Sunday, March 18, 2012

සසර අරණේ මුනිවරයා




නැවතීමමය ගමන
සංසාරයය නිවන
-මහායාන දර්ශනය

ඉතින් ඔබ ගියා

ඇවිත් යන අය බොහෝය
ඉන්නා අයත් බොහෝය
එහෙත් ඒ බොහෝ උන්
ආවත් නාවත් , උන්නත් නැතත්
පලක් නම් නැත

එහෙත් අප බෞද්ධයන් වූයේ
මහින්දාගමනයෙන් නොවේ
ඔබේ ආගමනයෙනි

අපේ ජීවිත ඇට්ලසය
සිත්තම් කොට තබා යන්නට
මෙහි ආ ටොලමි වූයෙහිය ඔබ

එහෙත් ඒ ඇට්ලසය
තෝරන්නට ගොස්
ශබ්දකෝෂ විශ්වකෝෂ
රාක්කයක් පෙරළී බරපතලය අපට

අප බුදුදහමට හරවන්නට
මෙහි වැඩි අනුබුදු වීය ඔබ
එහෙත්
මිහින්තලාව පාමුල මීට්ෂොප් එකෙන්
බ්‍රොයිලර් පලූවක් රැගෙන තිස්ස ගියෙන්
ඔබ තවමත් හිඳී මිහින්තලය උඩ
තිස්ස තිස්ස යැයි
අමතන්නට කිසිවකු නැතිව

සසර අරණේ කෙළස් වග වලසුන්
දඩයම් කරනා අපගේ
ආලේඛ්‍යය ප‍්‍රභාලේඛ ගත කළත් ඔබ
පටල පටය විකසනය කර ගන්නට
කෙමිකල් සොය සොයා බංගසාල වීදියේ දුව යති
විචාරක අංගුලිමාලයෝ

ඉතින් , සසර අරණේ මුනිවරයාණනි
මේ සංසාරාරණ්‍යයේදීම යළි අප මුණ ගැසෙනු ඇත !


සයිමන් නවගත්තේගමගේ අභාවය නිමිත්තෙන්
රාවය : 23-10-05


No comments: