Sunday, March 18, 2012

බෞද්ධ ප‍්‍රඥා මාර්ගික සාහිත්‍යය






බෞද්ධ ප‍්‍රඥාමාර්ගික සාහිත්‍යය යනුවෙන් මෙහිදී අදහස් කෙරෙනුයේ සයිමන් නවගත්තේගම සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා ,දඩයක්කාරයාගේ කතාව , සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා , ක්ෂීර සාගරය කැළඹිණි , සාපේක්ෂනී, අර්ජුන කුමාරයාගේ කතාන්දරය , සංසාරාරණ්‍යය අසබඩ ,ස්වර්ණ වන්නියේ වල්ලි අම්මලා යනාදී කෘතීන් සහ ටෙනිසන් පෙරේරා සක්වල දඩයම ඔස්සේත් ගවේෂණය කළ සාහිත්‍ය ආඛ්‍යාන මාර්ගයයි. එය ලාංකීය සාහිත්‍යයටම අනන්‍ය ප‍්‍රවනතාවක් ලෙස දකිත හැකිය . මෙය පශ්චාත් නූතන ප‍්‍රවනතාවක් වශයෙන් ස්ථාන ගත කළ හැකිවේ . පළමුව එම ලේඛකයන් දෙදෙනාම තම නිර්මාණකරණයේ නූතනවාදී අවධිය අතික‍්‍රමණය කරමින් පාදා ගත් මාර්ගයක් මේ හරහා දකිත හැකිය. දීප්ති කුමාර ගුණරත්න සමාජ විද්‍යාඥයන්ගේ සංගමය මගින් පැවැත්වූ කාල් මාක්ස් අනුස්මරණ දේශන මාලාවක පළමු දේශනය තුළ ලංකාව තුළ නූතනවාදය ඉක්මවා ගිය අප රටට අනන්‍ය වූ පශ්චාත් නූතනත්වයක් දක්වන අවස්ථාවක් ලෙස සයිමන් නවගත්තේගමගේ සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා හඳුන්වනු ලැබීය .
මෙම ලේඛකයන් දෙදෙනගේම යථෝක්ථ සාහිත්‍ය කෘති මහායාන හා තන්ත‍්‍රයාන බෞද්ධ දර්ශනය ඇසුරු කරනු ලබයි . එහිදී විජයාවගමනය , කුවේණි , රාවණ වැනි පුරාකෘතික ප‍්‍රවාදයන් සමග ඒ ගනුදෙනු කරයි . එසේම දෙදෙනම මහා විහාරික ථෙරවාද බෞද්ධ සංකල්ප සහ මහාවංශ ඉතිහාස විවරණය ඉක්මවා යාමට උත්සාහ දරනු ලබයි .

බෞද්ධ කතිකාව ශ‍්‍රද්ධා මාර්ගය ප‍්‍රඥා මාර්ගය යනුවෙන් බෙදෙනු දකිත හැකිය . මෙහිදී මෙම ලේඛකයන් දෙදෙනම මහායානික ප‍්‍රඥා මාර්ගය හීනයානික ශ‍්‍රද්ධා මාර්ගය වෙනුවට තොරා ගනියි . මෙම මාර්ග දෙකෙහි සමවාය සම්බන්ධයෙන් තොරව බෞද්ධ දර්ශනය හෝ ජීවන ප‍්‍රතිපදාව අරුත් සහගත නොවේ . එසේම ලාංකීය ඉතිහාසය ථෙරවාදී මහා විහාරික මහා වංශය තුළින් අර්ථකථනය කෙරී තිබෙන අතර එයට මූලාශ‍්‍ර වූ උත්තර මූල මහා වංශය මේ වන විට දක්නට නොමැති වේ . අභයගිරි විහාරයේ වූ හෙල අටුවාවන් ඇතුන් සත්දෙනෙකුගේ උසට ගොඩ ගසා ගිනි තබන ලද බව කියවේ . මහායාන දර්ශනයේ සාරය ගැබ් කොට ගත් ප‍්‍රඥා පාරමිතා සූත‍්‍රය මෙන්ම ලංකාවතාර සූත‍්‍රය ඒ අවබෝධ කොට ගන්නට සමත් අයෙක් මිහි පිට නොමැති බව දුටු බුදුන් වසර පන්සියයකට පෙර මිය ගිය මහා රාවණා කැඳවා ශ‍්‍රී පාද කඳු මුදුනෙහිදී දේශනා කරන ලද බව සඳහන් වේ . තන්ත‍්‍රයාන බෞද්ධ සංකල්පයක් වන උමතු ප‍්‍රඥාව නවගත්තේගම වැනි සාහිත්‍යකරුවකුගේ ජීවිතය පුරාවට දකිත හැකිය .
එසේම නවගත්තේගම බෞද්ධ දර්ශණය සමග මාක්ස්වාදය මෙන්ම ෆ්‍රොයීඩියානු මනෝවිශ්ලේෂණයද සියුම් ලෙස මුහු කළේය . මෙහිදී බුදුදහමේ කෙලෙස් , ෆ්‍රොයීඩියානු ආශයන් ඒකීය කෙරිණි . එසේම මනෝවිශ්ලේෂණයේ අවිඥාණය හෙවත් ඉඞ් සංස්කාරය  මහායානයේ ගබඩා විඥාණය නැතොත් ආලය විඥාණය සමග සම්පර්ක විණි . ෆ්‍රොයිඞ්ගේ Every man is neurotic යන්න බුදුන්ගේ සබ්බේ පෘතග්ජනා උන්මත්තකා යන්න සමග අපූරුවට බද්ධ විණි . එසේම සයිමන්ගේ කෘතීන්හි කේන්ද්‍රය වන ස්ත‍්‍රිය සහ රාගය පිලිබඳ කාරණාව එම චින්තකයන් සැමගේම පොදු සංරචකයක් ලෙස දකිත හැකිය. ස්ත‍්‍රී රූපය තරම් මිනිස් මනස මැඩ ගත් අන්කිසිවක් නැතැයි බුදුන් වදාලහ . ස්ත‍්‍රී චිත්තය අඳුරු මහාද්වීපයකැයි ෆ්‍රොයිඞ් කීය . ඉතිහාසය පුරා පිරිමියා ඔලූව ගසා ගත් කලූගල ස්ත‍්‍රිය යැයි මාක්ස් කීය . එසේම තණ්හාව පිළිබඳ කාරණය ජය ගැනීම බුදුන් මෙන්ම මාක්ස්ද අරමුණු කළේය . සමානාත්මතාවාදී  කොමියුනිස්ට් සමාජයක් පිළිබඳ සිහිනයක් බුදුන්ද මාක්ස්ද දුටුවෝය . මාක්ස් ගෙනෙන ප‍්‍රාග් කොමියුනිස්ට් අවධිය පිළිබඳ සංකල්පය අපට අග්ගඥ සූත‍්‍රය තුළ දකිත හැකිවේ . එරික්ෆ්‍රොම් විසින් කළ බුදුන් , මාක්ස් සහ ෆ්‍රොයිඞ් එකමිටට ගැනීම සයිමන් තම සාහිත්‍ය මාර්ගය තුළ ඉටු කරනු ලබයි .

 එසේම කාල් යුංග්ගේ සංකල්ප සයිමන්ගේ සාහිත්‍ය රීතිය කෙරේ බලපා තිබේ . විශේෂයෙන් සයිමන් සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා පටන් ගවේෂණය කරන බෞද්ධ බෝගේසියානු මායා යථාර්ථවාදී ආඛ්‍යාන මාර්ගය කාල් යුංග්ගේ ප‍්‍රවාදයන් මත පාදක වේ . කාල්යුංග් ෆ්‍රොයිඩියානු සිහින විග‍්‍රහය පුද්ගල තලයෙන් සාමූහික තලයකට ගෙනෙයි. අවිඥාණය , සවිඥාණය , උපවිඥාණය යන මනෝවිශ්ලේෂණයේ මානසික ව්‍යුහ විග‍්‍රහය පුද්ගල තලයෙන් සාමූහික තලයකට යුංග් පිමි පැන්නවීය . අධිසත්තාවාදය පදනම් වූයේ ෆ්‍රොයීඩියානු සිහින කල්පිතය මතය . මායායථාර්ථවාදය යුංග්ගේ සාමූහික සිහින පිළිබඳ අදහස මත පාදක විය . බුදුන්ගේ ජීවිතය සහ ලෝකය සිහිනයක්ය යන අදහස සමග මෙය සම්පර්ක විණි . සයිමන් තම සාහිත්‍ය රීතිය ගොඩ නගා ගැනිමේදී බෞද්ධ කතා රීතිය ඉවහල් කොට ගති . එහිදී  ජාතක කතා . පේත වත්ථු , විමාන වත්ථු , පාරාජිකා පාලි භික්ඛු භික්ඛුණී ප‍්‍රාතිමෝක්ෂ , සිඛවළඳ විනිස , හෙරන සිඛ වැනි බෞද්ධ සාහිත්‍ය කෘතීන්ගෙන් සයිමන් ආනුභාවය ලබයි . එසේම සාමූහික අවිඥාණයේ ප‍්‍රකාශනයක් මෙන්ම සාමූහික සිහින ලෙස යුංග් හඳුන්වන ආගමික අභිචාර , සංකේත, මිත්‍යා කථා , ජන කථා සයිමන් යොදා ගනියි .

ටෙනිසන් සක්වල දඩයම තුළදී මහායාන බුදුදහමේ බෝධි සත්වවරියන් පිළිබඳ සංකල්ප සහ අඥ්ඥතරා නමැති පීතෘ දේවතා සංකල්පය යොදා ගනිමින් 90 දශකය තුළ මෙහි ඉස්මතු වූ ස්ත‍්‍රීවාදී කතිකාව ඉදිරිපත් කරයි . (මා විසින් රචිත නේරංජනේ ඉස්නානේ කෘතියද මෙම ධාරාව තුළම සැරිසරන බව මම සිතමි.) සයිමන් රාවණ කතිකාව කරා ගොනු වන සේම ටෙනිසන් අපගේ සම්භව මිත්‍යා වන සිංහබාහු පුවත , විජය කුවේනි පුරාවෘතය විසංයෝජනය කරයි . මෙහිදී එය පශ්චාත් යටත් විජිත සාහිත්‍යයේ ගුණාංගද ගැබ් කොට ගනී . සයිමන් ලාංකීය සමාජයේ කුල ධුරාවලිය සියුම් සහ ගැඹුරු ලෙස ස්පර්ශ කරයි . ඒ මහායානයේ ශූන්‍යතා සංකල්පය සමග බද්ධ වී තිබේ.

තන්ත‍්‍රයානය තුළ ශරීරය මෙන්ම ලිංගිකත්වය ප‍්‍රඥාව ලබා ගැනීමේ මාර්ගයක් ලෙස සැලකේ. ඒ ශූන්‍යතාව අවබෝධ කොට ගැන්මයි. දඩයක්කාරයාගේ කතාව තුළ කස්තුරි මුවා සංකල්පය ස්පර්ශ කරන්නේ මෙයයි . සංසාරාරණ්‍යයේ දඩයක්කාරයාහි රාගය කිල්ලක්ව නිධන් බිම අපවිත‍්‍ර වීම සහ සක්වළ දඩයමෙහි විජයගේ කාම පාශයට හසුවීම නිසා පද්මිට බුදු බව අහිමි වීම වැනි සංකල්ප සංකීර්ණ සත්‍යයන් හෙළිදරව් කරයි . දේපල රාගය මැඩ පැවැත්වීම සහ විමුක්තිය කෙලෙස් ජය ගැනීම මත රඳා පවතින බවයි . මනෝවිශ්ලේෂණයේ ඛ්ජන යන සංකල්පය අඩුමාව යනුවෙන් සාපේක්ෂනී තුළ දකිත හැකිය . රණබාහුගේ අංගජේදනය මේ හරහා සමාජ දේශපාලනික මනෝවිද්‍යාත්මක මුහුණුවරක් ගනී . සාපේක්ෂනී තුළ සමසරාගිකත්වය , ලිංගික සුලූතරයන්  නියෝජනය වනු දකිත හැකිවේ .

අනෙක් අතින් තන්ත‍්‍රයානය තුළ එන අර්ධ නාරීශ්වර ශිව වැනි සංකල්පද, උභය ලිංගික දේවතාවන් දේවතාවියන් පිළිබඳ සංකල්පද , චීන බුදුදහමේ යින් යැන්ග් සංකල්පයන්ද සයිමන්ගේ කෘ තීන් තුළ ස්ත‍්‍රිය තුළ වන පුරුෂ අර්ධය වන කාල් යුංග් සඳහන් කරන ඇනිමසය සහ පුරුෂයා තුළ වන ස්ත‍්‍රී අර්ධය වන්නාවූ ඇනීමාව නිරූපනය කිරීමේදී බලපා තිබේ .  මෙසේම ස්ත‍්‍රී ස්වභාවය පිළිබඳ බුදුදහමේ විවරණයන්ද අපට හඳුනා ගත හැකිය . කාලි , පත්තිනි , ඩාකිණීන් වැනි සංකල්ප ඔස්සේ ස්ත‍්‍රියගේ අපාලිත බලය , ස්ත‍්‍රීයගේ හිස්ටීරියානු ස්වභාවය විවරණය කෙරෙන අවස්ථා හඳුනා ගත හැකිය. සයිමන්ගේ කෘතීන්හි සේම ටෙනිසන්ගේ සක්වළ දඩයමෙහිද දේවකතා සහ මිත්‍යා කථා ලෙවී ස්ටූවුස් ගේ පශ්චාත් ව්‍යුහවාදී මානව විද්‍යාව තුළින් දැක්වෙන ආකාරයේ තීරණාත්මක වැඩ කොටසක් ඉටු කරයි .

මෙසේම ප‍්‍රතිසන්ධි තල පිළිබඳ බෞද්ධ සංකල්පය දෙවිවරු, යක්ෂ, පේ‍්‍රත, පිසාච, කුම්භාණ්ඩයන් ඔස්සේ ලකානියානු මනෝ විශ්ලේෂණය මෙන්ම ක්වන්ටම් විද්‍යාව ඔස්සේද විවරණය කළ හැක්කක් බව පශ්චාත් නූතන භෞතික විද්‍යාව පිළිබඳ මෙන්ම මනෝවිශ්ලේෂණය පිළිබඳ ප‍්‍රාමාණික ස්වාධීන විද්වතකු වන  ඩෝසන් ප‍්‍රීති සහෝදරයා අදහස් කරන අතර මේ වන විට ඔහු ඒ පිළිබඳව දාර්ශණිකව පොර බදමින් සිටී.   කාල් යුංග් ගෙනෙන සමක්ෂණපාතීත්වය, සිරුරින් බැහැර අත්දැකීම් මෙන්ම මරණාසන්න අත්දැකීම්, චුති සිත, ගන්ධබ්බ (බාර්ඩෝ ) වැනි බෞද්ධ සංකල්ප හරහා ග‍්‍රහණය කෙරේ. බීජ නියාමය, ඍතු නියාමය ආගන්තුකයා වැනි සංකල්ප ඔස්සේ කුළු ගැන්වෙන සංසාරාරණ්‍යය අසබඩ යථ, පරිකල්පනීය සහ සංකේතීය යන ව්‍යුහ ඔස්සේ වන කියවීමක්ද ඉල්ලා සිටී . සමන් වික‍්‍රමාරච්චි නලිනි ජාතකයේ ඉසිසිංග තවුසා පිළිබඳ කරන කියවීම බෞද්ධ ජාතක කතා ලකානියානු මනෝ විශ්ලේෂණය ඔස්සේ කියවීම අරභයා විශිෂ්ඨ ආරම්භයක් සනිටුහන් කරයි.

තන්ත‍්‍රයානිකයන්ගේ සංඛ්‍යා විශ්වය නූතන බටහිර ගණිතය ඉක්මවා ශුද්ධ ගණිතය කෙරේ විවරවූ විශ්වයක් විය . ඍන අනන්තය  සංකල්පයක් ලෙස එහි ආරම්භය විය. ප‍්‍රගීත් එක්නැලිගොඩ මෙහි ප‍්‍රාමාණිකයකු ලෙස සිය අවසන් කාලයේදී මේ පිළිබඳව අධ්‍යයනය කරමින් සිටියේය. අරාබි වෙළෙන්දන් සිය ව්‍යවහාරික ගණිත අවශ්‍යතාවන්ට සරිලන නාගර්ජුන පාදයන්ගේ ශූන්‍යතාවාදයෙන් පැන නැගි 0’ ගෙන ගියා සේ අපේ ඊනියා ජාතිකවාදීන්ද සිය අනන්‍යතා දේශපාලනය තුළ ඒ තොරොම්බල් කළා පමණි. නලින්ද සිල්වා ද්විකෝටිකය වෙනුවට චතුෂ්කෝටිකය සම්බන්ධයෙන් මෙන්ම කාටීසියානු තාප්පය පිළිබඳවද නිවැරදි විය. මහසොහොන් ආකෘතිය සම්බන්ධයෙන්ද නිවැරදි විය. එහෙත් අනන්‍යතා දේශපාලනය තුළ මං හසර සොයා ගත නොහැකිව මහසොහොන් ආකෘතියත් සමග අවස්ථාවාදීන්ගේ අතකොලූවක් බවට පත් විය. ජයසේන ජයකොඩිගේ ශ‍්‍රද්ධා මාර්ගික සාහිත්‍යය අනන්‍යතා දේශපාලනයේ මඩවගුරේ කරවටක් ගිලූනවුන් විසින් පූජනීය දේශපාලනයක් උදෙසා යැයි සැදැහැවතුන් කඬේ යැවූ පරිදිම එකල්හි ඒ එසේ සිදුවිය. ආරියදාස සෙනෙවිරත්නගේ මාර්ගයේ ගිය ජයරත්න පතිරආරච්චි මතු කළ ප‍්‍රවාදයන්හි ආන්තික ස්වරූපය කෙසේ වුව ලාංකීය ඉතිහාසවේදය සම්බන්ධයෙන් ඔහු මතු කළ තීරණාත්මක ප‍්‍රශ්න කිරීම් අධිපති කතිකාවන් විසින් යටපත් කරනා ලදී. රජුන් උදෙසා ලිවූ රති උපදේශනය වූ බමුණන්ගේ කාම සූත‍්‍රයට එරෙහිව බුදුන් සකල මනූෂ්‍යයන් අරභයා දෙසූ මෛථුන සූත‍්‍රය බෞද්ධ සාහිත්‍ය වංශයෙන්ම අතු ගා දමා තිබේ.

රාවණ සහ කාලත‍්‍රය සැරිසැරීම පිළිබඳ සංකල්ප පශ්චාත් නූතන  විද්‍යාවට අයත් සාපේක්ෂතාවාදයේ සහ ක්වොන්ටම් භෞතික  විද්‍යාවේ  සංකල්ප සමග අතිනත ගනී . විශ්වය පිළිබඳ නූතන සොයා ගැනීම් සහ ප‍්‍රවාදයන් සමග බුදුදහමේ සමපාත බව මෙන්ම මිනිස් මනස පිළිබඳ පශ්චාත් නූතන සහ බෞද්ධ විග‍්‍රහයන්ගේද සමපාත බව මෙම සාහිත්‍ය දහරාව පශ්චාත් නූතන සාහිත්‍ය ප‍්‍රවනතාවක් වශයෙන් සැලකීමට රුකුල් දේ . එසේම පශ්චාත් නූතන සංඥාර්ථවේදයේ සහ නාම  රූප වේදනා සංඥා සංඛාර  විග‍්‍රහයේ සාම්‍යය , ලොව පළමු විසංයෝජනතාවාදියා වන බුදුන් වහන්සේ ගේ සහ ඩෙරීඩියානු විසංයෝජනතාවාදයේ සාම්‍යය තීරණාත්මක සාධකයක් වේ . ස්වභාව ධර්මය පිලිබඳව නූතන විද්‍යාවට නොදෙවෙනි අවබෝධයක් සිය අන්තර් ඥාණය තුළින් පැරණි ග‍්‍රීකයන් සහ බෞද්ධයන් ලද බව එංගල්ස් සඳහන් කරයි . එසේම මාක්ස් සහ එංගල්ස් අතර වූ ලිපි හුවමාරුවකදී එක් රාජ පරම්පරාවකින් තවත් රාජ පරම්පරාවකට බලය විතැන් වෙමින් එක තැන කාල් ගෑවෙන ආසියාතික දේශපාලනයේ ගුරු යතුර පවත්නේ නිශ්චිතවම එහි පසෙහි සහ දේශගුණයෙහි යැයි මාක්ස් සඳහන් කරයි . මාක්ස්ගේ ආසියාතික නිෂ්පාදන මාතය පිළිබඳ ප‍්‍රවාදය පදනම් වන්නේ මේ මතය .

සයිමන් නවගත්තේගම විසින් පුරෝගාමීත්වය දුන් මෙම රීතිය අන් රටක හඳුනා ගත නොහේ . සෙන් කතාන්දර ආශ‍්‍රිත නිරූපනාත්මක නූතන කතාදහරාවන් මෙන්ම හයිකු ආශ‍්‍රිත ප‍්‍රවනතා , ඉන්දියානු කුල විරෝධී බෞද්ධ සාහිත්‍ය දහරා මිස මෙවන් දාර්ශණික හෝ මනෝවිද්‍යාත්මක ප‍්‍රවනතාවක් හඳුනා ගත නොහැකිය . විශ්වයේ , මනසේ මෙන්ම ස්ත‍්‍රියගේ ස්වභාවය පිළිබඳ බෞද්ධ විග‍්‍රහයන් ඒ පිළිබඳ පශ්චාත් නූතන ප‍්‍රවාද සමග සමපාත වේ . විශ්වයේ කෙළවරක් අගක් මුලක් නැතිකම , ඒ සෙවීමේ නිශ්පල බව  පිළිබඳ බෞද්ධ මතයම අද පශ්චාත් නූතන වි ද්‍යාවන් විසින් ගෙනෙනු ලබයි . පශ්චාත් නූතන භෞතික විද්‍යාඥ ස්ටෙෆාන් හෝකින් විශ්වයේ විශාලතම අභිරහස ගැහැණිය බව කියයි . ක්වොන්ටම් භෞතික විද්‍යාවේ වර්ධනයේදී නීල්ස් බෝර් වැන්නන් ඔස්සේ චීන යින්ග් යැන්ග් දර්ශණයේ ආනුභාවයද ලැබිණි . මේ වන විට එහි වර්ධනයන් විසින් බෞද්ධ දර්ශණයේ බොහෝ ප‍්‍රවාද සාධනය වෙමින් තිබේ . එසේම අද්‍යතන ප‍්‍රාග් ඓතිහාසික පුරා විද්‍යා සොයා ගැනීම් විසින් සාධනය කෙරෙන ඉතිහාසයක් සයිමන්ගේ කෘතීන් තුළ ස්පර්ශ වේ .

සයිමන් විසින් සුභාවිත කළ මෙම සයිමනියානු ආඛ්‍යානය (හෂිත අබේවර්ධනගේ වදනින්) මෙවන් විසල් පදනමකින් යුතු වේ. ඔහුගේ විග‍්‍රහය අනුව මහා ආඛ්‍යානයේ සහ චූල ආඛ්‍යානයේ ලක්ෂණ කැටි කොට ගත් රීතියක් ලෙස මෙම සාහිත්‍ය ආර දකිත හැකි වේ. එහෙත් දාර්ශණික වශයෙන් ප‍්‍රඥා සම්ප‍්‍රදාය හුදී ජන පහන් සංවේගයට හේතු නොවූ සේම මෙම සාහිත්‍ය ආරද එසේ වීමේ සම්භාවිතාවකින් යුතු වේ. මෙම ප‍්‍රඥා මාර්ගික සාහිත්‍ය ලක්ෂණ  ටෙනිසන් පෙරේරාගේ සක්වළ දඩයම, මාවිසින් රචිත නේරංජනේ ඉස්නානේ මෙන්ම සුනේත‍්‍රා රාජකරුණානායක ගේ බුද්ධදාසි තුළද දකිත හැකි වේ .   මෙහි අනෙක් අර්ධය වන ශ‍්‍රද්ධා මාර්ගය අප සාහිත්‍යය තුළ නියෝජනය කරනු ලැබුවේ ජයසේන ජයකොඩිය සහ සුජිත් අක්කරවත්තය . විචාරාත්මකව මෙම සම්ප‍්‍රදාය තවමත් ගොඩ නැගී නැති අතර ඒ සඳහා පුරෝගාමීත්වයක් හෂිත අබේවර්ධනගේ සයිබර් ලියවිලි තුළ හඳුනා ගත හැකිය.

-කේ.කේ.සමන් කුමාර

 (නිර්මාණාත්මක ලේඛනය 2011 වාර්ෂික  පාඨමාලාවේදී පැවැත්වූ දේශනයකි.)   

කළු බණ්ඩාර සම්මුඛ වීම හෙවත් මහිලාවංශය

”වැසිකිළි ගොඩ අදින්නා සේ ඇතුළු මනස හෙළි කිරීමේ අර්ථය කුමක් දැ” යි වරක් හේන්පිටගෙදර ඥානසිහ හිමියෝ සාහිත්‍යයේ අර්ථය ප‍්‍රශ්න කළහ. ...