Monday, December 12, 2016

කළු බණ්ඩාර සම්මුඛ වීම හෙවත් මහිලාවංශය

ජුතින්ද්‍රගුප්තට කළු බණ්ඩාර සම්මුඛ වීම හෙවත් මහිලාවංශය 


”වැසිකිළි ගොඩ අදින්නා සේ ඇතුළු මනස හෙළි කිරීමේ අර්ථය කුමක් දැ” යි වරක් හේන්පිටගෙදර ඥානසිහ හිමියෝ සාහිත්‍යයේ අර්ථය ප‍්‍රශ්න කළහ. මේ වනාහි සාහිත්‍යයත් බෞද්ධ ආකල්පයත් සම්මුඛ කරවන කදිම ප‍්‍රශ්නයකි.
මතුපිටින් කියවන කල සදාචාරවාදි ලෙස හැඟී යා හැකි මේ ප‍්‍රශ්නයෙන් ඇත්තෙන් ම ඉඟි කරන්නේ, බෞද්ධ ආකල්පය කිසි සේත් සදාචාරවාදි නො වන බව යි. ඇතුළු මනස පහන් පැලක් නොව වැසිකිළි වලක් බව ඉන් අවධාරණය කෙරේ.

මේ වැසිකිළි වල ගොඩ ඇදීමෙන් තොර ව ලබාගත හැකි ඥානයක් බුදුසමය විසින් දිරි ගැන්වෙන්නේ නැත. එසේ ගොඩ ඇදීම අරබයා ථෙරවාද සහ මහායාන සම්ප‍්‍රදායන් අනුගමනය කරන තාක්ෂණ ක‍්‍රම වෙනස් ය. ග‍්‍රන්ථකරණය දිරිගැන්වුණු මහායාන සම්ප‍්‍රදාය තුළ, ‘කියවීම‘ ඒ සඳහා සුදුසු ක‍්‍රමයක් හැටියට නිර්දේශ කරනු ලැබිණ. ඇතැම් මහායාන යතිවරුන් විමුක්තිය ලැබුවේ සූත‍්‍ර ග‍්‍රන්ථ කියවමින් උන් අතරයැ යි කියැවේ. ථෙරවාද සම්ප‍්‍රදාය පොත් ගැන විශ්වාසය තැබුවේ නැත. එහි ලා පොත අවශ්‍ය වූයේ, භක්ති මාර්ගයක් හැටියට මිස, ඥාන මාර්ගයක් හැටියට නො වේ.සාහිත්‍යය හරහා ඇතුළු මනසට පිවිසීම සෙන් සම්ප‍්‍රදායේ මෙන් ම වජ‍්‍රයාන සම්ප‍්‍රදායේ ද සුලබ ය. සෙන් සම්ප‍්‍රදාය ඍජු අත්දැකීම් සාහිත්‍යයක් ද වජ‍්‍රයාන සම්ප‍්‍රදාය රූපක බහුල සාහිත්‍යයක් ද යොදාගනී.වජ‍්‍රයාන සම්ප‍්‍රදාය තුළ ඇතුළු මනස හෙළි කිරීමට රූපක ලෙස ලිංගික සංකේත ද උදවු කරගැනේ. බෞද්ධ සම්ප‍්‍රදායන්හි බොහෝ විට අප මේවා දකින්නේ වජ‍්‍රයානික මුද්‍රා තුළ වුවත්, මේ ලිංගික සංකේත ඇසුරින් නිපන් සරු සාහිත්‍යයක් ද තිබ්බතය සතු ව ඇත. 

මහිලාවංශය මේ අර්ථයෙන් වජ‍්‍රයාන ආඛ්‍යාන සම්ප‍්‍රදායට නෑකම් කියයි. එය රූපක -ලිංගික සංකේත ඔස්සේ කිසියම් ආධ්‍යාත්මයක් තුළට පිවිසෙයි.

උදක් ම ආධ්‍යාත්මික අරමුණු සහිත ව නවකතා රචනා නො වේ. අර වැසිකිළි වළ සමග වටපිටාව ද ගොඩ ඇදීම සාහිත්‍යකරුවාගේ කටයුත්තකි. මහිලාවංශ කතුවරයා, එම වැසිකිළිය පිහිටි ඉඩමේ හතරමායිම ද එහි රහස් ද වැලලූ මිනී ද නිදන් ද යන සියල්ල ගොඩ ඇද දමයි. එසේ වුව ද තවමත් එහි කේන්ද්‍රය වශයෙන් බෙහෙවින් දුගඳ හමන පුද්ගල විඥාන වැසිකිළිය වෙයි. සමූහ විඥානය එයට අමුද්‍රව්‍ය සපයන ගෙබිම - ඉඩම යි. මේ නිසා එය භෞතිකවාදි හෝ සදාචාරවාදි නිශ්චායක තුළ කියවාගත නො හැකි කෘතියක් වෙයි.

තිබ්බත සාහිත්‍යයේ එන උමතු යෝගි දෘග්පා කුන්ලේගේ කතා (කීත් ඩෝමන් විසින් ඉංග‍්‍රිසියට පෙරළන ලදි) ද එබඳු ය. ඔහු යක්ෂයන්ට සිය ඍජු වූ ලිඟුව පායි. යෝගිනින්ගේ යෝනි සමග ක‍්‍රීඩාවෙහි යෙදෙයි. සිය අධෝවාතයන් අත්ලට කැටි කොට, ආරාමයේ ලාමාවරුනට දක්වයි.

වජ‍්‍රයානය යනු, සත්‍යය දැකීමට නම් සියලූ සදාචාරවාදයන්ගෙන් - බාහිර ලෝකයේ දෘඪ මිනුම්වලින් ගැලවිය යුතු බවට බුදු සමයේ එන කේන්ද්‍රීය ඉගැන්වීම පදනම් කොටගත් ව්‍යවහාරික සම්ප‍්‍රදායකි. ලිංගික සහ සමාජ සදාචාරයන්ට අනුගත නො වන දෘග්පා කුන්ලේගේ චර්යා - මනෝ දර්ශන යනාදි සියල්ල, අර සදාචාරවාදයෙන් කැඩෙන්නටත්, හොඳ-නරක වන් සියලූ ද්වයතාවන් අරබයා උපේක්ෂාසහගත වන්නටත් අපට උදවු වෙයි.

කවර බෞද්ධ සම්ප‍්‍රදායක වුව මූලික වන්නේ මනස ය. එ ද, පුද්ගල මනස ය. වජ‍්‍රයානික ලිංගික සංකේත සහ ඒ සබැඳි සාහිත්‍යය යොමු වන්නේ පුද්ගල මනස සමග කරන සංග‍්‍රාමයකට ය. අනෙක් අතට, සෑම සත්ත්වයකු තුළ ම බුද්ධාංකුරය ඇතැ යි මහායානයේ එන මූලික ප‍්‍රකාශය තුළින්, ඔබේ මනස - මගේ මනස යන ද්වන්ධය, විවිධාංගීකරණය අහෝසි කොට දමයි.‘පුද්ගල‘ මනස ‘ස්වාත්මය‘ ලෙස වැඞීමට තිබෙන අනතුර ඉන් අවුරා දැමේ. එවිට අරගලය ඇත්තේ මනුෂ්‍ය, තිරශ්චීන, නේරයික, දිව්‍ය හෝ පේ‍්‍රත යන කවර වේශයක් තුළ, කවර නාමයක් තුළ හෝ සැඟවී සිටින ‘පොදු‘ සතුරකු සමගිනි. විමසන්නට ඇත්තේ පොදු වූ යමකි. ඇද දමන්නට ඇත්තේ පොදු වැසිකිළියකි.

වජ‍්‍ර යෝගියා පුද්ගලයෙකි. ඔහු කිඳා බසින්නේ ස්වකීය ආධ්‍යාත්මයට ය. සාහිත්‍යකරුවා ද පුද්ගලයෙකි. එහෙත් ඔහුට ස්පර්ශ කරන්නට සිදු වන පරාසය පළල් ය. දේශපාලන සමාජ අර්ථයන් පිණිස සාහිත්‍ය කෘතියක සැලකිය යුතු ඉඩක් හිමි වේ. මේ නිසා ඔහුට කිඳා බසින්නට සිදු වන්නේ බෙහෙවින් පුළුල් වූ සමාජ ආධ්‍යාත්මයකට ය. 

නළයක පළල් තැනකදී වතුර ගලන වේගය අඩු වන්නේ යම් සේ ද, පළල් ක්ෂේත‍්‍රයක් කියැවීමේදී තියුණුකම අඩු වේ. මේ නිසා සාමූහික ආධ්‍යාත්මයක් පොතකට ගෙන එන සාහිත්‍යකරුවාට වජ‍්‍ර යෝගියා සේ සියුම් වන්නට බැරි ය. ගොරහැඩි ආධ්‍යාත්මයක් පිටුවලට ගෙන ඒමේ දී ඒ පිටු ද ගොරහැඩි විය යුතු ය.
කතුවරයා ජය ගන්නේ, චෛතසික කියැවීම කේන්ද්‍ර කරගත් සාහිත්‍ය ක‍්‍රමයක්, සමූහ ආධ්‍යාත්මය කියැවීමට යොදාගැනීමේ අභියෝගය යි.

යථාවාදි ආඛ්‍යානය වලංගු නො වන තැනින් උපදින්නේ අභූතරූපී (absurd) ව්‍යාකරණය යි. රීතිය අතින් මහිලාවංශය ස්ථානගත වන්නේ අභූතරූපි නාටකය සහ නවකතාවේ ඡේදන කලාපයක ය. ජෝන් ස්ටෙයින්බෙක් Burning Bright වැනි ප්‍රබන්ධ හරහා කෙටි නවකතාව නාටකය සමග ඡේදනය කරවී ය. මහිලාවංශ රීතිය තුළ, දීර්ඝ නවකතාව අභූතරූපි නාටකය සමග ඡේදනය වේ.
මහිලාවංශය යනු අපගේ වංශකථාව යි. අපගේ අර්බුදයේ ප‍්‍රකාශනය යි. අප මුහුණ පා සිටින ඒ අර්බුදයේ රෝගබීජය සොයාගත හැක්කේ අපගේ සමූහ ආධ්‍යාත්මය - අවිඥානය තුළින් මිස, භෞතිකය හෝ කාය චර්යා තුළින් නො වේ. කතුවරයා විඥානයේ අභූතරූපි භාෂාව යොදාගන්නේ එහෙයිනි.

විඥාන ව්‍යාකරණය තුළ, විජය - කුවේණි - එළාර - ගැමුණු යනු සොහොන් හදා පොළොවට යට කර දැමුව පංචස්කන්ධ නො වේ. ඔවුහු අපගේ ආශාවන්ගේ - අභිලාෂයන්ගේ වර්ණ තවරාගනිමින්, අප හා නිරන්තර කථනයේ යෙදෙන සජීවි මිනිස්සු ගැහැනු වෙති. එම ව්‍යාකරණය තුළ, ඉතිහාසය යනු, ඔරලෝසු කටුවෙන් මිනුම් කර වෙන් කළ එකක් නො වේ. ඔරලෝසු කටුවේ නැගී ඉතිහාසය සොයා යන්නාට, වට දෙදහසක් ගිය ද කුවේණිය හමු වන්නේ නැත. මහිලාවංශය රේඛීය නො වූ කාලාවකාශයක අප රැගෙන යමින්, කුවණ්ණාවන් ද සුවණ්ණාවන් ද අපට සම්මුඛ කරවයි.

‘කුවණ්ණ ලාක්ෂණිකය‘ කේන්ද්‍ර වීම හෝ ග‍්‍රන්ථනාමය නිසා ස්ත‍්‍රිය හෝ ලාංකේය ස්ත‍්‍රිය පිළිබඳ වෘත්තාන්තයකැ යි යමකු වටහාගැනීමට ඉඩ තිබුණ ද, මහිලාවංශය යනු තද පුරුෂ දෘෂ්ටියකින් ලියැවුණු කෘතියකි. ස්ත‍්‍රියගේ චෛතසික කියැවීමට වුව එහි වෙන් කොට ඇත්තේ අල්ප ඉඩකි. කුවණ්ණා ලාක්ෂණිකයට වඩා සිත්කලු ලෙස එහි ස්ථානගත කර ඇත්තේ සිංහල පුරුෂාධ්‍යාත්මය හඳුනාගැනීමෙහි ලා කදිම රූපකයක් වන ‘කළු බණ්ඩාර‘ ලාක්ෂණිකය යි.

මහාවංශය විසින් හඳුන්වා දෙනු ලැබූ, නිදහස් අරගලය විසින් උත්කර්ෂයට නංවනු ලැබූ ආර්ය සිංහල ප‍්‍රවාදයේ එන මහ රික්තයට, මහිලාවංශය, කළු බණ්ඩාර ප‍්‍රවාදය යෝජනා කරයි. අප ඉතිහාසයේ එන හැටියට, කළු බණ්ඩාර යනු ස්වදේශිකයෙකි. බලපුලූවන්කාරයෙකි. රාග චරිතයකි. ශ‍්‍රී මහා බෝධි ආරක්ෂක ප‍්‍රධානින් වූයේ, පාඨලීපුත‍්‍රයෙන් ආ ජුතින්ද්‍රගුප්ත සහ ස්වදේශික කළු බණ්ඩාර ය.
අධිපති සම්ප‍්‍රදාය විසින් පුන පුනා ජුතින්ද්‍රගුප්තට ම පවරනු ලැබුව ද, පාඨලීපුත‍්‍ර ලාක්ෂණිකය හා සමපාත නො වන මහා කලාපයක් සිංහල පුරුෂයාගේ අවිඥානයේ තිබේ. මහිලාවංශය හරහා, ජුතින්ද්‍රගුප්තට කළු බණ්ඩාර සම්මුඛ වෙයි. ද්වේෂ චරිතයාට රාග චරිතයා සම්මුඛ වෙයි. එනම්, අපට අනෙකා ද අප ද යන දෙදෙනා ම සම්මුඛ වෙති.
එසේ සම්මුඛ වීමේදී, ඒ කාට වුව අපට ජීවත් වන්නට සිදු වන වටපිටාවෙන් ගැලවෙන්නට නො හැකි වෙයි. ස්ත‍්‍රී යට ඇඳුම් විසින්, ස්ත‍්‍රී ශරීරයට පවා අත පොවා ගත නො හැකි වූ පිරිමි අවිඥානයේ ගැඹුරු අඳුරු තැන් ස්පර්ශ කරනු ලැබ ඇත. දෘෂ්‍ය කවිය විසින් ශ‍්‍රව්‍ය කවිය ද, දෘෂ්‍ය කාමය විසින් ස්පර්ශ කාමය ද යටපත් කර ඇත. උපකරණ සියුම් වන විට භාවිතාව ඕලාරික වි ඇත. කවර ඓතිහාසික සත්තාවකට වුව තාක්ෂණික ධනවාදයේ මේ අර්බුදයෙන් නො මිදී වර්තමානයේ ස්ථානගත වන්නට නො හැකි ය. රේඛීය නො වන කාලාවකාශයක, සමූහ පුරුෂවිඥානයක කුවේණිය ස්ථානගත කරන විට, ඇගේ තනපටයේ හැඩය නො තකා සිටින්නට බැරි එහෙයිනි.
සමූහ ආධ්‍යාත්මයේ සැඟවුණු හැඩ නිල හඳුනාගැනීමෙහි ලා මහිලාවංශය ප‍්‍රබල රූපක සහ සමපාතකිරීම් ගෙන එයි. ඒ සඳහා කතුවරයා තමාට අනන්‍ය විලාසයෙන් වෛකල්පික ඉතිහාසයෙන් බොහෝ අමුද්‍රව්‍ය ගනී. ප‍්‍රධාන ධාරාවේ ඉතිහාසය සේ ම, වෛකල්පික ඉතිහාසය ද සංගත නො වේ. ලමැණි වංශය, ස්වදේශිකත්වය සහ අභයගිරිය සමපාත කිරීම අතිශය විසංවාදි ය. අභයගිරියට වැඩි අනුග‍්‍රහ දැක්වූ ලම්බකර්ණයෝ, ජුතින්ද්‍රගුප්තගේ සැබෑ ලේ නෑයෝ වෙති. බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා මේ අය හැඳින්වූයේ, අප ඉතිහාසයේ සකල අර්බුදයන්ට වගකිවයුතු අහංකාර ඉන්දියානුවන් පිරිසක් හැටියට ය. භාරතීය ප‍්‍රභූ ලාක්ෂණිකයේ අනෙකා තැනීමට ලමැණි වංශය හෝ අභයගිරිය කිසි රුකුලක් සපයන්නේ නැත.
අපගේ පෞද්ගලික රුචි අරුචිකම් ටිකකට අමතක කරන්නේ නම්, මහාවිහාර භූමියෙහි බැරි නම්, අඩු තරමින් නිර්ප‍්‍රභූ චිත්තල පබ්බතය වැනි තැනක, කළු බණ්ඩාර නමැති ස්වදේශිකයා වඩා සංගත ලෙස ස්ථානගත කළ හැකි ය.
මහිලාවංශය කියැවීමට කිසියම් පූර්ව දැනුමක් අත්‍යවශ්‍යයැ යි අදහසක් ඇත. කරාටේ ඉගෙනගත් පසු සටන් කළ හැක්කේ කරාටේ දන්නා අය සමග පමණදැ යි අපි කුඩා කාලයේ සටන් කලා ඉගෙනගන්නට උනන්දු යහළුවන්ගෙන් ඇසිමු. කතුවරයා කියවූ සියල්ල කියවා තිබීම අත්‍යවශ්‍ය නො වේ. කියවා තිබෙන තරමට - කියවූ ගැඹුරේ තරමට කතුවරයා සමග සම්මුඛ වීම මනරම් අත්දැකීමක් වෙයි. කරාටේ දන්නා දෙදෙනකුගේ සටනක් බඳු වෙයි. අනෙක් අතට, සරුසාර උපග‍්‍රන්ථයන් දැනුම් ප‍්‍රශ්නයේදී උදවුවට එනු ඇත. අප විසින් වෙහෙසී හෝ තනි ව ග‍්‍රහණය කරගත යුත්තේ ග‍්‍රන්ථයේ ඓන්ද්‍රිය ව්‍යාකරණය යි. මහිලාවංශය මගහැරෙන්නේ ඒ ව්‍යාකරණය මගහැරුණොත් ය. එය චාල්ස් බුකෝස්කිගේ Women වැනි කතුවරයාගේ මහිලා ඇසුර ගැන පොතක් හෝ කාම කතන්දරයක් සේ පෙනී යන්නේ, ඒ ව්‍යාකරණය මගහැරුණු විට ය.

අනුරාධ මහසිංහ


No comments:

තොටලඟ ද්‍රෙෘපදිය

ක්‍රිෂ්ණා දෙවිඳුන් නාවාට එක් පසෙකින් ලිහෙනා සළු පට මවමින අනෙක් පසිනා ඉඟ වට නිරුවත වසන්නට තොටලඟට හැත්තෑපහේ වත්තට, ද්‍රෙෘපදී නොතැව...