Monday, December 12, 2016

ලොලීටා, නොමිහිරිය බලනු මැන...

ලෝරා පෙනී


(ලෝරා පෙනී සංසන්දනාත්මක සාහිත්‍යය පිළිබද ආචාර්ය උපාධිධාරිනියකි. ඇය මවුන්ට් සේන්ට් වින්සන්ට් සරසවියේ උගන්වනු ලබයි. මෙහි සඳහන් නිදන කාමර කට්ටලය පසුව දෙමාපිය චෝදනා මත සමාගම විසින් වෙළඳපලෙන් ඉවත් කර ගන්නා ලදී.)




එක්සත් රාජධානියේ වූල්වර්ත් සමාගම The Lolita Midsleeper combi- ලොලීටා බහුකාර්ය බාලිකා නිදන කාමර කට්ටලය යනුවෙන් බාලිකා නිදන කාමර කට්ටලයක් අයෝග්‍ය ලෙස නම් කිරීමෙන් මේ පෙබරවාරියේදී (2008) මව්පිය කෝපය ඇවිස්සුවා.
‘අපේ කාර්ය මණ්ඩලය කවදාවත් ලොලීටා ගැන අහලා තිබුණෙ නෑ. ඉතින් අපිට විකීපිඩියා එකේ බලන්න උනා. නමුත් දැන් අපි හරියටම දන්නවා ඈ කවුද කියලා” සමාගමේ ප්‍රකාශකයෙකු කිව්වා.
පුවත්පත් සිරස්තල හැදෙන්නෙ මෙබඳු තකතිරු දේ වලින් තමයි. ව්ලැදිමීර් නබකොව්ගේ ලොලීටා කියවීමේ මාහැඟි සතුට කිසිදා ලබා නැති වුනත් ඔබ එහි අපකීර්තිමත් වස්තුවිෂය ගැන දන්නවා. මැදි වයසේ සිටින හම්බර්ට් හම්බර්ට්ව ඔහුගේ 12 වියැති සුළුදියණිය, සිඟිති දිය කිඳුරිය ඩොලරස් හේස් විසින් ප්‍රේමයෙන් මුසපත් කරනු ලබනවා. ලොලීටා යෙදුමක් ලෙසට  උත්කර්ශනය වී ඇති දුර්ලභ ග්‍රන්ථනාමයන් අතරින් එකක්.
ලොලීටා කියන්නෙ නිකම්ම ප්‍රේම කතාවක් නෙමෙයි. එය හිරගෙදරක පාපොච්චාරණයක්. නොදැමුණු පුද්ගලයෙකුගේ විකුම් මං සැරියක්. නබකොව් පිළිකුල් කලාවූ “ප්‍රොයීඩියානු හූනියම” පිළිබඳ හාස්‍යානුකරණයක්. පැටලිලි සහගත ලෙස සැලසුම් කළ මිනීමැරුමක් ගැන අබිරහසක්. එක්සත් ජනපද භූමිදසුන් සහ එහි බස වෙත ලියූ රාගෝන්මාදී පෙම් හසුනක්. නබකොව් විස්මකුරු ලෙස අනුවර්තනය කරගත් තම වාග්මාලාවේ ගැලෙත්ම මෙහි ගැදි ආර ප්‍රමුදිත මෙන්ම බහුශ්‍රැතයි, ලැසි පිමි සහිතයි වගේම සරදම්කාරීයි. එය ඒ සූක්ෂම සරදම් සහ රසවත් වාග් හරඹවලින් තෙරපා හිරකොට අසුරා තිබෙනවා.
කලබැගෑනි සහගත ලෙස විනෝදකාමී මෙන්ම, හදවත කුඩුපට්ටම් කරන තරම් ශෝකාකූල ලොලීටා යනු 20වන සියවසේ අනෙකුත් නවකතාවන් එහි විචිත්‍ර දූලියෙන් හුස්ම සිරවෙන්නට හැරියාවූ කලා නිපුණයෙකුගේ රඟ දැක්වීමක්.
හම්බර්ට් සහ ඔහුගේ ලෝ ඔවුන්ගේ නිර්මාපකයාත් සමඟ එක් ලක්ෂණයක් බෙදාහදාගන්නවා. ඔවුන් තිදෙනාම කලාවේ කාචය හරහා ජීවිතය ගෙවනා සෞන්දර්යවාදීනුයි. ‘හම්’ තමාවම උමතු කවියෙක් සේ උපකල්පනය කරනවා. අයහපත් දෛවයකට මුහුණ දුන් කින්නරෝන්මාදී සගයකු වන ‘ෆෝ’ පිළිබඳ නිතර දැක්වෙන සාහිත්‍යික ව්‍යංගයන්ගෙන් සිය පාපොච්චාරණයට ලුණු ඇඹුල් දමනවා. ලොලීටා ඇගේ ඝෝර මව චාලට්ගේ ඉමහත් අප්‍රසාදයට ලක්වෙමින් නැඟී එන තාරකාවක් සේ රඟපානවා.
ලොලීටා ජනප්‍රිය සංස්කෘතියේ ගැලී ගිය “වෙළඳ දැන්වීමක් සේ ප්‍රීතිමත්” පරිසමාප්තියට පත් පාරිභෝගිකාවියක්. හම්බර්ට් බහු මාත්‍රාමය ප්‍රහර්ෂයන්ගෙන් ගිනි ඇවිලගත් තම උකුලෙහි ඈව සුරතල් කරනා සඳ, ඈ විකට කතා කියවමින් සිටිනවා. ඔවුන් සංචාරක උගුලකින් සංචාරක උගුලකට දඩිබිඩියේ කඩා වදිනා හාම, ඔහු ඇයට සලරූ සිත්තම්, සඟරා, ඇඳුම් සහ අබලි බබලි කෑම නොකඩවා සපයනවා.
ඇය හැම්බර්ගරයක් සහ හැම්බර්ගරයක් අතර එදිරිසහගත නිරවද්‍යතාවයෙන් යුතුව, කලින් කීදෙය නිත්‍ය ලෙසම, නිශ්චිතවම තෝරනවා යැයි සිතන එකමත් මාරම දෙයක් නං තමයි.
“පිදුම්ලත් දරුවකුට වඩා අතිශය දරුණු ලෙස කුරිරු වෙනත් අන් කිසිවෙක් ඇත්තේ නෑ”
මෙහි අපි දකිනවා හම්බර්ට්ගේ නහර ඔස්සේ අමාරුවෙන් ඇද්දී ඇද්දී යන කුණුව ගිය දෙයින් සමහරක්. හම්බර්ට් නින්දිතයි. පැහැරගත් කාම රාගයේ වැසිකිළි වළක් වසන් කරන  “සිනමාලන්තයක පුරුෂත්වයේ” සුවිසල් පුද්ගලයෙක්. හම්බර්ට්ගේ කම්සැපෙහි කරවටක් ගිලුණු අවතාරය සහ අරුමැසිවාදී ප්‍රතිවාදියාද වන නාට්‍ය රචක ක්ලෙයාර් ක්විල්ටි ඊටත් වඩා නරකයි. නමුත් හම් ලෝගෙන්-දැන් විඩාපත්ව වැහැරුණු මෙන්ම ගැබ්බර ඩොලී ෂිලර් මහත්මියගෙන් ඇගේ නොතරම්වූ පුංචි දිවිය අත්හරින්නටත්, තමා සමඟ යළි පලායන්නටත් අයදිනා සඳ ඈ කියනවා ඈ හැකි ඉක්මනින් යළි ක්විල්ටි වෙතත්, ඔහුගේ ඉතා විභූෂිත අපචාරයන් කරාත් යළි යන බව. හම්බර්ට් කීර්තිමත් පුද්ගලයෙක් වගේ පෙනෙන්නට ඉඩ තිබුණා වෙන්න පුළුවන්. නමුත් ක්විල්ටි තමයි කීර්තිමත් කෙනා.
ඇයි දොස් ලැබිය යුතු මෙහෙව් මිනිසුන් ගැන මෙච්චර ලස්සන පොතක් ලියන්නෙ?   “මැඩම් බොවාරි” ගැන නබකොව්ගේ කියවීම අපට ඒ ගැන තීරණාත්මක ඉඟියක් ප්‍රදානය කරනවා. ඔහු එමා බොවාරි මහත් භක්තියෙන් පුදන වැදගැම්මකට නැති තුට්ටු දෙකේ අරුමැසිවාදී නවකතාවලින්, ෆ්ලෝබෙයාර් ලැයිස්තු ගත කරන සුලභ වැකිවලින් පදාසයක් උපුටා දක්වනවා. විෂය කාරණාව බාගේ විට අසැබි මෙන්ම පිළිකුල් සහගතයි. නමුත් ෆ්ලෝබෙයාර්ගේ සංරචනය සමතුලිත මෙන්ම නිසි ලෙස හසුරුවන ලද්දක් යැයි නබකොව් ලියනවා. “මෙයයි ශෛලිය. මේකයි කලාව. පොත්වල සැබැවින්ම වැදගත්වන එකම කාරණාව මෙයයි” ඔහු නිවේදනය කරනවා.  
නරකම වර්ගයේ පාඨකයා නම් තමන් චරිත සමඟ අනන්‍ය වන කෙනා යනුවෙන් නබකොව් තර්ක කළා. දැන් ස්වයං- ස්වයං- ස්වයංස්මරණාපදාන යුගයේ ඒ ඕනෑවටත් වඩා සුලබ ජාතියේ කියවීමක්.
හම්බර්ට් නරක පාඨකයන් වෙත තදින් දමා ගැසූ අභියෝගයක්, පරිපූර්ණව ක්‍රියාවට නැංවූ කවටකමක්. නබකොව් විසින් කළ හිස් ආත්මාර්ථකාමී  “කකුල් පහේ රකුසකුගේ” අති සූක්ෂම ආලේඛ්‍යය විසින් තමන්ගේ කම්මැලි දනවන ඒකාකාරී ආත්මයන් හෝ දියාරු වටිනාකම් සොයා කියවනා අයව එහෙම පිටින්ම වළක්වනු ලබනවා. තමන්ගෙම මොළයට දෙකක් ඇණ ගන්න ඕනැද? ඇමසන් වෙබ් අඩවියේ ලොලීටා පිළිබදතරු ඇගයුම් ලද විචාර කියවන්න. සමහර මිනිස්සු බාලක රාගෝන්මාදය තරමටම, ව්‍යාජ අයිතිවාසිකම් කීමටද වෛර කරනවා: “වචන ගොඩාක් ලොකුයි. කෙල්ල ගොඩාක් පුංචියි. නරක පොතක්. නරක මිනිහෙක්. ඇඩෝල්ෆ් අයිබ්මානුත් මේ පොත සදාචාර විරෝධී” ලෙස සැලකුවා.
බාලක රාගෝන්මාදය පිළිබඳ අභූතරූපී චෝදනාවලට වඩා වැඩියෙන් ඔහුගේ සිත රිදෙව්වේ මහජනයා නබකොව් සහ හම්බර්ට් එක් අයෙකු ලෙස සැලකූ ඕනෑම විටෙකදී, කලාව ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි වටහා ගන්නට ඔවුන් තුළ ඇති නොහැකිකමයි. ඔහු කීවා  “කතාවක් සත්‍ය කතාවකැයි හැඳින්වීම කලාවටත් සත්‍යයටත් දෙකටම නින්දාවක්” කියා. සෑම විශිෂ්ඨ ලේඛකයෙකුම විශිෂ්ඨ ප්‍රයෝගකාරයෙක්. නමුත් ප්‍රධාන රැවටිලිකාරයා වන සොබාදහමත් ඒ පරිදිමයි .
තවදු, විශිෂ්ඨතම සමනළවේදියෙකු වන නබකොව් ඇතැම් සමනළ තටු, ඒවායේ ඇති පණුගුල් පවා දක්වමින් තුරුපත් අනුකරණය කළ ආකාරයෙන්ද අමන්දානන්දයට පත් වුනා. එපරිදිම හම් ගේ සහ ලෝ ගේ “සමස්ථ නපුරේ ලෝකය” ඇබිති ජ්වලිත සවිස්තරයන්ගෙන් ගහණයි. ඔහු ගවේෂණය කරන්නට ඇලුම් කළ ඇමරිකානු වන දිවිය සේ දිදුළන සුළු වගේම විචිත්‍රයි. හම්බර්ට් අපට කියනවා ඔහුට හැකි වග දකින්නට “මගේ කාලකණ්නිකමට ප්‍රතිකාරයක් ලෙස කිසිවක්ම නැති බව දොම්න මෙන්ම නිරවුල්ව හසුරුවන ලද කලාවේ ස්ථානීය නිර්වින්දනය මිස”. නමුත් ලොලීටා තරම් ශ්‍රේෂ්ඨ වන කලාවක් නබකොව් “සෞන්දර්යාත්මක ප්‍රමෝදය”ලෙස හඳුන්වන උත්කර්ෂිත තත්ත්වය බවට පත් වෙමින් හුදු ප්‍රීතිප්‍රමෝදය, නිර්වින්දනය සහ දොම්නසද අතික්‍රමණය කරනවා.



පරිවර්තනය- කේ. කේ. සමන් කුමාර

No comments:

තොටලඟ ද්‍රෙෘපදිය

ක්‍රිෂ්ණා දෙවිඳුන් නාවාට එක් පසෙකින් ලිහෙනා සළු පට මවමින අනෙක් පසිනා ඉඟ වට නිරුවත වසන්නට තොටලඟට හැත්තෑපහේ වත්තට, ද්‍රෙෘපදී නොතැව...