මම බෝම්බයක් ළඟදී ම පුපුරන්න පුළුවන්
- කේ.කේ.සමන් කුමාර
- කේ.කේ.සමන් කුමාර
ඕ ‘සර්පයා’ දුටුවේ නොවේ. තෙමේම සර්පයා වූ හෙයින් අන්‍යයෝ සර්පයා දුටහ. කියැවූහ. උකටලීව කල්පනාවට වන්හ. තිස් වසකින් ස්වකීය හැව හැරපියා සාහිත්‍ය සමාජය අභිමුව පෙනී සිටින්නට වූයෙන් කේ.කේ.සමන් කුමාර නම් ඔහු ‘සර්පයකු හා සටන් වැද’,’එසඳ මම බලා සිටියෙමි’ සහ ‘සඳැල්ලෙන් වැටී මිය ගිය ඔවුහු’ නම් වාසගම් සහිතව කෙටිකතා ත්‍රිත්වයක් ලියූ හෙයින් ද,’පිනි අහුරක් ඉහිරුණා’ සහ ‘නේරංජනේ ඉස්නානේ’ නමින් ආන්දෝලනාත්මක නවකතා ද්විත්වයක් ද ලියූයෙන් ද මහා කැලඹීමක් ඇති විය. ‘නඟා මැරූ අල’ දීර්ඝ කාව්‍ය සංග්‍රහයක් වුයෙන් ද අරවින්ද හෙට්ටිආරච්චි සමඟ ‘ලොලීටා’ පරිවර්තනය කෙරූවෙන් ද ලාංකීය සාහිත්‍ය සමාජය ඔහු යළි කියැවිය යුතුමය. තිස් වසකින් ඉක්බිතිව ඔහුගේ පළමු කෙටිකතා සංග්‍රහය වූ ‘සර්පයකු හා සටන් වැද’කියැවීම හා තෙවැනි මුද්‍රණය එළි දැකීම මාර්තු මස 06දා සවස 3.00ට මහජන පුස්තකාලයේදී සිදුවේ. ඒ නිමිත්තෙන් ද මේ හෘද සංවාදය දිග හැරෙයි.
* ‘සර්පයෙකු හා සටන් වැද’ තිස් අවුරුද්දකට පසුව නැවත කියවන්නේ ඇයි?
ඒ කියවීමට මුල් වෙන්නේ මම නෙවෙයි. මම කරපු නිර්මාණාත්මක ලේඛන පාඨමාලාවට සම්බන්ධ වූ කිහිප දෙනෙක් ‘සර්පයකු හා සටන් වැද’ නැවත මුද්‍රණය කරන්න උත්සාහ කළා. නමුත් ඔවුන්ගේ විසිරීමත් එක්ක ඒක යටපත් වුණා. ඒ පාඨමාලාවට සම්බන්ධ වෙච්ච කෙනෙක් තමයි මගේ මිතුරකු වන මෙහි ප්‍රකාශකයා. සයුර යනුවෙන් ඔහු ප්‍රකාශන වැඩපිළිවෙළක් ආරම්භ කොට තිබෙනවා.
ඉතින් මේක අලුත් කෘතියක් නොවන නිසා මෝස්තරේට අනුව දොරට වැඩීමක් තියන්න බෑ. ඒ නිසා නැවත කියවීමක් ඔවුන් සංවිධානය කළා. ඒ නැවත කියවීම දකිනකම් මටත් කිසිවක් කියන්න බෑ. අඩුම තරමින් මේක නැවත කියවන්න දෙයක් තියෙනවද කියලාවත් මට තීරණය කරන්න බෑ. අනෙක් අයගේ කතා බතා අනුව තමයි මට හිතෙන්නේ මේකෙ මොකක් හරිම ඇතියි කියලා.
* අවුරුදු තිහකට පසුව ඔබ විසින්ම මේ කෙටිකතා සංග්‍රහය නැවත ලිව්වොත් කළොත් එහි ප්‍රතිඵලය කුමක් වේවිද?
මට නම් ලියපු එකක් ආයෙත් ලියන්න බෑ. මට කපලා හදන්නවත් බෑ. මම ස්වයංසිද්ධ ආවේශයකින් ලියන්නෙක්. කුලීකුරක්කන් හැටියට ජීවත් වෙන්න ලියන දේවල් මිසක් මට නම් ආයෙත් ලියන්නවත්,කපලා කොටලා හදන්නවත් බෑ. ඒක වැරැදියි කියලා නෙමේ මං කියන්නේ. මට බෑ. එච්චරයි. පුළුවන් වුණා කියමු; එකම ගඟට දෙවරක් බහින්න බැහැ,ගඟ ඒ ගඟම වෙන්නෙ නැහැයි කියන එක තමයි මට හිතෙන්නේ. අද මට දුවෙක් ඉන්න නිසා කොහොමටවත් සර්පයා කතාව නම් ලියවෙන්නෙ නැති වෙයි. ලිව්වත් ඔය තරම් මානුෂිය විදිහට ඒ තාත්තා හෝ ඒ සම්බන්ධය ගැන ලියන්න,දකින්න බැරි වේවි.
* කෙටි කතාව කලාවක් විදිහට අපේ රටේ වැඩෙන ආකාරය ගැන ඔබ තෘප්තිමත්ද?
කෙටිකතාව කියලා එකක් එක ගෙඩියක් හැටියට මම දකින්නෙ නෑ. කෙටිකතා කියලා කිව්වොත් නිවැරැදියි කියලයි මම හිතන්නේ. මම දකින ආකාරයට නම් අජිත් තිලකසේන ඒක කූටප්‍රාප්තියට ගෙනිච්චා. සයිමන් තවත් ආකාරයකින් ප්‍රේත වස්තුව වැනි කෙටිකතා තුළින් මස්තකප්‍රාප්ත කළා. කම්මැල්ලවීර තවත් අතකින්. නිශ්ශංක විජේමාන්න තවත් අතකින් එය ඉදිරියට ගෙනිච්චා. පියල් කාරියවසම් වැනි නව පරපුර තවත් අතකින් ඒකට ප්‍රවේශ වෙනවා. ඒක විවිධයි. ඒ විවිධත්වයත් එක්කයි අපිට කෙටිකතා ගැන කියන්න වෙන්නේ.
මම පුද්ගලිකව අජිත්ගෙ කෙටිකතා තමයි කෙටිකතා කියන තැන ඉන්නවා. ඒත් ඒක පරම,එකම එක කියලා මට කාටවත් නිර්දේශ කරන්න බෑ. ඒක අධිකාරවාදීයි. ඒක මගේ විදිහට ජීවත් වෙන්න කියනවා වගේ. ඒත් අජිත් ‘සුබ රාත්‍රියක් අහවරයි'වලින් පස්සේ වෙනත් ගමනක් ගියා. මම නම් ඒකට කැමති නෑ. මට ඒවා විශ්වයක් පරමාණුවක් තුළ අධිතෘප්ත වෙච්ච කලින් ඒවා වගේ නෑ.
එක් අතකින් ඉදිරියට තබන පියවර තවත් අතකින් අනිවාර්යෙන්ම ආපස්සට තැබෙන්නකි කියන එංගල්ස්ගේ ප්‍රකාශය තමයි මට අජිත්ගෙ පසුකාලීන නිර්මාණ ගැන හිතෙන්නේ. මට මෑත කාලීන සියලු තරුණයන්ගේ නිර්මාණ කියවන්න ලැබිලා නෑ. ඒ නිසා ප්‍රකාශයක් කරන එක අසාධාරණ වෙන්න පුළුවන්.නමුත් ගුණරත්න වික්‍රමගේගෙ,ජයන්ත කළුපහනගෙ,ගාමිණී ඒකනායකගේ කෙටිකතා ඇතුළෙ යම් මංහසරක් සලකුණු කරනවා.
දියුණුයි කියන රටක වුණත් ඉතින් අවුරුද්දෙන් අවුරුද්දට විශිෂ්ට ලේඛකයෝ බිහි වෙන්නෙ නෑනෙ. අනික දිනුම් කණු ලකුණු කරලා මෙතෙන්ට දුවපන් කියලා සාහිත්‍යය කරන්න බෑ. ඉතින් මේ වැඩෙන ආකාරය ගැන තෘප්තිමත් වෙන්න වෙනවා. මෙච්චර පුංචි රටට මේ මදෑ කියලා තමයි කියන්න තියෙන්නේ.
* සම්මාන දඩයමට ගොදුරු වෙච්ච ලංකාවෙ සාහිත්‍ය රචකයන් වගේම පොත් වෙළෙන්දන් අතර දෝලනය වෙන අනාගත සාහිත්‍යයට අත් වෙන්න නියමිත ඉරණම ගැන අනාවැකියක් කියන්න ඔබ කැමතිද?
අනාවැකි කියන්න නම් දෙයක් නෑ. දැනටම ඒක ඇස් ඉස්සරහාපිට පේන්න තියෙනවා.විශිෂ්ටතම නවකතාවක් වෙන්න විභවයක් තිබිච්ච ‘මරියා සිලොනිකා වස්තුව’ අබ්බගාත කෘතියක් වෙන්න සමාජ ව්‍යාපාරවල නායකයන් ගැන අත් අරින්න බැරි බෝධිසත්වවාදී මරු විකල් දෙබිඩි දෘෂ්ටියට අමතරව බලපාලා තියෙන්නේ ඔබ කියන කාරණය. අගනා මුතු ඇටයක් ඇතුළේ වැඩෙමින් තිබ්බ බෙල්ලෙක්ව කට්ට කඩලා නොවැඩිච්ච මුතු බෙල්ලා අරන්. තව අවුරුදු පහක් ඒක වැඩෙන්න ඇරියා නම් ඒක විශිෂ්ට නිර්මාණයක්.
ඒත් මේ පාර පොතක් නැද්ද,ළඟදි මුකුත් ලිව්වෙ නෑ නේද,එතනින් ඉවරයි නේද වගේ දවස ගානෙ වැසිකිලි යනවා,නැත්නම් කිකිළියෝ බිත්තර දානවා වගේ දෙයක් කියලා සාහිත්‍ය කෙරුවාව හිතන් ඉන්න අයගෙ ප්‍රශ්නවලින් හිත රිද්දා ගන්න,කාටවත් කාඩ් එක මාක් කරන්න,තමන්ගෙ වටිනකම,අනන්‍යතාව,කොටින්ම තමන් මේ විදිහට ගියොත් අමතක වේවි කියලා බය හිතෙන කාටවත් මේක ඇතුළෙ විශිෂ්ට නිර්මාණ කරන්න බෑ.
එදා පුළුවන්කම තිබ්බා ඩොස්ටොව්ස්කි වගේ ජීවත් වෙන්න ලෑස්ති නම්,නැත්නම් සයිමන් වගේ ජීවත් වෙන්න ලෑස්ති නම්. ඒත් නව ලිබරල්වාදයත්,පාරිභෝගිකවාදයත් ඒකට තිත තිබ්බා. සාහිත්‍යය කර්මාන්තයක් වෙනවට මම එක පයින් කැමතියි. ඒත් ඒ වෙන විදිහ හරිම විකෘතියි. දැන් මේක ඇතුළේ ඒ නව ලිබරල්වාදී ලුබ්ධිමය ආර්ථිකයක් එක්ක ගැට ගැහිච්ච සාහිත්‍යය කර්මාන්තය ඇතුළෙන් මුකුත්ම මින් එහාට වෙන්න බෑ. විසිත්ත කාමර සරසන චිත්‍ර වගේ පාඨකයන්ට කියවන්න නවකතා බිහි වේවි.
මම සාහිත්‍යය කියන්නේ විසිත්ත කාමර සාහිත්‍යය නෙවෙයි. මාර්කේස් කාර් එක විකුණලා ලිව්වා. ඒත් නොබෙල් තෑග්ග බලාගෙන ලිව්වෙ නෑ. නමුත් අපේ රටේ අද නවකතාවක් ලියන්න හිතන කොටම,වස්තු බීජයත් එක්කම තවත් දෙයක් පිළිසිඳෙනවා. ඒ තමයි ස්වර්ණ පුස්තක දොළදුක. මේක හරියට හූනියමක් වගෙයි.
* කෙටිකතා පොත් තුනක්,විවාදාපන්න නවකතා දෙකක්,පද්‍ය සංග්‍රහයක්,යොවුන් කතා,ළමා කතා,විචාර,පරිවර්තන බොහොමයක් පසු කළ ඔබ ඊළඟට කුමක් කරයිද? සාහිත්‍ය සමාජයට නිතර බෝම්බ අතෑරපු ඔබ දැන් නිෂ්ක්‍රීයයිද?
මම ගිනි කන්දක් වගෙයි තාමත්. ඒත් මේ කාලෙ නම් නිවිලා. උඩින් පේනවා ඇත්තෙ හිමවලින් වැහිලා. හරියට හේමන්ත නිද්‍රාවක් වගේ. 1993දී නේරංජනේ ලිව්වට පස්සේ මම බෝම්බ හැදුවෙ නෑ. ඉන් පස්සේ තැන තැන බෝම්බ අතේ තියාගෙන චණ්ඩි පාට් දැම්මා මිසක්. ඊට පස්සේ මම කළේ බෝම්බ ප්‍රදර්ශනය කරපු එක විතරයි. තව කල් තියෙනවා.
ඊළඟට මම බෝම්බ අත අරින්නේ නෑ. මමම බෝම්බයක් වෙලා පුපුරන්නයි කල්පනාව. බිග් බැන් එකකට තව ශක්තිය ඕනේ. මට ලියන්න වෙලාවක් නොදෙන මේ කලකණ්ණි ආර්ථිකයට,ජීවන ප්‍රශ්නවලට මම ස්තූතිවන්ත වෙනවා. ඒක එක අතකින් ආශිර්වාදයක්. මොකද අබ්බගාත යමක් මගෙන් එන්න තියෙන ඉඩ වළක්වන්න ඕන නිසා. මීළඟට මමයි පුපුරන්නේ. මම කියන්නේ මම නොවන නිසා ඒක සාහිත්‍යය සමාජයට විතරක් බලපාන එකක් නම් නෑ.
* අපේ කොදෙව්වෙන් එහා කෙටිකතා කලාවේ හැඩතල සහ එහි පැතිරීම මෙන්ම දියුණුව ගැන ඔබ දරන්නේ මොන වගේ අදහසක්ද?
ඇත්තෙන්ම මට ලොකු අදහසක් නෑ. නමුත් පොදුවේ සාහිත්‍යය මායා යථාර්ථවාදී සන්නාමයෙන් හා පශ්චාත් නූතන සන්නාමයෙන් අඩස්සි ගත වුණා. පශ්චාත් නූතනවාදය නවකතාවේ සුජාතබව ප්‍රශ්න කළත් කෙටිකතාව නොතකා හැරුණා. ආයිත් වටයකින් යථාර්ථවාදී සාහිත්‍යයේ උරුමය සර්පිලාකාර විදිහට පැමිණෙමින් තිබෙනවා. ඇලිස් මුන්රෝට නොබෙල් ලැබුණේ එහි දර්ශකයක් විදිහට. එක තැන පල්වීමට එරෙහිව. දියුණුව කියන්නේ රේඛීය එකක් නෙවෙයි.
දියුණුවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම පිරිහීමක් තියෙනවා. අනික දියුණුව කියලා එක දියුණුවක් ඇත්තෙ නෑ. ඒක ඕනම දේකට අදාළයි. කෙටිකතාවටත් එහෙමයි. ඩොස්ටොව්ස්කි අපස්මාරෙන් පස්සෙ ලෝකෙ දැක්කා වගේ ආයෙත් හෙමින්වේ,ඩොස්ටොව්ස්කි,ඩිකන්ස්,චෙකොප් කියවන්න කාලය ඇවිත්. මූලධර්ම කරා ආපහු යන්න කාලය ඇවිල්ලා. ඒත් ඒ ආපස්සට නෙවෙයි,ඉස්සරහට.
සර්පයකු හා සටන් වැදි එම්බා පුරුෂය, තොප කුමන කාලාවකාශයක
සිටියේද? තිස් වසරකට පසුවත් මම් අසන්නේ එයමය.
සංවාදය-
කාංචනා අමිලානි
සේයාරූ - නිලන්ත ගමගේ
No comments:
Post a Comment