තිඹිරි ගෙය තුළින් ලොවට අලූත් අමුත්තකු ගොඩව එළිපත්ත මත දෙපා ගසන හඬ ඇසුණි.
මම දොර අසලට වී නොඉවසිල්ලෙන් අසා සිටියෙමි. හදිසියේම දොර ඇරුණේ විලාප නගාගෙනය.
බිරිඳගේ සිරුර
මිනී පෙට්ටියක බාවා තිබුණි. ඉහ ඉද්දර පොල්තෙල් පහනකි. හදිසියේම පස්කැට නොකඩවා වැටී
ඇගේ සිරුර වැසී ගියේය. මම මේ දැන් කුලූඳුලේ උපන් ලේ කැටි දියණිය තුරුලූ කරගෙන ඉකි
ගසා හැඬුවෙමි. නැවුම් පස් කණ්ඩිය වටා මල්වඩම් කිහිපයක් පැමිණ සිට ගත්තේය. හදිසියේම
පස් කණ්ඩිය මදින් මද ගිලා බසින්නටත්, ඒ වටා තණකොල වැවෙන්නටත් විය. මොහොතින් එතැන හඳුනාගත
නොහැකි වන සේ වල් බිහි වී ගියේය.
මේ අතර දියණිය, පෙරලෙන්නටත්, දණ ගාන්නටත්,
නැගිටින්නටත්
වූවාය. බලා ඉදිද්දීම ඇගේ දත් එකින් එක ආවේය. වචනයෙන් වචනය ඈ තොඳොල් බසින් කියන්නට
වූවාය. මහත් ආදරයෙන් යුතුව ඇය සිප ගත් මම, ඇයට ඔටුන්නක් සදන්නට දිවා
? දෙක්හි වෙහෙසෙන්නට වූයෙමි.
දිනක් ඈ පොත්
බෑගයකුත් කරේ එල්ලාගෙන හාපුරා කියා අකුරට ගියාය.
සෙවනැල්ල උදා ගිර
දෙසට දික් වන්නට පටන් ගනිත්ම, පිරිපුන් යුවතියක් තොඳොල් බසින් කුමක්දෝ කියාගෙන ගෙට ගොඩ වූවාය. මම ඈ
කවුරුන්දැයි නොදත්මි. කීවේ කුමක්දැයි ද මට නොතේරෙයි.
‘ සඳ එළිය කැටි
ගැසුණ සුදු වටොරය , ගවුම පිරි මදින දෙතන ලප තුඩුය. මීන චංචල කිඳුරු දෑසය’
එක් වරම පොළොව
පලාගෙන සර්පයා උඩට මතු විය. මම ඇයට නොපෙනෙන්නට ඌ පයින් පාගා ගතිමි.
‘හරි බඩගිනියි
තාත්තෙ - ’
එක්වරම පොළොව
ගුගුරන්නට විය.
'තාත්තෙ..... ’
ඈ ගෙට ගොඩවන විට ඇද පැද කීවේද ඒ අකුරු තුනමය. මේ මගේ දියණිය ද?
ඇස්කන්,නාහෙ, කට,කතා බහ, ගමන බිමන, ඒ සියල්ල හරිය. නිකටේ උපන් ලපයත් එහෙම්මමය. ඇත්තෙන්ම මේ මගේම ලෙයින් උපන්
සුරතල් දියණියම නොවේද?
දිනක් ඇය එකෙකු
අත ගෙන යන්නට ගියාය. මම ඉකි ගසා හැඬුවෙමි. සර්පයා අසලකටවත් ආවේ නැත.
එහෙත් එදා රාත‍්‍රී
පහන් වන්නට තිබිය දී ඌ හෙමිහිට හිස ඔසවා වට පිට බලමින් කොහේදෝ සිට මවෙත බඩ ගෑවේය.
මගේ ලෙයින් උපන් සුරතල්
දියණිය තවෙකෙක් සමඟ රමණයෙහි යෙදෙන සැටි ඌ මට කතා කොට පෙන්වන්නට විය. මම යක්‍ෂයාවේශ
වී අසල වූ මුගුරක් ගෙන ඌට පහර දෙන්නට විමි. ඌ නහයින් කටින් ලේ දමාගෙන, අමාරුවෙන් බඩ
ගාගෙන නැවත නොඑන්නටම මෙන් යන්නට ගියේය.
සර්පයාගේ ඒමෙන්
මිදුලෙහි ඇඳුනා වූ රූ වැල්ලෙන් වැසී මැකී යමින් තිබුණි.
දවසක් දියණිය
වැලහින්නක සේ වැලපෙමින් ගෙදර අවාය. ඔහු ඇය පන්නාගෙන තිබුණි. මම ඇගේ හිස අතගාමින්
සැනසුම් බස් කියන්නට වූයෙමි.
ඇය ආපසු නොගියාය.
මම ටිකින් ටික යෝධයකු සේ විශාල වී,මහත් වූ පිය සෙනෙහසින් ඇය ලයෙහි හොවාගෙන රැක
ගන්නට වූයෙමි. දිනක් සර්පයා නැවතත් ආවේය. මම වහා ඌ එළවා ගතිමි. ඉන් පසුව ඌ වරින්
වර පැමිණ මා සුරතල් දියණිය සොර සැමියන් හා උන් හැටිද පෙන්වන්නට විය. මම සැමදා ඌ
මුගුරින් තලා පෙළා දමමි. ඌ මැරුණායි සිතා සැනසෙමි. එහෙත් සර්පයා හිටි ගමන් නැවත
පණවුත් දඟලන්නට ගනී. අන්තිමේදී ඌ තලා පෙළා වෙහෙසට උකටලීව ගියෙමි.
සර්පයා පණ ගසා
දමා මා වෙත බඩ ගෑවේය. ඌ එක් වරම පැන මට දෂ්ට කළේය.
සිරුර පුරා විෂ
පැතිර යනු මට දැනෙයි. මම ඈ අත්ලට ගෙන ඇගේ පිරිපුන් අඟ පසඟ දෙස බලා සිටියෙමි.
මගේ අතින් ඇය බිම
වැටුණාය. යෝධයකු වී සිටි මා ටිකින් ටික කුඩා වනු මට දැනේ. ඇය මගේ වෙනස් වීම දැක
බියෙන් මොර දෙන්නට වූවාය.
මම ඇය සෙමෙන් වැළඳ
ගතිමි. ඇය මා යදින්නටත් අවසානයේ හඬා වැලපෙමින් මට සාප කරන්නටත් දෙස් දෙවොල්
තියන්නටත් වූවාය.
මධ්‍යම රාත‍්‍රිය
වන විට විස බැස ගියේය. මම ඇගේ මුහුණ බලන්නට වත් නොහැකිව පොළවේ හැපෙමින් හඬා
වැටුනෙමි.
ඇය අත විෂ බඳුනකි.
මම එය රැගෙන විසිකර ඇගේ දෙපතුල මත වැටී සමාව යදින්නට වූයෙමි. ඇය ද මා හා එක්ව හඬා
වැටුණාය.
මම කෝපයට පත්ව
සර්පයා මුගුරින් තලා, ගිනි ගොඩක් ගසා එහි දමා, ඌ ඇඹරී අඹරී දැවී අඟුරුව යනු බලා සිනාසුනෙමි.
එදා සිට ගහක
කොලයක් වැටුණද අපි කලබල වී බැලූවෙමු. එවන් ‘සරස්’ හඬක් වුවද අපට
ඇසුණේ ගලක් මුලක් වහලෙහි වැදෙන කලක මෙනි.
සර්පයා ඒමෙන් මිදුලෙහි ඇඳුනා වූ රූ වැල්ලෙන් වැසී,
මැකී ගියේය.
එහෙත් එක් රාත‍්‍රියක
සීතලක් දැනී බැලූ සඳ ඌ ජයග‍්‍රාහී ලෙස හිස ඔසවාගෙන පිටි පතුලක් දිගේ උඩට ඇදෙමින්
හුන්නේය.
ඌ නැවත කරදර
කරන්නට විය. මෙවර ඌ ඇයටද දෂ්ට කර තිබුණි.
ඌ නිතර නිතර
එන්නට වූ නමුදු අපි ඌ එළවා දමන්නට උත්සාහ නොකළෙමු. ඌ ආ විට ඌ කියන ඕනෑම දෙයක් කළ අපි, ඌ ගිය කල හූල්ලන්නටත් හඬා
වැලපෙන්නටත් වූයෙමු.
ඌ ආ විටක හැර
කිසිදා අපි එකිනෙකා මුහුණට මුහුණ බැලූවේ නැත.
ඊයේ මහ හඬක් ඇසී
අපි කවුලූවෙන් පිටත බැලූවෙමු. අප වට මහ පවුරක් මෙන් ගල් මුල් ගොඩ ගැසී තිබුණි. ඇය
මට දෙස් දොවොල් තබමින් හඬා වැටුණාය. මම ද ඇය හා එක්ව හඬා වැටෙන්නට වීමි.
අපි සර්පයාට තලා
එලවා දමන්නට සෑදිමු. එහෙත් ඌට අපේ පහරවල් දැණුනේවත් නැත. ඌ මහත් සේ වැඞී අප වටා
දරණ ලා සිටියි.
No comments:
Post a Comment