Skip to main content

සර්පයකු හා සටන්වැද




1984 දී කේ. කේ සමන් කුමාර විසින් ලියන ලද ‘‘සර්පයෙකු හා සටන්වැද’’කෙටි කතා සංග‍්‍රහය ප‍්‍රථමයෙන් මට කියවන්නට ලැබුණේ 2000 දශකයේ මූලාරම්භයේදීය. ඒ කියවීමත්, රස්තියාදුවත් ජීවන දහම කරගත් යුගයකදීය. ප‍්‍රශ්නෝත්තර කේන්ද්‍රීය වික‍්‍රමසිංහලා, කේ. ජයතිලකලා, අමරසේකරලා ගේ කෙටිකතා වලට වෙනස්ව කෙටිකතාමදැයි එවක නිසි තක්සේරුවක් නොතිබුණු වෙනස් ආරක කෙටි සාහිත්‍යමය ආඛ්‍යාන විශේෂයක් මට හමුවී තිබුණි. අජිත් තිලකසේනගේ සුන්නද්දූලි’, මොහාන් රාජ්ගේ බෝදිලිමා’, දීප්ති කුමාරගේ ඊඞ්න් උයනද ඒ අතර විය. එකී යුගයේ කෙටිකතා කලාවේ නැවුම් අස්වැන්නක් ලෙස ඒ කෘති කිහිපය අතරට පසු කලෙක වඩාත් බලපෑම් සහගත ලෙස සර්පයෙකු හා සටන්වැද කෘතියද  සමීප විය.
2001 වසරේ කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළුවෙද්දී කෘතිය නිසාම අත්දුටු අමිහිරි අත්දැකීමක් අද දවස වන විට මිහිරි මතකයක් ඉතිරිකර තිබේ. අ.පො.ස උ/පෙළට නාට්‍ය හා රංගකලාව විෂයක් ලෙස නොකළද , ඒ පිළිබඳ උනන්දුවක් දක්වන කිහිපදෙනෙකුට ලලිත කලා අධ්‍යයන අංශය මගින් ශාස්ත‍්‍රවේදී උපාධියට පළමු වසරේ තෝරාගත යුතු විෂයන් ත‍්‍රිත්වයෙන් එකක් ලෙස නාට්‍ය හා රංගකලාවහැදෑරීමට අවස්ථාවක් ලබාදී තිබුණි. ඒ සඳහා සිසුන් තෝරාගනු ලැබුවේ සම්මුඛ පරීක්ෂණයකිනි. නියමිත දිනයේ අදාළ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි සිසුන් අතර සිටි මමද නියමිත අංකයට නියමිත ලෙස පෙනී සිටියෙමි. ඒ දිනවල නරඹා තිබුණු නාට්‍යය, කියවා තිබුණු පොත පත අසන ලද බොහොමයක් ප‍්‍රශ්න අතර විය.
‘‘ඔබ මෑත කාලයේ කියවපු පොත් මොනවාද?
මවිසින් කියවන ලද පොත් කිහිපයක නම් කියවාගෙන ගියෙමි. ඒ අතර සර්පයෙකු හා සටන්වැදද විය.
‘‘ඒ වගේ පොත් අපි විසින් හෙලාදැකිය යුතු නැද්ද?
‘‘නෑ. ඒක නිර්මාණයක්. භාෂාව, සංකේත භාවිතය ප‍්‍රශස්තයි’’
‘‘නෑ. අපි අදහස් කරන්නේ තාත්ත කෙනෙක් තමන්ගෙම දුවත් එක්ක පවුල් කන එක අපේ සංස්කෘතියට සදාචාරයට කිසිසේත්ම ගැලපෙන්නේ නැති විත්තිය. ඔය වගේ දේවල් ලියා පළකරන එක රටක අනාගතයට කොයිතරම් භයානකද යන වග?
                                      සම්මුඛ පරීක්ෂණය කෙසේ වතුදු සංවාදය තවත් දිගට ඇදී ගියේය. අවසානයේ ප‍්‍රශ්න අසන්නා හා පිළිතුරු දෙන්නා මාරුවිය. කටට උත්තරයදී කියවාගන්නට සැලැස්සුවද, සම්මුඛ පරීක්ෂණයකදී නොකිව යුතු, නොකළ යුතු, දෑ මෙන්ම සමාවක් නොදිය යුතු බොහෝ දේ මාවිසින් කර තිබිණි. සම්මුඛ පරීක්ෂණයෙන් මා අසමත්වූ අතර අධ්‍යයනයට වෙනත් විෂයක් තෝරා ගැනීමට සිදුවිය. එවක තිදෙනෙකුගෙන් යුතු පරීක්ෂක මඩුල්ලේ දෙදෙනෙකු ස්ත‍්‍රීන්ය. අනෙකා බාගෙට පිරිමිය. අධ්‍යයන අංශය පසු කලෙක දෙකඩවී ස්ත‍්‍රීන් දෙදෙනා එක් පසෙකටත්, පිරිමි බාගය තවත් පසෙකටත් තල්ලුවී හෙතෙම අධ්‍යයන අංශයක ප‍්‍රධානියා බවට පත්විය. ලෝකයේ හොඳම චිත‍්‍රපටය රෂෝමන් ’’ යයි තවමත් විශ්වාස කරන හෙතෙම තවත් දිනෙක තමන් හා සම්මුඛ සාකච්ඡාවක් කොට එය ලිපියක් ලෙස එවක මා සේවය කළ පුවත්පතක පලකර නොදෙන්නේ යයි උරණවී තෙල්බැම්ම පාමුලදී මවෙත කඩාපැන්නේය. තමන්ගේ රූපය තමන්ම දැකීම, තමන් කියන දේ තමන්ගේම දෙකනින් ඇසීම, තමන් ගැන කවුරුන් හෝ ලිවීම එකම ආශාව කරගත් එම ආචාර්යවරයා තමන් කළ බොහෝ දේශන වලදී කණින් කොනින් අහුලාගත් බොහෝ දේ අතර කේ. කේ ගේ ‘‘නූතනවාදය වෙතට සහ ඉන් ඔබ්බට’’කෘතියෙන් කරුණු ගෙඩිපිටින් වමාරනු අසන්නට දකින්නට ලැබිණි. හෙතෙම කිසි දිනෙක ඒ බවක් නොකීවද, උපුටා නොදැක්වුවද අධ්‍යයන අංශයේ ඔහුට හිමි නිල මේසය මත එකී පොත නිතර දෙවේලේ දකින්නට ලැබිණි. දර්ශන ශූරීආචාර්යවරයාට අ.පො.ස උසස් පෙළවත් නිසි ලෙස සම්පූර්ණ නොකළ රස්තියාදුකාරයෙකු වූ කේ. කේ ගෙන් ඉගෙන ගත යුතුව තිබූ දෑ බොහෝය. ශාස්ත‍්‍රීය කුහකත්වයද, සංස්කෘතිද දරිද්‍රතාවයද, අව-වර්ධිත ඇකඩමියාවද, ඒ සියල්ලෙහි බර දරාගත් අසික්කිත ලාංකේය මහ පොළොවද කේ.කේ මෙන්ම ඔහුගේ පරම්පරාවේ අතේ ඇඟිලිගාණට වන් බරක් තිබූ මිනිසුන් විශ්වවිද්‍යාල තුළට වැද්දා ගැනීමට අපොහොසත් විය. බිය විය. ඔවුන්ගේ ලියවිලි ඊනියා ඇකඩමියාවට නයාට අඳු කොළ මෙන් විය.

                                
  කාලය ගෙවී ගියේය. සිය පළමු කෘතියෙන් කේ. කේ සමන් කුමාර, ‘සර්පයාබවට බෞතීස්ම විය. හෙතෙම දිගටම ලිවීය. රස්තියාදු ගැසුවේය. චිත‍්‍රපට බැලූවේය. ගස් යට, පාර අද්දර, බොක්කු කටවල් උඩ, පාලු ගෙවල්වල පඩිපෙළවල් මත සංස්කෘතිය, සාහිත්‍ය, කලාව, සිනමාව ගැන කතා කළේය. ක‍්‍රම ක‍්‍රමයෙන් ඒ කතා බහ සුදර්ශිය, මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරය, ජාතික පුස්තකාලය, මහවැලි කේන්ද්‍රය, සාමාජීය හා සාමයික කේන්ද්‍රය, ඇන්.ඇම් පෙරේරා සෙන්ටර්, ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය ආදියටද ඇදී ගියේය. එකී සියල්ල ඇදී යන අතරේ ඔහු මගේ මිතුරෙක්ද විය. මුලදී ඔහුගේ කෘතිත් මාත් අතර පැවති පරතරය තුළ පසු කලෙක ඔහු සිට ගත්තේය. ඉනික්බිතිව මාහට ඔහුගේ කෘති කියවන්නට සිදුවූයේ ඔහු හරහාමය. ජගත් මාරසිංහ මිතුරා වරෙක ලේක්හවුසියේ පඩිපෙල බැස එනවිට මෙසේ කීවේය.
‘‘මචං ලංකාවේ ගෑණු බුදු කරවන්න ගිහින් ගෑණු නිසා බුදුවෙච්චි උන් දෙන්නෙක් ඉන්නවා’’.
                                                මාරයා අර්ථ දැක්වූ පරිදි එක් අයෙකු කේ.කේය. අනෙකා ටෙනිසන් පෙරේරාය. ටෙනිසන් සක්වල දඩයමතුළින් රමණයේ යෙදෙන්නට සිදුවීම නිසා බුදු බවඅතැහැරුණු ස්ත‍්‍රීය ගැන අනුකම්පාවෙන් කතා කරන විට කේ.කේ නේරංජනේ ඉස්නානේමගින් රමණය කමටහන් කොටගත් ස්ත‍්‍රිය බුදුකරවන ලදී. කේ.කේ ලා විසින්ම බුද්ධායනුවෙන් හඳුනාගත් රොහාන් පෙරේරාට සමගාමීව ලාංකේය ස්ත‍්‍රීවාදී සංස්කෘතික කතිකාව පෝෂණය කිරීමෙහිලා කේ.කේද දායකවිය. ස්ත‍්‍රියගේද, අන්‍යාගමිකයාගේද රීරි මාංශය උරාබොමින් නිවන් මග සාක්ෂාත් කර ගැනීමට යත්න දරන සඟ මොක් පරපුරේ දැවැන්තයින් ප‍්‍රමුඛව එවක බස්නාහිර පළාත් සභාව නේරංජනේ ඉස්නානේකෘතියට බාල්දිය ඇද්දේය. අවසානයේ කුමක් හෝ හේතුවකට එකී ඝෝෂාව යටපත් විය. සමන්ගේ මෙන්ම අපගේද කලෙක වීරයෙකු වූ ටෙනිසන් පෙරේරා පසුගියදා ස්වකීය අලූත්ම කෘතිය කැලණිය රජමහා විහාරයේදී එළිදක්වා පිනට දහමට ලැදි බෞද්ධ උපාසකයෙකු බවට පත්විය. දැති රෝදෙන් උපන් බුදුන්’, දුට්ඨ ගාමිණී නොමළ වගයි’’ආදී පොත් හිතේ හොල්මන් කරද්දී ඔහුට බුද්ධත්වයලැබී ඇත්දැයි නිසියාකාරව අපි නොදනිමු. එහෙත් සමන් කුමාරට බුදු බවලැබුණු බවට කී මාරයාම මීට වසරකට හමාරකට ඉහතදී සර්පයාගේ කේන්දරය පරීක්ෂා කොට ග‍්‍රහ තාරකා ගණන් හිලව් තබා එය එසේ නොවන වග සපථ කළේය. එහෙත් කේ.කේ හෙට දවසේ කැලණිය කෙසේ වෙතත් බෙල්ලන්විල පන්සලෙන්වත් මතුවේදැයි නිශ්චිතව කිව නොහැකි නමුත් එය එසේ නොවේවායි යන්න අපගේ ප‍්‍රාර්ථනය වේ. මන්දයත් අද දවසේ වඩාත් අවැසිව ඇත්තේ උපාසකයින්නොව හොර උපාසකත්වයප‍්‍රශ්න කළ හැකි හිතුවක්කාරයින්ම වන නිසාය.

                                සමන් ට තමන්ගේම යයි කිවහැකි සකලවිධ බලාධිපත්‍යයන්ට, වාරණයන්ට එරෙහිවූ අරාජිකත්වයක් පිළිබඳ දේශපාලන සිහිනයක් පවතී. එහෙත් එක් කලෙක විකොස සාමාජිකයෙකු වූ ඔහු ඉන් පසු කිසි විටෙකත් කිසිදු දේශපාලන ව්‍යාපෘතියක ගොදුරක් බවට පත් නොවිණි. ඒ නිසාම ඔහුට මේ මැජර දේශපාලන සංස්කෘතිය තුළ කුණු නොවී මෙන්ම අනුන් විසින් සාදාදෙනු ලබන විකල්ප යයි හඟවනු ලබන රාමුවක හෝ සිරගත නොවී සිටින්නට දැවැන්ත වෙහෙසක් දරමින් වුවද හැකිවී තිබේ. ඔහුගේ පරමාදර්ශයක් වූ සයිමන් නවගත්තේගමට තමන්ගේම වූ දැක්මක් තිබුණද දේශපාලනයේ නිශ්චිත අවකාශයක් නොතිබිණි. ඒ නිසාම ජනතා ලේඛකයකු ලෙස අභිසෙස් ලබන අතරේම  පේ‍්‍රමදාස යුගයේත්, චන්ද්‍රිකා යුගයේත් රජ මැදුරෙහි යාවජීව සාමාජිකයෙකු වන්නටද ඔහුට හැකිවිය. රජ මැදුරෙන් රස මසවුළු වළඳන්නට කේ.කේ කිසිවිටෙකත් සිහින නොදකින බව විශ්වාසය. එහෙත් ඔහුට  විටෙක සුජීව ප‍්‍රසන්නආරච්චිලා වර්ගයේ සිල්ලර පෙට්ටිකඩ මුදලාලිලාද, මහාරාජා හෝ ඊ.ඒ.පී වර්ගයේ කළුකඩ මුදලාලිලාද සරණ යන්නට සිදුවූ අවස්ථාවන් නැතුවා නොවේ. එවන් අවස්ථාවන්හිදී ඔහුට තමාව පරමාදර්ශය කරගත්තවුන්ගේ සිහින බිඳ වැටෙනු දකින්නටත්,අවලාද අසන්නටත් සිදුනොවූවාද නොවේ.
‘‘මචං මේව එදාවේල ටුවර්ස්. ඒත් මං කොහොම හරි කවද හරි මගේ දේ ලියනවා’’ඔහු ස්ථිර හඬින් කියා සිටියි.
ඔහු ලීවේය. තවදුරටත් ලියමින් සිටියි. තිස් වසරක ලේඛන දිවියෙහි අවසානයට ලියන ලද බර සාර දෙයක් විණි නම් ඒ සයිමන්ගේ ලියවිලි කැටිකොට කරන ලද කියැවීමක් වූ ‘‘ සිංහල ජාතියේ වංශ කතාව, සංසාරණ්‍යය සහ සයිමන් නවගත්තේගම’’කෘතියයි. කේ.කේ තරම් සයිමන්ව බැරෑරුම් ලෙස කියවූ වෙනකෙකු නැති තරම්ය. ඒ පිළිබඳ සයිමන්ටද යම් තක්සේරුවක් තිබිණි.
’‘ ඕව ගැන ඉතිං මං වැඩිමනක් දේවල් දන්නේ නෑ. ගිහින් අර සමන් කුමාරගෙන් අහන්න’’සයිමන් තමන්ගේ නිර්මාණ ගැන අවතක්සේරු කළා නොව සමන්ගේ අධිතක්සේරුවට ආශා කළේය.

                                     කේ.කේ ගේ ලේඛන දිවියට මේ වන විට තිස් වසරකි. 1984 දී එළිදුටු සර්පයෙකු හා සටන්වැදකෘතිය නව මුහුණුවරකින් යුතුව මේ වන විට යළි එළිදකින්නට සූදානම්ය. වසර තිහක් යනු සුළුපටු කාලයක් නොවේ. අසූව දශකයේ අග භාගයේ දකුණේ ටයර් සෑ මත දැවී ගිය මළ මිනී මතින් පැන පැන සුභාවිත කලාවක් සෙවූ කේ.කේලාගේ පරම්පරාවට උතුරේ තිස් වසක යුද්ධයක ගිනි සැරද නොමඳව අත්විඳින්නට ලැබිණි. එවක කේ.කේ සමග ගස් යට, මහ පාරේ සංවාද කළ ඇතැමුන් අද නාලිකා ප‍්‍රධානියෝය. සමහරුන් වෙළඳ ප‍්‍රචාරණ සමාගම්වල හිමිකරුවෝය. නැතිනම් කළමනාකරුවෝය. තවත් උදවිය දේශපාලකයෝය. නැතිනම් පාලන තන්ත‍්‍රයේ සවිමත් ඇණ මුරිච්චිය. කිහිපදෙනෙකු පමණක් අපගේ පරම්පරාවටද යම් ආලෝකයක් සපයමින් තාමත් අප සමග අලූත් ලෝකයක් පිළිබඳ සිහිනයක් දකිමින් සිටියි. කේ.කේ සමන් කුමාර හෙවත් සර්පයාමේ සියළු දෙනා අතරේ හුදකලාව මිනිසෙකු ලෙස ජීවත්වෙමින් සිටින අතරේ කුණු නොවී සිටීමේ අවසන් ප‍්‍රයත්නයද අත්හදා බලමින් සිටියි.
                                
                         අම්මා සමග පවුල් ජීවිතයක් ගත කරන පුතෙකුගේ කතාවක් වන ඊඩිපස්කුණුහරුපයක් නොවී විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන හා සම්පත් යොදාගෙන නිෂ්පාදනය කෙරුණු අධ්‍යයන අංශයකට පියෙකු හා දියණියකගේ ව්‍යභිචාරි බැඳීම නිරූපිත ‘‘සර්පයෙකු හා සටන්වැද’’කෘතිය කුණුහරුපයක්වී තිබුණි. ඉකුත් සතියේ මා නව මුද්‍රණය දෙවෙනි වරට කියවන විට ගෙවී ඇති කාලය වසර 14 කි. 90 දශකයේ අග භාගයේ පාරට බසින ලද අපගේ පරම්පරාවේ නිර්මාණකරුවන් බොහෝ දෙනෙකුට ඉහත කෘතිය මෙන්ම සමන්ගේ බොහෝ කෘති ආශ්වාදයක් හා ඉමහත් උත්තේජනයක් සැපයූ බව රහසක් නොවේ. ලෝකය , අත ඇති ස්මාර්ට් ජංගම දුරකථනයට හෝ අයි පෑඩයට කැටිවී ඇති යුගයක සංස්කෘතිය, සාහිත්‍යය, කලාව, දේශපාලනය, දර්ශනය තව දුරටත් මැජික්ද නොවේ. කොලාජ් චිත‍්‍රයක් වැනි යමක් පමණි. එසේම නව දැනුම, නව කියැවීම් අත්පත් කරගැනීමට කාලයක් නොදෙන තරමටම ඒවා ජීවිත තුළට කඩාවදිමින් සිටියි. එබැවින් මේ යුගයේ අන් කවරදාටත් වඩා සංස්කෘතික තලයේ අරගලය ඇත්තේ කාලය සමග බැව් අපගේ පුද්ගලික හැඟීමය.
                                     කේ.කේ ගේ සර්පයෙකු හා සටන්වැදකෘතිය මෙන්ම පසු කලෙක ලියන ලද ‘‘නේරංජනේ’, එසඳ මම බලා සිටියෙමි, සඳැල්ලෙන් වැටී මිය ගියහ ඔවුහුආදී බොහෝ කෘති තුළ අව්‍යාජත්වය, සමාජ- දේශපාලනික ඛේදවාචකය, සංස්කෘතික වහන්තරාවෙන් බලහත්කාරයෙන් වසන ලද  ඕජස් ගලන තුවාලයක් බඳු ලාංකේය සමාජය නිරාවරණය කෙරිණි. සුදු සහ කහ රෙදි අඳින, සදාචාරය ගැන කතා කරන, කළ හැකි පාදඩකම් සියල්ල ප‍්‍රසිද්ධියේ සිදුකරමින් සිටින බඩගෝස්තරවාදීන් ඉතිහාසයේ අන් කවරදාටත් වඩා මුහුණට මුහුණ හැපෙන තරමට සමීප වී තිබේ.
‘‘පුඞ් බෝඞ් එකේ යන අපි ළඟ විතරයි  ඔය ඔක්කොම සහෝදරකම්. මෙතනින් නැග්ග ගමන් පොරකනවා වාඩිවෙන්ඩ. වාඩිවුණාට පස්සෙ ආයිත් තරඟය. පංගු බේරුව. ලොකු කුට්ටියට. උදේ යනකොට... (පාපුවරුවේ ගිය මිනිසෙක්, සර්පයෙකු හා සටන්වැද. පිටුව-45).
පිටිපස්සෙන් තල්ලුවෙනවා. හෙමිහිට හේත්තු වෙන්න  ඕන. අපි මස් ලේ තියෙන මිනිස්සු. අනුන්ට හිරිහැරයක් නැත්නම් අපි මොනව කළහම මොකද?... එතකොට සංස්කෘතිය ඒ ගැනත් බලන්න  ඕන.
                                           (එම-පිටුව 46)
සමන්ගේ පළමු කෘතියේ විශිෂ්ටතම නිර්මාණය සර්පයෙකු හා සටන්වැදකෙටිකතාවයි. එය පියෙකු හා දියණියක අතර ඇතිවන හුදු සංසර්ගයක් නොව ජීවිතයත් ශිෂ්ටාචාරයත් අතර පවත්නා අනවරත ගැටුමයි.
‘‘අපට ඌ මැරිය නොහැකි වෙනු ඇත්ද? අපි මුගුරු ගෙන දෑතින්ම ඌට තලමු. ඌ අද හෝ හෙට මිය යා යුතුය. නැතහොත් ගල් මුල් වලින් වැසී අපත් සමග මිය යා යුතුය. (35 පිටුව-සර්පයෙකු හා සටන්වැද)
එකී අනවරත අරගලයේ කොටස්කාරයින් වන අපට පැහැදිලි පිළිතුරක් ඉතිරි නොකරන ඔහු සිදුවූයේ කුමක්ද යන්න නොව හෙට දවසේ සර්පයා ඝාතනය කර ජීවිතය තෝරාගන්නේද? එසේත් නැතිනම් සමාජයක් අභිමුව මරණය තෝරාගන්නේද යන්න තීරණය කිරීම අපට බාර කරයි. එහෙත් මෙම කෙටිකතා සංග‍්‍රහය ඉකුත් සතියේ යළි කියවන විට එහි එන සර්පයා, පා පුවරුවක ගිය මිනිසෙක් ආදී කෙටිකතා කිහිපයක් හැර අපබ‍්‍රංස කතාවක්, සුළඟට ගසාගිය ගැහැණියක්, ලෙයත් කිරත් මුහුව ගියා, වැනි නිර්මාණ තවදුරටත් දිගහැරිය හෝ ගෙතිය යුතුව තිබූ අසම්පූර්ණ සටහන් දෝයි කුකුසක් මතු කරන්නට වීමද නොවැළැක්විය හැකිවිය. එහෙත් එවක 19 වන වියේ පැඟිරි කොල්ලෙකු වූ සමන් එතෙක් පැවති පරමාදර්ශීය කෙටිකතාව වෙනුවට තම අත්දැකීම ගොනු කිරීමේ ඉඩහසර තමන් විසින්ම ගොඩනගා ගැනීම අගය කළ යුත්තකි.
                                      කේ.කේ ගේ යොවුන් නවකතාවන්ද , යොවුන් පරපුර ඉලක්ක කොටගෙන වැඩිහිටියන්ට ලියූ කෘතිමය. යොවුන් පරපුර එකි අක්මුල් එක් තැනකින් අල්ලා ගන්නා විට යමක් කමක් වැටහෙන බුද්ධිමත් පාඨකයින්ට නොහොත් වැඩිහිටියන්ට තවත් කොනකින් ගැඹුරු සමාජ කියවීමකට මග පෙන්වයි. ‘‘පුංචි ඊවා සහ බිල්ලා, පුංචි සඳවතියගේ කතන්දරේ ’’එවැනි  ලක්ෂණවලට වඩාත් සමීප කෘතීන්ය. ඔහුට ප‍්‍රථම එවැනි නිර්මාණාත්මක පරිචයකින් යමක් කළ අයෙකු වී නම් ඒ සයිමන් පමණි. කේ.කේ ලාංකේය සිංහල සාහිත්‍යය තුළ ස්ථානගත වන තැන පිළිබඳ කුහකත්වයෙන් තොර තීන්දුවක් ගැනීමට සමකාලීන සාහිත්‍යය සන්සන්දනාත්මකව කියවීම ප‍්‍රමාණවත්ය. ඔහුගේම කවියක අංශු මාත‍්‍රයකින් ඒ බැව් සපථ කළ හැකිය.
’‘තේරුම් ගන්න උත්සාහ කළොත් මේක
කන්දෙන්න පුරුදු වුණොත්
අනිත් ඈයින්ගෙ සිතියම්වලට
පුළුවන් වේවි හමුවන්න
අපිට කවදහරි
පාරාදීසයේදී’’
                         (නගා මැරූ අල - (පිටුව 158).


-ප‍්‍රියාන් ආර් විජේබණ්ඩාර

රාවය, 2014 මාර්තු 2

Comments

Sankathana said…
සර්පයාට කළ හැකි බරපතළ ම අපරාධය නම් මෙවැනි බොළඳ ප්‍රේම කථා ලිවීමයි. මෙවැනි ව්‍යාජ ආඩපාලි බොරු ඇගයීම් සර්පයා වැනි සංචාරක ලේඛකයෙකුට කුමටද? සර්පයා යනු මක්ඛලී ගෝසාල වැන්නෙකැයි සිතේ. එනම් ඔහු සිය ජීවිතය සමාජය තුළ උර ගාමීන් දිය වෙන්නට හරිමින් සිය ක්‍රම විරෝධය ප්‍රක‍ට කරවයි. එනයින් මෙවැනි බොරු ආඩපාලිවලින් සර්පයා වැනීමට වුවමනා නොවේ. ඔහු ඓතිහාසික සාහිත්යකාරයෙකි. මෙවැනි සාටෝපකාරී වැනීම් කම්මැල්ලවීර වැනි අයට කරන්න.

Popular posts from this blog

අවමංගල ස්තූතිය!

‘වීරයා ඔබයි’ නවයොවුන් පොත් පෙළ සාහිත්‍ය මාසයට

මෙම සාහිත්‍ය මාසයේදී ලෝක ප්‍රකට නවයොවුන් පොත් මාලාවක් වන  වීරයා ඔබයි පොත් පෙළ අගසර ප්‍රකාශකයන් විසින් නවයොවුන් පාඨකයා වෙත තිළිණ කරනු ලබයි. Choose Your Own Adventure නමැති මෙම පොත් පෙළ ලෝක යොවුන් සාහිත්‍යය නවයුගයක් කරා කැඳවා ගෙන යන ලද පොත් මාලාවකි. 

අන්තර් ක්‍රියාකාරී, ක්‍රීඩාමය නව යොවුන් සාහිත්‍යයේ පුරෝගාමී පොත් මාලාව වූයේ

බෞද්ධ ප‍්‍රඥා මාර්ගික සාහිත්‍යය

බෞද්ධ ප‍්‍රඥාමාර්ගික සාහිත්‍යය යනුවෙන් මෙහිදී අදහස් කෙරෙනුයේ සයිමන් නවගත්තේගම සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා ,දඩයක්කාරයාගේ කතාව , සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා , ක්ෂීර සාගරය කැළඹිණි , සාපේක්ෂනී, අර්ජුන කුමාරයාගේ කතාන්දරය , සංසාරාරණ්‍යය අසබඩ ,ස්වර්ණ වන්නියේ වල්ලි අම්මලා යනාදී කෘතීන් සහ ටෙනිසන් පෙරේරා සක්වල දඩයම ඔස්සේත් ගවේෂණය කළ සාහිත්‍ය ආඛ්‍යාන මාර්ගයයි. එය ලාංකීය සාහිත්‍යයටම අනන්‍ය ප‍්‍රවනතාවක් ලෙස දකිත හැකිය . මෙය පශ්චාත් නූතන ප‍්‍රවනතාවක් වශයෙන් ස්ථාන ගත කළ හැකිවේ . පළමුව එම ලේඛකයන් දෙදෙනාම තම නිර්මාණකරණයේ නූතනවාදී අවධිය අතික‍්‍රමණය කරමින් පාදා ගත් මාර්ගයක් මේ හරහා දකිත හැකිය. දීප්ති කුමාර ගුණරත්න සමාජ විද්‍යාඥයන්ගේ සංගමය මගින් පැවැත්වූ කාල් මාක්ස් අනුස්මරණ දේශන මාලාවක පළමු දේශනය තුළ ලංකාව තුළ නූතනවාදය ඉක්මවා ගිය අප රටට අනන්‍ය වූ පශ්චාත් නූතනත්වයක් දක්වන අවස්ථාවක් ලෙස සයිමන් නවගත්තේගමගේ සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා හඳුන්වනු ලැබීය . මෙම ලේඛකයන් දෙදෙනගේම යථෝක්ථ සාහිත්‍ය කෘති මහායාන හා තන්ත‍්‍රයාන බෞද්ධ දර්ශනය ඇසුරු කරනු ලබයි . එහිදී විජයාවගමනය , කුවේණි , රාවණ වැනි පුරාකෘතික ප‍්‍රවාදයන් සමග ඒ ගනුදෙන…