Wednesday, March 18, 2020

තොටලඟ ද්‍රෙෘපදිය




ක්‍රිෂ්ණා දෙවිඳුන් නාවාට
එක් පසෙකින් ලිහෙනා සළු පට
මවමින අනෙක් පසිනා ඉඟ වට
නිරුවත වසන්නට තොටලඟට
හැත්තෑපහේ වත්තට,
ද්‍රෙෘපදී
නොතැවෙන්න
ක්‍රිෂ්ණා මිය ගිහින් වෙන්නත් පුලුවන්
නැතොත් මෙහි ඉපදී නැති වෙන්නත් පුලුවන් තවම

හින්නිහාමිය නුඹ
බැද්දේගමේ ගම්මුන්ගෙන්
නිරුවත් වුණ
උන්ගේ ගල්මුල් පහර කෑ.
මායාකාරියය නුඹ පුනරුද යුගයේ...

ද්‍රෙෘපදී 
දුර්යෝධනලා ගොඩයි ද්‍රෙෘපදී
තුන් කල්හිම
සකල දෙස්හිම
දුර්දාන්ත පාලකයෝ මතු නොව
දුර්ජන දනන් අතරේ
දුර්යෝධනීලාද බෝමයි.
ශිෂ්ටාචාරයේ සළුව මවන්නට
අනවරතව
වසන්නට නුඹේ සෙළුව
අසමත්ය අප ක්‍රිෂ්ණා සේ

නොදනිමි
බොහෝ උන් කියන ලෙද
නුඹම නිරුවත් වීදැයි
පෙන්වන්නට අපගේ හෙලුව
ගලවා ඇන්ද සළුව
කැඩපතක් කොට නුඹේ නිරුවත

වසංගත කාලය එළඹුණු හාම 
වසත් සමයේ මෝවිට
කුරිරු රංගය ආටෝගේ
ගෙනාවා නුඹ පොළොවට 
දිවමන් රංගයක් විලසින.
පැණි අමුඩෙටත් නොවටින
භරතගේ නාට්‍ය සාස්ත්‍රය
කුණු කාණුවේ තොටලඟ.
ව්‍යවස්ථාව රෝල් කොට
ගසාගෙන උතුමග
ඇද ඇද කියෙව්වා නුඹ
කැරලි ෂ්නීමන් මෙන්
අභිවහන රංගයක් විලසින 
ඇසුණේ නැතත් කිසිවකුට
දුටුයේ නැතත් කිසිවකු නුඹ වට.

ද්‍රෙෘපදී...
සිරිලක පතළ දවසින
තොටලඟ ද්‍රෙෘපදී,
ශිෂ්ටාචාරයේ සළුව වියා නැත තවම
නුඹේ නොව අපේ හෙලුව වසා ගන්නට.
කපු කටින්නට කෙනෙකුන් නැතිව
චරකය දිරා ගොස් තම්මැන්නා නුවර.
කුවේණිගේ දිවිfදා්සය එනවා අප පසුපස
නයි මුවේ විස දුමින්
අහීවාතක වසංගතය විලසින
කොළ කෑ සායකුත් එන මුත් අත ළඟ
තණකොළ මිසක් කිසිත් නෑ අත ළඟ.
සේද මාවතේ ආ දළඹුවෝ
අන්න කුවේණිගෙ චරකය ළඟ.
මකර මුවින් එන ගිනිදළු ඇවිලේ
බුර බුරා පිඹිනා දුම් රොටු මැද
ලිලිත්ගේද කුවණ්ණාගේද සාපය මැද.

ද්‍රෙෘපදී
ක්‍රිෂ්ණා මැවුවද
ලිහෙනා සළුව තොරක් නැතුව
පල නැත
හෙලුව ඇත්තේ උන්ගේ ඇස්වලම කොට.

නුඹ මාධවිය විය හැක
එහෙත් රෙද්දෙ තුත්තිරි පිරුණ
හිතේ තුත්තිරි යාය පැතිරුණ
වේසියෙක් වෙන්නවත් ගටක් නැති
මේ වෙන්ඩ පත්තිනිලාට
ජයගොස නගන නුඹ වටා
මායාකාරියන් ගිනි තැබූ විට නැගූ
ගැහැනු ජය ගොස සේම
කඩා වම් තනය ගෙන
ගසා මදුරාපුරට
ගිනි තබන්නට නොහැක.

රෙද්ද පහළට දැම්ම
විටදි උන් යසෝදරා
රෙදි කච්චියක් ඇන්දත්
නුඹ වේ පටාචාරා

ක්‍රිෂ්ණ දෙවියන් විලස
රෑ සිහිනයෙන් අවුදින
අන්දවන්නම් මම නුඹට
ශිෂ්ටාචාරයේ මායා සළුව,
පවු ගෙවන පවු කරන පවුකාර පවුල්වල
ගෙවල ජීවිත ගෙවන සෙවල පිරි ගෙවල්වල
වියන මායා සළුව,
සිත නිවේ නම් නුඹේ
ඒ සීතාම්බර පටින

ද්‍රෙෘපදිය සිරිලකේ
හැත්තෑපහේ වත්තේ
තොටලඟ කාණු පල්ලේ
දණ නමමි මම නුඹට
දණ ගසා වඳිමි මම
සිප ගනිමි ඔය දෙපා
ගල් ගසා බින්දාට
ශිෂ්ටාචාරයේ කැඩපත
දෙදහස් පන්සිය වසක් ඉපැරණි,
නුඹ හෙලුව කැඩපතක් කොට
පෙන්වූවාට අප හෙලුව

-කේ. කේ. සමන් කුමාර








1 comment:

Ajith Dharma. said...

ඔබේ නිසඳස අගයමි