Friday, March 7, 2014

අවමංගල ස්තූතිය!





නික්ම යන්නට අවසරයි.
තිස්වසක් මා පොහොනි කළ
නෑසියන් නුඹලාය.
තුති මල් මිටක් ලෙස
ගනු මැනව
මිනීමල් පොකුර මේ
සුසානය පීරා මා නෙලා ගත්
මා මිහිදන් කරන.

මාගේ දැරහැව රැගෙන මේ පාලු කනත්තට ආවාට
රන්කඳ රන්කඳ කවදා දකින්නද
දැන් යමු දැන් යමු පාලු කනත්තට
මළබෙර තාලයට මා සමග
පියවර මැන්නාට
තුතිමල් මිටක් ලෙස
ගනු මැනව
මිනීමල් පොකුර මේ
සුසානය පීරා මා නෙලා ගත්
මා මිහිදන් කරන.

අහස්කුස සිට බලා සිටිමි මම
මාගේ මළකඳ දෙස
ඒ බදා වැලපෙන
එයට ආචාර කරන
පසට මා යට කරන
ඔබ දෙස.
අසා සිටිමි මම
අවමඟුල් දෙසුම්
මා වෙනුවෙන් කරන.

පැමිණියාට ස්තූතියි
මාගේ අවමඟුලට පමණක්ම නොව
තිස්වසකට පෙරාතුව
තිඹිරිගෙහි ලේ හුජ්ජ ගූ මැදින්
මරලතෝනි මැදින්
මා ආ තැන් පටන් කොට මෙලොවට
සුසානය දක්වාම මේ දිවිසැරියේද මේ ලිවිසැරියේද
මා හා පිය නැඟූ සැමට
මා පොහොනි කළ ඔබ සැමට
ජීවිත සටනේ මා තනි නොකොට
මා සමග සිටි සැමට
මාගේ සියලු රූපාන්තරණයන්හිදී
මා සමග සිටි
මා හැර ගිය
පෙම් කළාවූ මෙන්ම වෛර කළ මා හට
ප්‍රේමයෙන් මෙන්ම වෛරයෙන්ද මට ජීවිතය දුන්
ඔබ සැමට
මාගේ මේ අවමඟුලට
දායකවූ වෙහෙසවූ
සහභාගීවූ මෙන්ම
එන්නට බැරිවූ සැමටයි මේ මිනී මල් මිට.
දැරහැව කපන්නට
මාගේ මිනී වලේ දපා
නිර්භීතවූ යකදුරන්ටත්
කොට්ටෝරුවන්ටත්
මෙන්න මේ මිනී මල් මිට.

ඉතින් අවසරයි මට නික්ම යන්නට
දුර ඈත විශ්වයක
තාරකාවක් වටා බමන
පාලු හුදෙකලා පුංචි ග්‍රහලෝකයක
ගැහැණියක කුස පිළිසිඳ
ඇගේ දෙකකුල් අතරින්
ලේ හුජ්ජ ගූ මැදින්
මරලතෝනි මැදින්
එළිය දකින්නට එලොව
නික්ම යන්නට අවසරයි මා හට.

සර්පයා

2014 -03-06



No comments: