Sunday, March 4, 2018

පසෙන් උපන් යෝධයාගේ පාංශුමය සාහිත්‍යය


මා ඒ කාලයේ ඇන්දේ කොටකලිසම්ය. ඒද තිබුණේ දෙකකි. කොල්ලන් දිග කලිසම් ඇන්දත් පසුදා ඒ ඇඳ දොට්ට බසින්නට වන ලැජ්ජාව වසා ගන්නට මම සුද්දගෙ ඇඳුම යැයි දිගකලිසම් නාඳින ජාතිකවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළෙමි. එසේ නම් කොට කලිසමද  සුද්දාගේ කියා මට සිතුණේ නැත. කලිසම චීනාගේ යයි මා දැන ගත්තේ බොහෝ පසුවය. ඒ කාලේ ළමුන් ගැන සොයා බැලීමේ මෙතරම් ඉහවහා ගිය භීතිකාවක් වැඩිහිටියන්ට තිබුණේ නැත. කොහොමටත් අම්මාගේ පිස්සුව නිසා කලුවර වැටුණු පසු ගෙදර එන්නට හුරුව සිටි මට එම ප්‍රතිපත්තිය කුඩම්මා යටතේත් දිගටම ගෙන යන්නට විය. 

ඒ කාලේ මම පයින්ම සැතපුම් දහය පහළව හිස හැරුණු අතේ ගොස් රටතොට දැක බලාගන්නට පුරුදුව සිටියෙමි. ගොලු හදවත කියවා මම හොරණ තක්ෂිලාව බලන්නට පසුදා පාසලින් කට්ටි පැන පයින්ම හොරණ ගියෙමි. 

ඉතින් මම දිනෙක මේ මහා යෝධයාවද දැක බලාගන්නට ගියෙමි. ඇරුව්වල ඇත්තේ මොරකැටියෙන් හැරී දිගටම ගිය විට බව මම දැන සිටියෙමි. ඒ කාලේ පාරක් දැන ගන්නට ඕනෑ නැත. ඕනෑ කෙනෙක් පාර කියා දෙයි. කඩයකින් වතුර එකක් ඉල්ලූ විට අප වැනි ළමයින්ට සල්ලි නොගෙනම තේ එකකුත් දෙයි. විස්තර අසයි. මා මගේ දුව ගැන අද බිය වන සේ බිය වන්නට කිසිවක් නැත. තිබුණත් මට නම් එවැන්නක් තිබුණේම නැත.

ඇරුව්වල පාරේ එවිට තිබුණේ ගෙවල් කිහිපයකි. දිගටම කැලෑවල්ය. වෙල් යායවල්ය. මේ මල්දෙනියේ සිමියොන්හි කතා කෙරෙන පරිසරයය. හැමෝගෙන්ම අසාගෙන අන්තිමේ මම ඇරැව්වල හන්දියට ගියෙමි. පසුව එතැනින් ආපස්සටැයි කීයෙන් ආපිට හැරී මේ යෝධයාගේ නිවස පිහිටි ‘මල් උයන’ කරා ගියෙමි.

අඩවන් දොරට තට්ටු කළ විට ටිකකින් උලුවස්සටත් වඩා උස දෙදෙනෙක් එතැන පෙනී සිටියෝය. අතපය, පපුව පුරා පස් පිටින් නන්දිමිත්‍රයන්ය. එතැන සිරියාවට පුවක් මලක් සේ සිනා සිසී පුවක් ගසක් සේ උස සුදු ගැහැණියකි. ඒ ඔහුගේ බිරියය.

කතා කළ දේවල් මට මතක නැත. විනාඩි දහයක විතර සල්ලාපයකි. ඔහු කතා කළේ නැත. ගුවන් විදුලි නාට්‍ය ලියන්නට ඉගෙන ගන්නේ කෙසේදැයි මම ඇසුවෙමි.

‘අපි මේ කතා කරන විදිහට ලියන්න. එච්චරයි. තමන්ම හිතින් කතා කර කර.’

ඉන් දශක කිහිපයකට පසුව නිර්මාණාත්මක ලේඛනය පිළිබඳ පාඨමාලාවක් වසර තුනක් තිස්සේ පවත්වාගෙන ගිය මට අදද ලියන්නට කැමති කෙනෙක්ට කියන්න තියෙන්නේ එයමය. පෙදරේරු පාඨමාලා කළ වුන්ට උපකරණ එකසිය පනහක් විතර ඕනෑ යයි බාස්ලා අතර කියමනක් ඇත.

ඉන්පසු තවත් වරක් මා ඔහුව හමු වන්නට නිවසට ගියා මතකය. ඔහු සිටියේ වගාවකට පාත්ති සකසමින්ය.

මහවැලියේ ඔහු සේවය කළ කාලයේ සුගත් වටගෙදර, මනෝ අයියා, හා නන්දිමිත්‍රයන් ආදීන්ව හමුවන්නට මම සතියකට වතාවක් ‘ඉසුර’ ට යන්නෙමි. ඒ කාලේ තිබූ ඒ නිර්මල අව්‍යාජ නිහතමානී උපේක්ෂා සහගත බව මා පසුකලෙක මංමුලාවැල් පෑගී පිටසක්වළ බසින් දොඩන විවිධ අවධිවලද ඔහු මා වෙත පෑවා මට මතකය. 
1984 වන විට මා කාන්දමකට ඇදී ගියෙමි. ඒ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයයි. මා තවමත් රැකී සිටින්නේ එයින් ආරෝපණය වූ චුම්භක ශක්තියෙනි. ඉන්පසු ගන්ධබ්බ  කාලයකි. යළි මා ඇදී ගියේ දීප්ති මගේ දෙවන පියා ලෙස හඳුන්වන රොහාන් පෙරේරාගේ කාන්දමටයි. සකලවිධ න්‍යාය, මතවාද, ෂානරයන් පසුපස පරම්පරා තුනක් දිවුණු අද දක්වා රටටම වදකහ සුදියක් වුණු විෂම කතිකා යුගයක් ඇරඹුණේ ඉන් අනතුරුවයි.

මේ  කාලය තුළ ලාංකීය කැරලි දෙකක් පරාජය විණි. සමාජය ඉමහත් විපරීතත්වයක් තුළ ගිලී ගියේය. නව ජාතිකවාදීන් අතර නන්දිමිත්‍ර ලෙස හඳුන්වන චම්පික පාරිසරික දේශපාලනයෙන් ගල් අඟුරු බලාගාර හරහා මෙගාපොලීස් දක්වා ගමනක් ගියේය. එය සෝම හිමියන්ගෙන්, පූජනීය දේශපාලනයේ කස පිපිරුම්වලින් ඥානසාරගේ හා සමන්ත භද්‍රගේ අධෝවාත දක්වා පිරිහී ගියේය.

පසු කලෙක මම මල්දෙනියේ සිමියොන්ගේ ජන්ම භූමිය වූ රත්මල්දෙනියේ වැසියකුව සිටියෙමි. මා එදා ඒ යෝධයා හමුවන්නට ගිය කැලෑවල්වලින් හා වෙල්යායවල්වලින් හෙබි පරිසරය අද නිකම්ම වෙන්දේසි වත්තක් ගානට ගිහින්ය. පාර දිගේ කුණු ගොඩවල්ය. පාරේ ඇවිද යන්නට බැරි ගානට වාහනය.

ඇමරිකානු පාංශමය නවකතාව ( The novel of soil ) වැනි එෛන්ද්‍රීය බවකින් ලාංකීය  පොළොවෙන් පැන නැගි සාහිත්‍ය කෘති හා නිර්මාණකරුවන් අපට ඇත්තේ අතලොස්සකි. විදේශිකයකු වුව වුල්ෆ් පවා ඊට අයත් වේ. ඒ හැර ජයසේන ජයකොඩි, ඇන්. ටී.  කරුණාතිලක හා නන්දිමිත්‍රයන්ය. ඒ පැන නැගුණේ ජාතිකවාදීන්ගේ, යතාර්ථවාදීන්ගේ හෝ ජනතාවාදීන්ගේ මෙන් ඔලුවෙන් නොව පොළවේ පස්වලිනි. උස්පෙන්ස්කි සම්බන්ධයෙන් ට්‍රොට්ස්කි කී සෙයිනි. උස්පෙන්ස්කි නරොද්නිකයෙක් වුවත් ගම හා නගරය අතර තිබෙන ප්‍රතිවිරෝධයත්, ඒ නගරය කරා එන ආකාරයත් හඳුනා ගැනීමේදී ඔහු අපෝහකවාදියෙක් වූ බවත් සෑම විප්ලවවාදියෙක්ම උස්පෙන්ස්කිව කියවිය යුතු බවත් ට්‍රොට්ස්කි සඳහන් කළේය.

සැබැවින්ම පාර්ලිමේන්තුවේ වැඩි හරියක් ඉන්නේ මල්දෙනියේ සිමියොන්ලාය. මහා විධායකයන්, සමාගම් අධ්‍යක්ෂකවරු වැඩිය ඕනෑ නැත අපේ කලාකරුවන් වැඩිහරියක් තුළම මල්දෙනියේ සිමියොන්ලා ඔබට හමු වනු ඇත. සැබැවින්ම රටම මල්දෙනියකි.

කාරණය විප්ලවවාදීන්, පශ්චාත් නූතනවාදීන්, මනෝවිශ්ලේශකයන් තුළ පවා ඔබට මල්දෙනියේ සිමියොන් හමුවීමයි.

පොළවේ පස අමතක කොට අපට යා නොහැකිය. අප දිව්‍ය ලෝකයට නැගුණද අපගේ කොහේ හෝ පස් තැවරී තිබීම අනිවාර්යය.

මහාවංශයේ නන්දිමිත්‍ර යෝධයා මට මතක හිටින්නේ එකම කරුණකිනි. ඔහුගේ අසාමාන්‍ය පුරුෂ ලිංගය ඉණ වටා වට කිහිපයක් ඔතා තිබීම නිසාය. කොල්ලන් අතර ජනප්‍රිය කතාවකට අනුව එක් සිනමාලෝලියෙක් චිත්‍රපට සංස්ථාවට පැමිණ තම සිරුරේ සිංහල සිනමා වංශ කතාවම පච්චා කොටා ඇති බව කියයි. ඔහුව නිරුවත් කොට සිනමා ඉතිහාස වාර්තාවන්ට අනුව සසඳා බැලූ විට ඒ සත්‍යයකි. එහෙත් ඔහුගේ පුරුෂ ලිංගයේ පච්ච කොටා ඇති යමක් සොයා ගත නොහැකිය. එහි ඇත්තේ මසින් යනුවෙනි. සංස්ථාවේ නිලධාරිනියක් එය අල්වා විමසා බලන විට එය ප්‍රාණවත් වෙයි. එවිට එහි මල්දෙනියේ සිමියොන් යනුවෙන් පච්චා කොටා තිබේ. 

ප්‍රාන්ට්ස් පැනොන් ඇල්ජීරියානු යටත් විජිත මානසිකත්වය හඳුන්වන්නේ කලුහම සුදු වෙස් මුහුණ යනුවෙනි. ඒ කාල් යුංග්ගේ ෆර්සොනා- ෂැඩෝ (වෙස්මුහුණ හා සෙවනැල්ල)  සංකල්පය අනුදත්තකි. ඉහත ලිංගික සංඥාර්ථයන් පැන නගින්නේ හුදු අහම්බයන් ලෙස නොව කාල් යුංග් සඳහන් කරන අර්ථාන්විත අහඹු ලෙසය. සාමූහික අවිඥානය තුළ පවතින මේ පොළවේ පස හඳුනාගන්නට නම් අප හැරිය යුතු කිහිප දෙනා අතර නන්දිමිත්‍රයන් ඉදිරියෙන්ම සිටී.

පියාණෙනි, ඔබ මිය ගියත් මල්දෙනියේ සිමියොන් තවත් සියවසක් ජීවත් වනු ඇත. 

කේ. කේ. සමන් කුමාර 

1 comment:

දේශකයා said...

ඇරැව්වලයන් සිමියොන් ගාවම හිර කරලා. මම ඔහුගේ කෙටිකතා රසවිද යැව් ලිපි දෙකකට පිලිතුරු එවා තිබුනා. සුබ ගමන් අව්‍යාජ මිනිසානනි