මරු පින් කර ගන්නේ 
කෙලෙසද සෙට මරු නේති සිතන්නේ 
කිකලද මහසෙන් මරු ඇප වන්නේ 
කුමටද කුසලට කම්මැලි වන්නේ

එය බුදුදහමත් පීඩක පංතියේ කුලී මැරයනුත් අතර සම්බන්ධය අතිශය නිර්දය ලෙස හෙළිදරව් කළේය. පීඩක පංතියේ මර්ධන උපකරණ තවමත් එසේමය. එහි වෙස්මුහුණ ආගම බව අප පැහැදිළිවම අත් දැක හමාරය. ඒ මේ භූමිය මත ගලා ගිය පීඩිතයන්ගේ ලේ වලිනි.  


කේ. කේ. සමන් කුමාර 

1 comment:

Ajith Dharma. said...

මෙය ජයග්‍රහණයෙන් කෙළවර වීම ගැන මොකද ඔබ හිතන්නේ, එය පුස්සක් නොවේද?