Wednesday, September 23, 2015

නවයොවුන් සාහිත්‍යයේ නව නැමියාවන්



නවයොවුන් සාහිත්‍යය ලොව ප්‍රබල මෙන්ම විශාල වශයෙන් පැතිරුණු සාහිත්‍ය ෂානරයකි.  Young-adult fiction හෝ  young adult literature  නුවෙන් හැඳින්වෙන මෙය  YA    යනුවෙන් කෙටි යෙදුමකින්ද හඳුන්වනු ලැබේ. American Library Association (ALA)  සංවිධානයේ නවයොවුන් පුස්තකාල සංවිධානය සංවිධානය  (YALSA)      නවයොවුන් යන්න වයස අවුරුදු දොලහ සිට දහඅට දක්වා වන යනුවෙන් නිර්වචනය කොට තිබේ. කෙසේවුව නවයොවුන් ප්‍රබන්ධයන් සියයට පනස්පහක්ම මිලට ගන්නේ වයස දහඅට ඉක්මවූ පාඨකයන් බව මෑත සමීක්ෂණ පෙන්වා දෙයි.  young-adult novel, juvenile novel, young-adult book  යනාදී වශයෙන්ද නම් කෙරෙන නවයොවුන් සාහිත්‍යය සේම කතුවරුන් විසින් වයස දහසයේ සිට විසිපහ දක්වා වන අය වෙනුවෙන් ලියවෙන ෂානරයක් ලෙස යොවුන් සාහිත්‍යය සාම්ප්‍රදායිකව සැලකෙයි.
මෙම ෂානරයේ වීරයා බොහෝවිට වැඩිහිටියකුට හෝ ළමයකුට වඩා නවයොවුනකු වේ. විෂය කාරණාව හා කතා රේඛාව ප්‍රධාන චරිතයේ වයස සහ අත්දැකීම් මත රඳා පවතින අතර විවිධ ප්‍රබන්ධ ෂානරයන් ඔස්සේ මෙම පරාසය විහිදෙයි. නව යොවුනන්ගේ ජීවන අභියෝගයන් කෙරේ නිරතුරුව කේන්ද්‍ර වන මෙම ප්‍රවනතාව  problem novels     හෝ  coming-of-age     යනුවෙන්ද නම් කරනු ලැබෙයි. මෙම ප්‍රවනතාවේ කෘතීන් ලේඛන ශෛලිය අතින් පුළල් වපසරියක පැතිර තිබේ.
මෙහි පශ්චාත් නූතන ප්‍රවනතාවක් වන්නේ අන්තර් ක්‍රියාකාරී ක්‍රීඩාමය සාහිත්‍යයයි. අන්තර් ක්‍රියාකාරී සාහිත්‍යය එතුවක් පාඨකයා සහභාගීවන්නකු ලෙස සම්බන්ධ කර නොගත් ඒකපාර්ශ්වීය සාහිත්‍ය ප්‍රවනතාවන්ට වෙනස්ව පාඨකයා කෘතියේ නිර්මාපකයෙක්, කෘතිය හැඩ ගස්වන්නෙක් බවට පත් කරමින් ප්‍රජාතාන්ත්‍රීය ක්‍රියාකාරිත්වයක් බවට සාහිත්‍යය පත් කළේය. සෑම පාඨකයකුම ලේඛකයාගේ කෘතිය පෙළක් ලෙස කියවන බව, තමාට අනුව නිර්මාණය කරන බව සත්‍ය වූවද එම පරිකල්පනීය මෙන්ම අර්ථ කථනමය කාර්්‍යයට එහා යමින් අන්තර් ක්‍රියාකාරී සාහිත්‍යය පාඨකයාට කෘතිය තුළ සම්බන්ධ විය හැකි අවකාශයක් විවර කළේය.
මෙම ක්‍රීඩාමය පොත් 1980 දශකයේදී විශේෂයෙන්ම ජනප්‍රියත්වයට පත් විණි. නමුදු පළමු ක්‍රීඩාමය පොත ප්‍රකාශයට පත් වූයේ 1941දීය. මේවා සම්ප්‍රදායික පොත්වලට සමාන වුවද පාඨකයාට තීරණ ගැනීමට ඉඩ දෙන අතර පාඨකයා විසින් ගන්නා තීරණය කතාවේ විකාශනයට බල පානු ලබයි. තීරණ ගැනීමට දෙනු ලබන සෑම අවස්ථාවකදීම පාඨකයාට කතාව ඉදිරියට ගෙන යාම සඳහා නිශ්චිත පිටුවකට හෝ ජේදයකට යාමට උපදෙස් දෙනු ලැබේ. එහිදී පාඨකයා විසින් ගන්නා තීරණය මත එතැනින් එහාට කතාව විකාශනය වෙයි. මෙය ලේඛකයාගේ කෘතිය මත පැවති ආධිපත්‍යය බිඳ දැමීය. නාට්‍යමය සන්දර්භය වෙනුවට බොහෝ විට මෙවන් කතාවල උපාඛ්‍යානමය ව්‍යුහයක් දැකිය හැකිය. සම්භාවිතාව, සාපේක්ෂකත්වය, බහු රේඛීය බව, බහු ප්‍රස්ථරික බව, බහුත්වවාදී බව බොහෝ කොට දකිත හැකිය. මෙම ප්‍රවනතාවේ නිර්මාණ අතර  choose your own adventure  ( සිංහල වීරයා ඔබයි කතා මාලාව ),  Goose Bump  වැනි පොත් පෙළවල් අතිශය ජනප්‍රිය විණි.

1950 දශකයේදී නූතන ප්‍රකාශන කර්මාන්තය විසින් නවයොවුන් ආදර කතා වෙළඳපල විවර කළේය. නවයොවුන් පාඨකයන්ගේ අවධානය  The Catcher in the Rye     (1951) සහ   Lord of the Flies  (1954) යන නවකතා දෙකට යොමු විණි. නවයොවුන් වශයෙන් ප්‍රවර්ග ගත කල තත්කාලීන බොහෝ ප්‍රබන්ධයන්ට වෙනස් ලෙස ඒ වැඩිහිටි පාඨකයන් සිත්හි තබාගෙන ලියවී තිබිණි. නවයොවුන් ප්‍රබන්ධ යන නූතන වර්ගීකරණය බිහි වූයේ 1950ත් 60ත් අතර දශකයේදීය. ී S.E. Hinton     ගේ  The Outsiders     පළ වූයේ එයට පෙරාතුවය. එතෙක් ප්‍රබන්ධ කෘතීන් තුළ නියෝජනය නොවූ නවයොවුන් කණ්ඩායමක් එයින් නියෝජනය විණි. වැඩිහිටියන් විසින් ලියන ලද නවයොවුන් කෘතීන්හි වන අතීත සාංකාමය ලීලාව වෙනුවට එහි නවයොවුන් දිවියේ සැබෑ අඳුරු පැත්ත දක්නට ලැබිණි. එයට හේතු වූයේ ඒ සැබැවින්ම නවයොවුන් ලේඛකයකු අතින් ලියවීමයි. එය නවයොවුන් ලේඛකයන් සහ නවයොවුන් අත්දැකීම් පිළිබඳ දෙබරයට ගල් ගැසීය. 1970 දශකයේදී  "fab five" නමින් හඳුන්වන කෘතීන් එළි දැක්විණි. එනම්  Maya Angelou     ගේ  I Know Why the Caged Bird Sings, Rosa Guy   ගේ   The Friends,  Sylvia Plath     ගේ The Bell Jar, Glendon Swarthout     ගේ  Bless the Beasts and Children   සහ  Robb White    ගේ Deathwatch  යන කෘතීනුයි.

ප්‍රකාශකයන් නැගී එන නවයොවුන් වෙළඳපල, පොත් වෙළෙන්දන් සහ පුස්තකාල පිළිබඳව අවධානය යොමු කිරිමත් සමග ළමා සාහිත්‍යය සහ වැඩිහිටියන් සඳහා ලියවුණු නවකතාවලින් යොවුන් පාඨක කොටස පැහැදිලිව නිර්මාණය වන්නට ඇරඹිණි. 1970 සිට 80 දශකය මැද භාගය වන තෙක් නව යොවුන් නවකතාවේ සහ යොවුන් නවකතාවේ ස්වර්ණමය අවධිය ලෙස හඳුන්වනු ලැබේ. අභියෝගාත්මක වූ නවකතා හඳුනාගත් නවයොවුන් ප්‍රකාශකයන් වෙළඳපල ලැදියාවන්ට ඍජුව ආමන්ත්‍රණය කරන්නට විණි. 80 දශකයේ නවයොවුන් ප්‍රකාශනයන් අතරින් විශාල ප්‍රමාණයක් අපචාරයන්, දූෂණ, දිවිනසා ගැනුම, දෙමාපියන්ගේ මරණ, සහ මිනීමැරුම් ආදියට මුහුණ දුන් නවයොවුනන්ගේ අත්දැකීම් විෂය කොට ගත් ඒවා විය. එසේම 80 දශකයේ නවයොවුන් පාඨකයන් තමන්ගේ එදිනෙදා ජීවිතයට සමීප අත්දැකීම් විෂය කොට ගත් කෘතීන් කියවීමට නැඹුරුවක් දැක්වීය. විශේෂයෙන්ම ආදර කතා කෙරේ වන නැඹුරුව මෙහිදී දකිත හැකිය. 90 දශකයේ නවයොවුන්  හා යොවුන් සාහිත්‍යය මත්පැන්බීම, ලිංගිකත්වය, මත්ද්‍රව්‍ය භාවිතය, අනන්‍යතාව, ලස්සන මෙන්ම නවයොවුන් ගැබ් ගැනීම් ආදිය කෙරේ යොමුවිණි.

නවයොවුන් සාහිත්‍යය නවකතා, ග්‍රාපික නවකතා, කෙටිකතා මෙන්ම පද්‍ය යන මාධ්‍යයන් අරාද පැතිරේ. ප්‍රබන්ධමය නොවන චරිතාපදාන, ස්වයං චරිතාපදාන, ස්මරාණාපදාන  මෙන්ම දිනපොත් පවා මීට ඇතුළත් වේ. නවයොවුන් පාඨකයන් අතර වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ගැටළු නවකතා හෙවත්  problem novel     නමැති ෂානරයයි. සමාජ ආර්ථික සීමාමායිම් හරහා විහිදෙන මෙන්ම, සාම්ප්‍රදායික හා අසාම්ප්‍රදායික පවුල් ව්‍යුහයන් තුළ පුද්ගල මෙන්ම සමාජ කාරණාවන් කෙරේ ආමන්ත්‍රණය කළ, යථාර්ථවාදී ප්‍රබන්ධයන් වන යොවුන් නවකතා ගැටළු නවකතා ලෙස වර්ග කෙරේ. මෙම නවකතාවන්හි වන අන්තර්ගතයන්හි පරිණත බව නිසා ඇතැම් යොවුන් සාහිත්‍ය විචාරකයන් ඒ පිළිබඳව ගැටළු මතු කළත් ඒ වෙනුවෙන් පෙනී සිටි විචාරකයන් මෙන්ම ඒවා ආදරයෙන් වැළඳ ගත් යොවුන් පාඨකයන්ද සිටියහ. ඇමරිකානු ලේඛිකා ජූඩි බ්ලූම්ගේ  "Are You there god? Its me Margaret"     යන කෘතිය නවයොවුන් දැරියන්ගේ ලිංගිකත්වය හා ශාරීරික පරිණතවීම් පිළිබඳ ගැටළු කෙරේ ආමන්ත්‍රණය කරන්නකි. මෙම කෘතිය දෙවියනි ඔබ සිටිනවාද මම මාගරට් යනුවෙන් සුජීවා නිරංජනී රත්නායක විසින් පරිවර්තනය කොට තිබේ.

වීරකතාවේ, විද්‍යා ප්‍රබන්ධයේ සිට ඉහත කී සමාජ, ආර්ථික, ලිංගික අත්දැකීම් දක්වා නවයොවුන් කතාන්දරයේ තේමාත්මක වපසරිය පෘථුලය. විරැකියාව සිට පාරමානසික අත්දැකීම් දක්වා ඒ විවිධය. ආරම්භයේ සිටම විවිධ සමාජ ගැටළු සහ තත්වයන්ට මුහුණ දෙන නවයොවුනන් පිළිබඳව නවයොවුන් නවකතාවන්ට විෂය විය. එවැනි මුලදී වැඩිහිටි යැයි හඳුන්වනු ලැබූ තේමාවන් පසුකාලීනව ජනාදරයට පත් විණි. දික්කසාද, අපරාධ, ප්‍රචණ්ඩත්වය, ලිංගිකත්වය, ව්‍යභිචාරය, මෞඛ ලිංගික සේවනය, ස්ත්‍රී මෙන්ම පුරුෂ දූෂණයන්, කල්ලි, මත්ද්‍රව්‍ය ආදී සකල තේමාවන් මේ වන විට නවයොවුන් සාහිත්‍යයේ නියෝජනය වේ. මෙවන් නවකතාවන් එවන් විනාශකාරී මෙන්ම සදාචාරාත්මක නොවන ක්‍රියාවන් දිරිමත් කරන බව ඇතැම් විචාරකයන් දක්වති. එහෙත් දුෂ්කර අවස්ථාවන්ට හා සමාජ ආර්ථික ගැටළු ආදියට ජීවිතයේදී මුහුණ දෙන නවයොවුනන්ට සැබෑ ජීවිතයේ අභියෝගයන්ට මුහුණු දීමට මෙම කෘතීන් තුළින් ලැබෙන පන්නරය ඉවහල් වෙතැයි අනෙකුන් තර්ක කරති.

සියළු ෂානරයන්, ශෛලීන් අභිබවා නවයොවුන් සාහිත්‍යයේ වන මූලික ගුණාංග සේ දැක්විය හැකි ලක්ෂණයන් තිබේ. බහුවිධ තේමාමය කතාව, කම්පනයට එරෙහිව ආතතිය, මතක සිටිනා සුළු චරිත, නිරවද්‍ය දත්ත සහ විස්තර, මතකයේ සිටිනා සුළු කථකයාගේ හඬ, අව්‍යාජ දෙබස්, ප්‍රබල මෙන්ම නිරාකූල ලේඛන ශෛලිය, උපහාස රසය, පෘථුල ආමන්ත්‍රණය, චමත්කාරජනක ඇරඹුම මෙන්ම මතකයේ රැඳෙනා සුළු අවසානය යනාදිය ඒවා වෙයි. නවයොවුන් පාඨකයන්ට අනන්‍ය විය හැක. ඔවුන්ව අවතක්සේරු නොකරන, මදිපුංචිකම් නොකරන චරිත හා විෂය කාරණාවන්, යොවුන් පාඨකයන්ට වටහා ගත හැකි බස, වස්තු විෂය සියල්ලටම වඩා ඉස්මතු කිරීම, නවයොවුන් පාඨකයන් උදෙසා ලිවීම යනාදිය එහි අනෙකුත් උප ලක්ෂණ වේ. සමස්තයක් ලෙස නවයොවුන් සාහිත්‍යය මෙම ෂානරයේ පාඨකයන්ට පමණක් නොව සියළු පරපුරු මුහුණ පෑ හැකි විශ්වසනීය මෙන්ම තදානුභූත විය හැකි චරිතයන්ද නවයොවුන් දිවියේ සැබෑ තත්වයන්ද අඩංගු කොට ගත යුතුය.

නවයොවුන් ප්‍රබන්ධය  graphic novels, light novels, manga, fantasy, mystery fiction, romance novels     ආදී ප්‍රවනතාවන්ගෙන් හෙබිය. එසේම   cyberpunk, splatterpunk, techno-thrillers     යනාදී උප ප්‍රවනතාවන්ද මෙහි දකිත හැකිය.  නව වැඩිහිටි සාහිත්‍යය හෙවත්  New-adult fiction     නුවෙන් නැතහොත් පශ්චාත් නවයොවුන් සාහිත්‍යය හෝ තරුණ වැඩිහිටි සාහිත්‍යය යනුවෙන් හඳුන්වන ප්‍රවනතාවක්ද වයස 18-30 දක්වා වන පාඨකයන් අරමුණු කොට නම් කොට ඇත. මෙම යෙදුම භාවිතයට ආවේ 2009 වසරේදීය.

කෙසේ වුව මේ වන විට නවයොවුන් කෘතීන් අතර වඩාත් ජනප්‍රියතම කෘතිය ලෙස පවතින්නේ හැරී පොටර්ය. නවයොවුන් සාහිත්‍යය උදෙසාම වෙන්වූ සම්මාන උළෙලවල් අතර  The Michael L. Printz Award, The William C. Morris YA Debut Award, The Margaret A. Edwards Award, The Alex Awards, Odyssey Award, YALSA Award for Excellence in Nonfiction for Young Adults     යනාදිය ප්‍රමුඛය.

කේ. කේ. සමන් කුමාර

No comments: