Skip to main content

මම පාඨකයන් මත පවතින ලේඛකයෙක් නෙමෙයි




දිවයින-
ඔබ සම්ප‍්‍රදාය විරෝධියෙක්. නමුත් සම්ප‍්‍රදාය යනු පැවතිය යුතු දෙයක්. එය සහමුලින්ම ප‍්‍රතික්ෂේප කිරීම වරදක් ලෙස අප චෝදනා කළහොත්...?

සමන්- සම්ප‍්‍රදායයන් ගොඩ නැගෙන්නේ හෝ බි වැටෙන්නේ ජීවිතවල ගැඹුරු පත්ලෙන්. සමාජ, ආර්ථික හා සංස්කෘතික පදනම්වල මුල්වලින්. සම්ප‍්‍රදායයන් ඒ විදිහටම පවතිනවාද, බි වැටෙනවාද වෙනස්කම්වලට ලක් වනවාද, වෙනස් වෙනවා නම්- බි වැටෙනවානම් මොනතරම් ප‍්‍රමාණයකටද කියන එක තීරණය වන්නේ ඒ එක්ක. මගේ අනන්‍යතාව හා ජීවිතය තුළින් වගේම මා වටා වූ සමාජ සංස්කෘතික ආර්ථික දේශපාලන පරිසරයේ පරස්පරතා ගැටුම් එක්ක තමයි මම හිතන විදිහ, මම ලියන විදිහ වගේම මම ජීවත් වන විදිහත් තීරණය වන්නේ. අතීත සමාජයක ගොඩ නැගිච්ච සම්ප‍්‍රදායන් තවදුරටත් ඒ විදිහට තියෙන්න බෑ. ඒවා රැක ගන්න විවිධ හේතු උඩ වලි කන පිරිසක් මම සම්ප‍්‍රදාය විරෝධියෙක් විදිහට දකිනවා ඇති. ඒත් මේ සම්ප‍්‍රදාය කියා පිළිගන්න එක කිසිසේත්ම අපේ අතීතයේ තිබුන සම්ප‍්‍රදාය නෙමෙයි. එතෙන්දි මේ අතීසාරෙට අමුඩ ගහන්න හදන හැමෝටම වඩා මම අපේ අතීතයේ තිබුන සම්ප‍්‍රදායන් ඇතුළෙ අතිශය සම්ප‍්‍රදායික මිනිහෙක්. මම කියන්නෙ වික්ටෝරියානු යටත් විජිතවාදයට කලින් වගේම අශෝක අධිරාජ්‍යයේ ඉන්දියානු උත්තරාරෝපනයට කලින්. එදා පටන් අපේ සම්ප‍්‍රදාය යටපත් කරනු ලැබුවා. අපේ සම්ප‍්‍රදාය නියෝජනය කළ හැමෝම සම්ප‍්‍රදාය විරෝධීන් විදිහට සැලකුවා.
අනික කවදාවත් කොහේවත් එක සම්ප‍්‍රදායයක් තිබිලා නෑ. අපේ අතීතය ගත්තොත් හරිම විචිත‍්‍රවත් සම්ප‍්‍රදායයන් සුවහසක් තියනවා. ඒත් රාජ්‍යය හරි, මතවාදී බලය තියන අය හරි ඔවුන්ගෙ කතිකාවලින් ඔවුන්ගෙ සම්ප‍්‍රදාය භෞතීස්ම කරනවා. සමහරවිට ඒක ඔවුන් පිළිගන්න සම්ප‍්‍රදායයත් නෙමෙයි. ඒක වෙස් මූණක් විතරයි. ඒක බලය තියා ගන්න අවශ්‍ය එකක් විතරයි. ඉතින් ඒ වෙස් මූණට යටින් සැබෑ මූණු සුවහසක් හැමදාමත් තියනවා. ඒත් කවුරුවත් ඒක පෙන්නන්නෙ නෑ. පෙන්නන්නෙ වෙස්මූණ. ඒක රාජ්‍යය බලයේ ලැයිසන් කඩදාසිය. සියළු ආගම්, සියලූ බල ව්‍යුහයන් හැසිරෙන්නෙ එහෙමයි. ජීවිතෙත් එක්ක බැඳිච්ච ඇත්ත සම්ප‍්‍රදායන් තියෙන්නෙ  තිරෙන් නැත්නම් වෙස්මූණෙන් පිටි පස්සෙ. ඉතින් මම ඒ ලැයිසන් කඩදාසිය නැත්නම් වෙස්මුහුණ නම් ප‍්‍රතික්ෂේප කරනවා.  සාහිත්‍ය සම්ප‍්‍රදාය සම්බන්ධයෙනුත් එහෙමයි.

දිවයින- අද තරුණ ලේඛකයන් වස්තු විෂයට වඩා ආකෘතියට නැඹුරු වෙලා. ආකෘතිය නැත්නම් කියන විලාසයටයි වැඩි තැනක් දෙන්නෙ. එවිට බිහිවන්නේ සාහිත්‍ය කෘති නොව ආකෘතික හරඹ පමණයි. ඔබත් එවැන්නෙකැයි චෝදනා තියනවා?
සමන්- අවුරුදු තිහකට කලින් මගෙ පළමු පුවත්පත් සාකච්ඡාව කළෙත් ඔබ. ඒ අවස්ථාවෙත් ඔබ මේ වගේම ප‍්‍රශ්නයක් ඇහුවා වගේ. ඒත් එදා මොනවා කිව්වද මම දන්නෙ නෑ. මොකද මම එතකොට ඔය ආකෘති ගැන වැඩිය දැනන් හිටියෙ නෑ. යමෙක් වෙනස් ආකෘතියක් බලෙන් හොයන් යන්නෙ නෑ. තමන්ට ප‍්‍රකාශ කරන්න තියන දේ තියන විදිහට කියන්න බැහැ කියලා තේරුණාම ඒක වෙන විදිහකට කියනවා. ගොලූවෙක් අත පයින්, ඩින් කියනවා වගේ. විදේශිකයෙක් එක්ක තනිවුණොත් ඒ භාෂාව දන්නෙ නැත්නම් ඒ මනුස්සයත් එක්ක ගනු දෙනු කරන්න  ඕනෙ නං අපි විදිහක් හොයා ගන්නවා. ඊළට හැමෝම දන්න භාෂාවෙන් කතා කරන අපිට අනෙකා කියන දේ තේරෙන්නෙ නෑ. නැත්තං කියලා තියෙන්නෙ, කියවිලා තියෙන්නෙ ඒ දේ නෙමේ. මේ පරාරෝපනය නිසා තමා මේ සමාජෙ මෙහෙම ජංජාලයක් වෙලා තියෙන්නෙ. සමාජෙටම තේරෙන භාසාවෙන් කතා කරන මිනිස්සු කරන්නෙ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් දේවල්. ඉතින් භාෂාව ගැන විශ්වාසයක් තියන්න බෑ. ආකෘති ගැනත් එහෙමයි. සාහිත්‍යය කියන්නෙ ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාව හෝ සිවිල් විධි විධාන සංග‍්‍රහය නෙමෙයි. පොදු දෙයට වඩා ආත්මීය දේවල් සාහිත්‍යකරුවා තුළ තියනවා. ඒවා හැමෝගෙම ජීවිතවල තිබුනත් දකින්නෙ නෑ, දෘෂ්ටියක් නෑ. නැත්නම් ඒ දේවල් තමාගෙන් පිටත ඉන් විතරයි දක්න්න පුලූවන්. ඉතින් මේ දකින්නෙ යම් දෘෂ්ටියකින්. වෙනත් මානයකින්. ඒ දෘෂ්ටිය පිටින් එන්නත් පුලූවන්. තමා තුළම නිෂ්පාදනය වන්නත් පුලූවන්. එක විට දෙවිදිහටයම වෙන්නත් පුලූවන්.
යථාර්ථවාදය කියන්නෙත් මම කියපු භාෂාව වගේම කියන දේ කියවෙන්නෙ නැති ආකෘතියක්. එතනිනුයි මේ වෙනස් විලාසයක් පැන නගින්නෙ. වචන හෝ යථාර්ථවාදය ගැන විශ්වාසය තියන කෙනාට ඒ බාසාව තේරෙන්නෙ නෑ. ගොලූවෙක්ගෙ අංග චලනය තේරෙන්නෙ නෑ වගේ. ආකෘති හෝ රීති කියන්නෙ ගොලූවෙක්ගෙ අංග චලනය වගේ දෙයක්. ගොලූවා යමක් කියනවා. ඒක තේරෙන්නෙ නැත්තෙ භාෂාව හා වචන විශ්වාස කරන නිසා. ආකෘතියක් කියන්නෙ විශ්ව භාෂාවක්. නමුත්  ගොලූවෙක්ගෙ අංග චලන විතරක් අනුකරණය කරලා යමක් ප‍්‍රකාශ වෙන්නෙ නැති බව ඇත්ත. ඒ අංග චලන තමන්ගෙ වෙන්න  ඕනෙ. ආකෘති ගැන හදාරනවා කියන්නෙ ගොලූ අයට බීරි අයට සම්මත භාෂාව ඉගෙන ගැනීමක් වගේ. බීරන්ගෙන් පිරුණු සමාජයක ඒ ගොලූ ආකෘති මිසක් බාසාව වැදගත් නෑ. ඒත් ආකෘතිය තුළ යමක්  නැත්නම් ප‍්‍රශ්නයක් තමයි. සමහර භාජන තියනවා ඒවා තියෙන්නෙ මුකුත් දාන්න නෙමේ. සමහර කලාකෘතීනුත් ඒ වගේ. බෞද්ධ භාවනා ක‍්‍රමවල මේ වගේ දේවල් තියනවා. ඒවයින් පෙන්නන්නෙ ශූන්‍යය. ඇටසැකිල්ලක් නැත්නම් මළමිනියක්, අසූචි දිහා බලාන භාවනා කරනවා වගේ. නූතනවාදී ප‍්‍රතිකලාව එහෙමයි. ඒත් එහෙම මුකුත්ම නැතිව සමහරු භාජන හදනවා සැරසිලි විදිහට. ඒවා හො`දයි නෙත් පිනවන්න. ඉතින් ලෝකෙ හැමතැනම හැම කාලෙකම ඔහොම දේවල් තිබිලා තියනවා. ඉස්සරහටත් තියේවි. ලස්සනට සාලෙ තියන පොටරි එකකට කවුරු හරි වතුර ගේන්නෙ නෑ. එහෙම කරනවා නම් ඒ මෝඩයෙක්. මොකද වතුර ලීක් වෙනවා.  සමහර වෙලාවට භාජනේ ඇතුළෙ තියන දේ කෙනෙක්ට නොපෙනෙන්න පුලූවන්. මේ මානය ඇතුලෙ නොපෙනෙන දෙයක් තියෙන්න පුලූවන්. මං හදාපු බඳුන් ඇතුළෙ මොනවා තියනවද කියලා යමෙක්ට පේන්නෙ ඔහුට ඒ දේ  ඕනෙ නම් විතරයි. මොකද අපි හොයන දේ තමා අපිට හම්බ වෙන්නෙ. ඒ වගේම අපි හොයන දේ තමා අපිට පේන්නෙත්. ඉතින් වැඩි දෙනෙක් හොයන දේ මගෙ නිර්මාණවල නැති වෙන්න පුලූවන්.
ප‍්‍රශ්නය තියෙන්නෙ කොසොල් රජතුමාගෙ සිහිනවලට ආකෘතික හරඹ කියා කියන්නෙ නැති එකයි. සිහින පලාපල තුළින් මනෝවිශ්ලේෂණාත්මක කාර්්‍යයක් සිදු වෙච්ච අතීතයක් අපට තිබුනා. පාරමනෝවිද්‍යාවක් අපට තිබුනා. සිහිනය දෙහි ගහකට කිව්වෙ මනෝ විශ්ලේෂණාත්මකව අබාධිත සංඝටනයේ කාර්යයක් විදිහට. අනෙක් අතින් මනෝ විද්‍යාත්මක ප‍්‍රතිකාරවේදයක් විදිහට. ඒ එක්කම චිකිත්සකයා හා රෝගියා අතර තිබෙන රහස්‍යභාවය , ආචාරධාර්මික බව එතන තිබුනා. ඉතින් එහෙම සිහින එක්ක හිටපු ජාතියක් අධිසත්තාවාදය හෝ මායායථාර්ථවාදය වටහා ගන්න සමත් නෑ. මේ වන විට බුදුදහමට වෙලා තියෙන්නෙත් මේ ටිකමයි.
දිවයින- ඔබේ සර්පයකු හා සටන්වැද අවුරුදු තිහකට පමණ කලින් කෙටිකතා කලාවේ නව මගක් ගත් කෘතියක්. ඒ ගමන් මග අද වන විට යම් තැනකට සේන්දු වී තිබෙනවාද?
සමන්- ඇත්තෙන්ම ඒක මට තීරණය කරන්න අමාරුයි. අනික විචාරකයෙක්ට වුනත් එවන් නිර්ණයකට එන්න මම ඉන් පස්සෙ කෙටිකතා එකතූන් දෙකක් පමණයි පළ කරලා තියෙන්නෙ. ඒ ඔස්සෙ යමෙක්ට නිර්ණයක් ගන්න පුලූවන් අදට නෙමේ එදාට. අවුරුදු ගානක් තිස්සෙ නවකතාවකට පෙරුම් පුරනවා මිසක් මම පහුගිය කාලෙ කෙටිකතා ලියලා නෑ. කොටින්ම 1993න් පස්සෙ මම මගෙ ආත්මයෙන්ම පැන නගින බරපතල දෙයක් ලියලා නෑ. මම මගෙ ඇතුළතින් නම් යම් තැනකට සේන්දු වෙලා කියලා මට කිව්වැහැකි. ඒත් ඒක මගේ ඊළ දෙයක් එක්ක තමයි බලාගන්න වෙන්නෙ. නමුත් මේ පොතත් එක්ක තමා මගෙ ඉතිහාසය හැඩ ගැහෙන්නෙ. මගෙ ඉතිහාසයත් එක්ක අපේ උපසංස්කෘතික ප‍්‍රවනතා බැඳිලා තියනවා. ඉන්පසුව තරුණයින්ගෙන් පැන නැගුණු ප‍්‍රවනතාවන්ට ඒවා පැහැදිළිවම බලපාලා තියනවා. ඒත් මට ඒ ගැන තක්සේරුවක් කරන්න අසීරු විතරක් නෙමෙයි ඒක ආචාර ධාර්මිකව සුදුසු දෙයක් නෙමෙයි.

දිවයින- ඔබ බොහෝ විට විදේශීය සාහිත්‍ය විචාර චින්තාවන් දැඩිව අදහන්නේ ඇයි? මේ රටේ විචාර විධි යල් පැන ගිහින්ද?
සමන්- මේ රටේ විචාර විධි කියන්නේ මොනවාද? ඩබ්ලිව්. ඒ සිල්වගෙ අද්භූතවාදය වගේම මාර්ටින් වික‍්‍රමසිංහගෙ යථාර්ථවාදයත් යුරෝපීය විචාර චින්තාවන් පමණයි. සමාජ සත්තා යථාර්ථවාදය වගේ තව නොයෙක් චින්තාවන් රුසියාවෙන් හෝ චීනයෙන් දේශපාලන අවශ්‍යතා මත ආනයනය කරපුවා. මේ හැර අපිට තිබුන රසවාදය, ධ්වනිවාදය හෝ අලංකාරවාදය භාරතීයයි. ඒ විතරක් නෙමේ ඒවයෙ ග‍්‍රීක මුල් පවා තිබෙනවා. මම යථාර්ථවාදයට වඩා නම් රසවාදයයි, ධ්වනිවාදයයි පිළිගන්නවා. යථාර්ථවාදය කියන්නෙ බටහිර චින්තනයේ පටු ධනේශ්වර මධ්‍යම පාංතික සාහිත්‍ය මාදිලියක්. ඊට එරෙහිව ආපු නූතනවාදී මෙන්ම පසු නූතනවාදී චින්තාවන් විදේශීය විචාර චින්තාවන් ලෙස හඳුන්වන ගමන් යතාර්ථවාදය වැනි චින්තාවන් දේශීය යැයි සිතීම විහිලූවක්. ඊළට දේශීයත්වය කියලා දෙයක් කරේ තබාගෙන කලාව සාහිත්‍යය තබා මිනිහෙක්ට ජීවත් වෙන්නවත් බෑ. අපේ අනුරාධපුර සංස්කෘතිය දේශීය නම් ඒක ලෝක සංස්කෘතියේ බහුත්වවාදී සුසැදියක්. නානාදේශී සමාගම තමා එහි ආර්ථික සාමාජික මෙන්ම සංස්කෘතික පසුතලය නිර්මාණය කළේ. අපි විදේශ වෙළඳාම ගැන කයි ගහන ගමන් දේශීයත්වය ගැන රෙද්ද පල්ලෙන් බේරෙන කතාන්දර කියනවා. සාහිත්‍ය විචාර චින්තාවන්ගෙන් නම් ඉන්දියානු හෝ යුරෝපියානු නොවන කිසිම විචාර චින්තාවක් අපට නැහැ.

දිවයින- ඔබ ඇතුළු කීප දෙනෙක් දේශීය සාහිත්‍ය කලාව හෑල්ලූවට ලක් කරන බව පේනවා. නමුත් ඔබ පැවතිය යුත්තේ දේශීය පාඨකයන් මත නොවේද?
සමන්- පළවෙනි එක මම පාඨකයන් මත රඳා පවතින සාහිත්‍යකරුවෙක් නෙමෙයි. මම ලියන්නෙ මට  ඕන දේ. මම විවේචනවලට කන් දෙනවා. මම වෙනස් වුනොත් වෙන්නෙ මගෙ ජිවිතේ පත්ලෙන්මයි. ඒක මේ වන විට සිද්ධ වෙලා තිබුනත් මට ලියන්න වටපිටාවක් නෑ. ලෝකයම පීරලා විවිධ දර්ශණයන් , කලාසම්ප‍්‍රදායන් ඔස්සේ ගිය මම අද ඒ උරුමයත් එක්ක අතීතෙට ගිහින්. ජනඋරුමය හොයාගෙන ගිහින්. සයිමන්ට වුණෙත් මේ වගේ දෙයක් වෙන්නැති. කවුරුහරි කිව්වොත් මම සද්ධර්ම රත්නාවලිය හරි, ජාතක කතා හරි, යසෝදරාවත හරි, වෙස්සන්තරය හරි, එකම එක ජන කවියක් හරි හෑල්ලූවට ලක් කළා කියලා මම පිළිගන්නවා මම දේශීය සාහිත්‍ය කලාව හෑල්ලූවට ලක් කළා කියලා. මම එහෙම කරලා නෑ. ඒත් බටහිර ස්වභාවිකවාදී හා ඊනියා යථාර්ථවාදී සාහිත්‍ය කෘතීන් නම් ගම් මාරු කරලා ලියපු අපේ මහා සාහිත්‍ය කෘතීන් දේශීය සාහිත්‍යය කියලාවත්, ඒ මුල්වත් දන්නෙ නැතුව ඒවා නැවත නැවත ලිය ලිය ඉන්න අයගෙ කෘතීන්වත් දේශීය සාහිත්‍ය කලාව කියලා මම පිළිගන්නෙ නෑ. මම ඇර එහෙම හෑල්ලූවට ලක්කරනවයි කියලා ඔබ කියපු අනික් කීප දෙනා කවුද කියලාවත්, ඔවුන් එහෙම කරනවද කියලාවත් මම දන්නෙ නෑ. 



සංවාදය- චන්ද්‍රසිරි දොඩන්ගොඩ

දිවයින02-03-14

Comments

Popular posts from this blog

අවමංගල ස්තූතිය!

‘වීරයා ඔබයි’ නවයොවුන් පොත් පෙළ සාහිත්‍ය මාසයට

මෙම සාහිත්‍ය මාසයේදී ලෝක ප්‍රකට නවයොවුන් පොත් මාලාවක් වන  වීරයා ඔබයි පොත් පෙළ අගසර ප්‍රකාශකයන් විසින් නවයොවුන් පාඨකයා වෙත තිළිණ කරනු ලබයි. Choose Your Own Adventure නමැති මෙම පොත් පෙළ ලෝක යොවුන් සාහිත්‍යය නවයුගයක් කරා කැඳවා ගෙන යන ලද පොත් මාලාවකි. 

අන්තර් ක්‍රියාකාරී, ක්‍රීඩාමය නව යොවුන් සාහිත්‍යයේ පුරෝගාමී පොත් මාලාව වූයේ

බෞද්ධ ප‍්‍රඥා මාර්ගික සාහිත්‍යය

බෞද්ධ ප‍්‍රඥාමාර්ගික සාහිත්‍යය යනුවෙන් මෙහිදී අදහස් කෙරෙනුයේ සයිමන් නවගත්තේගම සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා ,දඩයක්කාරයාගේ කතාව , සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා , ක්ෂීර සාගරය කැළඹිණි , සාපේක්ෂනී, අර්ජුන කුමාරයාගේ කතාන්දරය , සංසාරාරණ්‍යය අසබඩ ,ස්වර්ණ වන්නියේ වල්ලි අම්මලා යනාදී කෘතීන් සහ ටෙනිසන් පෙරේරා සක්වල දඩයම ඔස්සේත් ගවේෂණය කළ සාහිත්‍ය ආඛ්‍යාන මාර්ගයයි. එය ලාංකීය සාහිත්‍යයටම අනන්‍ය ප‍්‍රවනතාවක් ලෙස දකිත හැකිය . මෙය පශ්චාත් නූතන ප‍්‍රවනතාවක් වශයෙන් ස්ථාන ගත කළ හැකිවේ . පළමුව එම ලේඛකයන් දෙදෙනාම තම නිර්මාණකරණයේ නූතනවාදී අවධිය අතික‍්‍රමණය කරමින් පාදා ගත් මාර්ගයක් මේ හරහා දකිත හැකිය. දීප්ති කුමාර ගුණරත්න සමාජ විද්‍යාඥයන්ගේ සංගමය මගින් පැවැත්වූ කාල් මාක්ස් අනුස්මරණ දේශන මාලාවක පළමු දේශනය තුළ ලංකාව තුළ නූතනවාදය ඉක්මවා ගිය අප රටට අනන්‍ය වූ පශ්චාත් නූතනත්වයක් දක්වන අවස්ථාවක් ලෙස සයිමන් නවගත්තේගමගේ සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා හඳුන්වනු ලැබීය . මෙම ලේඛකයන් දෙදෙනගේම යථෝක්ථ සාහිත්‍ය කෘති මහායාන හා තන්ත‍්‍රයාන බෞද්ධ දර්ශනය ඇසුරු කරනු ලබයි . එහිදී විජයාවගමනය , කුවේණි , රාවණ වැනි පුරාකෘතික ප‍්‍රවාදයන් සමග ඒ ගනුදෙන…