Skip to main content

වුල්ෆන්ඩාල් ස්ට්‍රීට්හි සියක් වසක භගමනිය සොයා



අපේ සාහිත්‍යයට අලූත් දසාවක් ලබාගෙන එනවා. හුළඟෙ දිසාවත් වෙනස් වෙන්න පුලූවන් කියන එකයි ඒ කියන්නෙ. නිහඬව තිබ්බ ගැහැණු සිතුවිලි දොඩමළු වෙන්න අරන්. පෑන් තුඩු වාචාල වෙන්න අරන්.

ගොඩකාලෙක නිහඬතාවය බිඳලා නදී ආයිමත් දොඩමළු වෙලා. නිහඬතාව තුළ බවුන් වඩමින්, තමන්වම කපමින් කොටමින්, කියන්න යන හැම වචනයක්ම, හැම දෙයක්ම, නිරික්සුමක්ම, හිතිවිල්ලක්ම කිරමින් මනිමින් තමා කාලෙ ගෙවලා තියෙන්නෙ. වෙන වැඩක් නං කරලම නෑ. ඒ නිසා ආවාට ගියාට, කට කහනවට, හිත කොකියනවට,  පපුව පැලෙන්න එනවට ලියපු ලිවිල්ලක් නෙමේ මේක නං බරපතල කියවීමක් අපෙන් ඉල්ලන ලියවිල්ලක්.

වියපත් සන්නාලියෙක්ගෙ ඉවසීම පෙන්නන මහාද්වීපික ගෙත්තම් ලකුණු.........අපේ පශ්චාත් යටත් විජිත ගැහැණු පිරිමි මල් පලතුරු ඉතිහාසය විද්‍යාගාරෙට ගෙනත් සමාජ විද්‍යාවේ, දේශපාලන විද්‍යාවේ, ව්‍යුහවාදයේ, මනෝ විශ්ලේශණයේ අන්වීක්ෂවලින් නරඹමින් කපනවා..... කොටනවා...... ඇය පිරිමින්ගෙ රෝග ලක්ෂණය වෙච්ච ගැහැණු තුළින් පිරිමි අපේ රෝගය හඳුනා ගන්නවා. ඒ මගින් අපේ සාහිත්‍යය දාර්ශනිකකරණයට ලක් කරන්න තැත් කළ  බරපතලම ලේඛිකාව බවට ඇය පත් වෙනවා.

කාරණාව ඇය තමන්ගෙ ගැහැණු ශරීරය දැරහැවක් වගේ අතඇරලා. ඇගෙ මනෝකාය සහස් ඇස් තියන ඉන්ද්‍ර වගේ අහසෙ ඉඳන් ඒ දැරහැව දිහා බලන් ඉන්නවා. ඒත් ඉන්ද්‍රගෙ සහස් ඇස් හොරා කාලා වලංවලට දොස් කියන්න ගියාට දඬුවමක් විදිහට ස්ත්‍රීනිමිතිවලින්මයි රූපාන්තරණය වෙන්නෙ.

ඉන්ද්‍රගෙ බටහිර වර්ෂන් එක ආගුස්. ඔහුටත් සහස් ඇස් තියනවා. ඒ නිසා කාටවත් ඔහුගෙන් බේරිලා මොකුත් කරන්න බෑ. හරිම  ඕපාදූපකාරයා. හිල් මරන්නා. ලෝකෙ හැමෝම කරන ඒවා ඇඟ පුරාම තියන ඇස්වලට පේනවා. සියල්ල දකිනවා. සියල්ල දකින එකාට කිසිම දෙයක් කරන්න බෑ. පණ්ඩිතයට ඒදණ්ඩෙ යන්න බෑ වගේ. ඉතින් ආගුස් නෂ්ඨකාමුකයි. සමහරවිට කියන්නෙ ඔහු හර්මොප්‍රොඩයිට් කෙනෙක් කියලා. බුදුන්ගේ වදනින් උභතෝභ්‍ය ජනකයෙක්. ඒ කියන්නෙ තමන් ගැබ්ගන්නත් අනෙකා ගැබ් ගන්වන්නත් පුලූවන් එක විට. ස්ත්‍රී පුරුෂ අවයව දෙකම තියනවා. සක්‍ර නැත්නම් ඉන්ද්‍රගෙ සීලය විදිහට තමා මේ නෂ්ඨකාමුකත්වය හැඳින්වෙන්නෙ. ඉසිසිංග සිල් රැකලා රැකලා සක්‍ර පැරදුනාම නියඟයක් මවලා රජතුමා ලවා තමන්ගෙ දියණිය නලිනිව යවලා ඔහුගෙ සීලය බිඳින්න කල්පනා කරනවා. හොඳම නෂ්ඨකාමුකයා වෙන්නත් තරඟයක් මේ විදිහට තියනවා.

ඒක පැත්තකට දැම්මොත් සියල්ල පේන සර්වතෝභද්‍ර, සර්වඥ කෙනා නිෂ්ක්‍රියයි. නෂ්ඨකාමුකයි. බුදුනුත් එහෙමයිලූ. ගවයෝනිගත පුරුෂ ලිංගය. හැටේ දශකයෙ තහනම් කරපු ඩබ්ලිව්. එස්. කරුණාරත්න ලියපු පොතක බුදුන් නපුංසකයෙක් කියලා සඳහන් වුණ බව කියනවා. මහා පරිනිබ්බාන සූත්‍රයෙ ආනන්ද තෙරුන් විශාඛාවගේ ඉල්ලීම පිට බුදුන්ගෙ පුරුෂ ලිංගය පෙන්වනවා. එතකොට ඒක ක්ෂීන වෙලා යමින් තිබුනා කියලා කියන්නෙ.

නදී මෙතෙන්දි මානසිකව උභතෝභ්‍ය ජනකයෙක් වෙලා. දෙකම තියනවා. යින් යැන් වගේ. අර්ධ නාරීශ්වර ශිව වගේ. පිරිමියා තුළ වන ගැහැණු අර්ධය ඇනීමාව. ස්ත්‍රිය තුළ වන පිරිමි අර්ධය ඇනිමසය. එක්ස්- වයි විදිහට ජනකානුවලත් තියනවා.

ඉතින් නදී තමන්ගෙ සරීරෙ තමන් ඉස්සරහින් තියාගෙන ඒ දිහා බලාගෙන බවුන් වඩන මුනිවරියක් බවට පත්වෙලා. කැලේට නොගිහින් නගරෙ ගෑනු පිරිමි මල් පලතුරු අස්සෙ බවුන් වඩලා. ක්‍රියාකාරී භාවනාව වගේ.  තාන්ත්‍රික බුද්දාගමේ උමතු ප්‍රඥාව වගේ. ඇය පරමානුවක් ඇතුළෙ විශ්වයක් දකින්න අරන්. ඉතින් ඇයට තමන්ගෙ ශරීරය තමන්ගෙන් ඈත දුර විශ්වයක් බවට පත් වෙන්න අරන්. ඒත් අපි ඇගේ ශරීරය බිමින් තියන්න ලෑස්තිද?

බරපතල කියවීමක් ඉල්ලා සිටින සබුද්ධික- ප්‍රඥාමාර්ගික සාහිත්‍ය කෘතියක් අපි ඉස්සරහා. ඒ කියවීමට අපි ලෑස්තිද කියන එක තමා ප්‍රශ්නය. කතුවරියගෙ ගැහැණු ශරීරය අමතක කරලා, කොටින්ම මේ වසඟකාරී පුංචි කෙල්ලව අමතක කරලා ඇගෙ මේ වියමන, මේ මහාද්වීපික ගෙත්තම බාර ගන්න අපි ලෑස්තිද?

ඒක මේ යුගයෙ අපේ සාහිත්‍ය කියවීමෙ බරපතලම අභියෝගය වෙන්න පුලූවන්. ඇත්තෙන්ම ඒක අපිවම පරීක්ෂා කරන ඇසිඞ් ටෙස්ට් එකක්. ඒත් ලිට්මස් කඩදාසිය දෙවියන්ගෙද යක්ෂයාගෙද කියන්න නං මට තේරෙන්නෙ නෑ.

කොහොම වුණත් මේ අසිරුව දුෂ්කරත්වය එන්නෙ හුදු භාෂාවෙන් හෝ ආඛ්‍යානයෙන්ම පමණක් නෙමෙයි. ඒක එක අතකින් සංකල්පමයයි. අනුවේදනීය කියවීමකට හුරුවෙච්ච, විශේෂයෙන්ම සමාරෝපනය වෙන්න, තදාත්මීය වෙන්න බලාගෙන කියවන්න වාඩිවෙන පාඨකයාට මෙය අභියෝගයක්. ඒ වෙනුවට තියෙන්නෙ බුද්ධිමය අභ්‍යාසයක්. ප්‍රඥාමාර්ගික කියවීමක්. දුරස්ථකරණයක්. තදාත්ම විඝටනයක්.  පළමු කොටම ඇය තමන්ගෙ ස්ත්‍රී ශරීරයෙන්, මානසිකත්වයෙන්, ආත්මීයභාවයෙන් දුරස් වෙනවා. ඇය අහසට නගිනවා. තමන් දිහාත් බලන්නේ මරණාසන්න අත්දැකීමකදි වගේ.

අන්තිමේදි ඉතිරිවෙන්නෙ නවකතාවක් වෙනුවට පශ්චාත් නවකතාවක්. ඒක වෙනත් න්‍යායික බුද්ධිමය ව්‍යාපෘතියක්. එක් අතකින් ඇය ඇගේ ඉතිහාසය මේ සම්භාව්‍යකරණය කළ පශ්චාත් යටත් විජිත ඉතිහාසය තුළට පරාරෝපනය කරනවා. ප්‍රක්ෂේපනය කරනවා. අනෙක් අතින් එය පශ්චාත් යටත් විජිත ඉතිහාස තිරය මත විසංයෝජනය කරනවා.

මේ පරාරෝපනය තුළ පැහැදිළිවම මකා දැමීමක් දකින්න පුලූවන්. ඒක ඇගේ ජනප්‍රිය මාධ්‍ය භාවිතාවේ ඉතිහාසය වන්න පුලූවන්. විනෝදාශ්වාදන කර්මාන්තයේ ඉතිහාසය වන්න පුල්වන්. අපි නොදන්නා ඇගේම අතීතයක් හෝ දන්නා අතීතයක් වන්නත් පුලූවන්. කොහොම නමුත් තමන්ගේ ක්ෂතිය මේ විදිහට අනුන්ගේ ක්ෂතීන් තුළින් රූපාන්තරණය කිරීමෙන් දුරස්ථකරණයක් වෙනවා වගේම අනන්‍යතාව සැඟවීමක්ද වෙනවා.

අප කෘතිය වෙනුවට වියමන අරුතින් ගත්තහම වියමනට කවරය, ප්‍රචාරණ ව්‍යාපෘතිය වගේම fදාරට වැඩුමත් අයත්. පළමුව මෙහිදී යොදා ගන්නා ඡායාරූපවල අපට දකින්න පුලූවන් වෙන්නෙ කතුවරිය නෙමෙයි. ඒ යටින් නම සඳහන් නොකළොත් මේ ඇය කියා හඳුනා ගන්න බැහැ. මේ නිරූපිකාවකගේවත්, නිළියකගේවත් ඡායාරූප නෙමෙයි. මෝස්තර නිරූපිකාවකගේ නෙමෙයි මේ ඡායාරූප ගත් කතුවරියකගේ. ආලේඛ්‍ය ඡායාරූප හැටියට අතිශය අසාර්ථක මේ ඡායාරූප ඇයි මෙයට යොදා ගන්නේ? එයට ඡායාරූප ශිල්පියාට පමණක් වරදක් කියන්නට බැහැ. සෙවනැල්ල පිරිමි වුනත් වෙස්මුහුණ ගැහැණුයි.  බුදුන් අද බුදු වුණා නම් ඇඞ්වර්ටයිස්න් ෆර්ම් එකකට  කැම්පේන් එක නොදුන්නොත් කෙලවෙනවා. බණ විකිනෙන්නෙ නෑ.

මෙය තමයි කතුවරියගේ වෙස් මුහුණ. ෆර්සොනාව. සමාජය සමග ගනුදෙනු කරන වෙස්මුහුණ. එය ස්ත්‍රීභාවය නඩත්තු කරනවා. මහජන සම්බන්ධතාමය ලෙස නැතිනම් වසඟකාරී ලෙස නඩත්තු කරනවා. එය තමා ‘නංගියා’ ලෙස වරක් දීප්ති හැඳින්වූයේ. මේ වෙස්මුහුණ පිටුපස ඇති සෙවනැල්ල, නැතිනම් යුංග් කියන විදිහට ෆර්සොනාව පිටුපස ෂැඩෝ එක මොකක්ද?

නම් සඳහන් නොකර කිවහොත් මේ ප්‍රචාරණ ව්‍යාපෘතිය පිළිබඳව එයටම සම්බන්ධ, න්‍යායික දැනුවත් බවකින් යුතුව මැදිහත් වන අයෙක්ට අනුව ‘පිරිමි විසිහයදෙනක් සමග තරුණියක්’..... ගෝර්කිගේ කෙටිකතාව. අනෙකාට අනුව ‘ලස්සන කෙල්ලයි, විචාරකයො රොත්තයි’..... ස්ත්‍රීභාවය අහිමි වෙච්ච නැතිනම් අතහැරලා දාපු කෙනෙක් සමාජය ඉදිරියේ එය පවත්වාගෙන යාම, ගැහැණියක් විදිහට පෙනී සිටීම ලකාන්ගෙන් විතරක් නෙමේ යුංග් ගෙනුත් විග්‍රහ කරන්න පුලූවන්. ස්ත්‍රිය යනු පිරිමියාගේ රෝග ලක්ෂණයලූ.

කොහොම වුනත් මේ සියල්ලේ සම්බන්ධය ටෙක්ස්ට් එක අතහැරලා කෘතිය කියවන්නත් අමාරුයි කෘතිය තුළ වන අන්තර් වියමන්මය සම්බන්ධතාවයන් පමණක් අරගෙන.......කොහොම හරි මේ ගත තුළින් කතුවරියගෙ ගත කියවගන්න වගේම හිත කියවන්නත්, නැත්නම් ආත්මය, හදවත කියවන්නත් අසීරුයි. ඒ වෙනුවට මහා න්‍යායික කියවීමක්  ඕනැවෙනවා. සමහර විට වෙඞ්ඩගෙ දුෂ්කර බන්ධනය පරදින්න පුලූවන්. ප්‍රශ්නෙ තියෙන්නෙ සයිමන්ගෙ සංසාරාරණ්‍යයේ දුෂ්කර බන්ධනයක් වීමයි වෙඞ්ඩගෙ හෝ නදීගෙ වියමන් එසේවීමයි දෙකක්. සවිඥාණකත්වය උවමනාවට වඩා මැදිහත් වූ තැන කලාව වෙනුවට පශ්චාත් කලාවක් බිහිවෙනවා. මේකත් නවකතාවක් වෙනුවට පශ්චාත් නවකතාවක්.

කලාකරුවගෙ ආත්මයෙ තුවාලය, අවිඥාණය, ක්ෂතිය වළලන ලද විට එය සබුද්ධික, වියලි දෙයක් වෙනවා. උවමනාවට වඩා බුද්ධිමත් ගෑනු එක්ක අරකවත් කරන්න බෑ වගේ. සංසාරාරණ්‍යයේ දුෂ්කර බන්ධනය ලෙහාගන්න අපි අපේ ජීවිතවලින් බාගයක්ම දුන්නා. මේකෙ ඒ තරම් දුෂ්කර බන්ධනයක් නැති බව ඇත්ත. දැන් සේරම නියායික සුකුරුත්තං කොලොම් තොටට ගොඩ බාලනෙ තියෙන්නෙත්. සයිමන්ගෙ දුෂ්කර බන්ධනේ ඇතුලෙ මිනිස් වර්ගයාගේ සදාතනික තුවාලයක් අපට හමුවුණා. ඒ එක්කම සයිමන්ගෙ තුවාලයත් අපේ තුවාලයත් මුණ ගැහුණා. පළමු ප්‍රඥාමාර්ගික නවකතාව විදිහට ඒක අපිට අභිමුඛ වුණා. ප්‍රඥාමාර්ගය පැන නගින්නෙ මොලයෙන් නෙමෙයි. කියවපුවයින්ම නෙමෙයි. ඒක සබුද්ධික භාවය. ප්‍රඥාව පැන නගින්නෙ හදවතින්. සද්ධා මාර්ගය නොවුනට, ආනන්දය නොවුනට ඒක පැනනගින්නෙ හදවතින්. මහා කරුණාවක් ඉවට පත්වෙන්නෙ එහෙමයි.

තමන්ගෙ තුවාලය වැහීම හෝ ඒ වෙනුවට ව්‍යාජ ගෝත්‍රික බොහීමියානු වල්පල් කතා යක්ෂණීගෙ හෝ පොදු පුරුෂයාගෙ වගේ නැති වුණාට සියලූ ප්‍රක්ෂේපන- පරාරෝපන තුළදි නදීගෙ හදවතේ තුවාලය හෝ හදවත හෝ ආත්මය තවම මට වුල්ෆන්ඩාල් ස්ට්‍රීට්වලින් හොයා ගන්න බැරිවුණා. සමහර විට හම්බවේවි. ටිකක් රස්තියාදු ගැහුවාම වීදියේ එහෙට මෙහෙට. තමන්ගෙ තුවාලෙ නැතිව පිරිමි මනුස්ස වර්ගයාගේ හෝ ගැහැණු මනුස්ස වර්ගයාගේ හෝ තුවාලය කිසිම ගෑණියෙක්ට පිරිමියෙක්ට හඟින්න හෝ විස්තර කරන්න බෑ. අනෙකාගේ තුවාලය අපිට දැනෙන්නෙ අපේ තුවාලෙ නිසා.

කෘතිය තුළ මේ පශ්චාත් යටත් විජිත ගැහැණු පිරිමි මල් පලතුරු ඉතිහාසය වෙස් මුහුණක්. නැතුව ඉතිහාසය කියලා දෙයක් තිබිලා නෑ. තිබුණත් අපිට නං වැඩකුත් නෑ. වෙස්මුහුණ පසුපස සඟවන ලද සෙවනැල්ලේ ඇති තුවාලය හමුවන තෙක් මේ කතාව කියවන්න වෙනවා කොනිති ගගහා. ඒ කොනිති පාරකට නදී මරහඬ දුන්නොත්, කොටි දෙනක් වගේ ගෙරෙව්වොත් මේ නවකතාවෙ තුවාල වෙච්ච භගමනිය අපිට හොයා ගන්න පුලූවන්.

එතකන් මේක මාරයි කියලා නොකියවා අරින, කියෙව්වද කියලා අහන, අතේ තියන් යන එක මෝස්තරයක් වේවි. ඉතින් කතුවරියගේ භගමනිය නෙමේ පොතේ භගමනිය හොයා ගන්න මාරම ගේමක් දෙන්න වෙනවා. මොකද ඒක තියෙන්නෙ කකුල් අස්සෙ නෙමේ කියන එක ෂුවර් නිසා. සමහර විට ඒක බඩවැලක් ඇතුලෙ හරි පෙනහැල්ලක් ඇතුලෙ හරි සුෂුම්නාව ඇතුලෙ හරි වෙන්නත් පුලූවන්.

පශ්චාත් නවකතාවල හැටි ඔහොමයි ඉතින් කිව්වලූ.

නවකතාවෙ දුර්වලකමක් විදිහට මම දකින්නෙ යම් දුරකින් පස්සෙ හුදු දේශපාලන විශ්ලේශණයක් බවට පත්වීම. ඒක නම් ඔහේ කියනවාගෙන යන්න පුලූවන්. සුරේඛාගෙ පොතෙත් දේශපාලන කෑල්ලට ආපු ගමන් ආඛ්‍යානය තීරු ලිපියක් බවට පත්වෙනවා. ඒක වෙන්නෙ තමන්ගෙ වේදනාව වෙනුවෙන් වස් කවි කියන්න ගිහින් නම් මේකෙ වෙන්නෙ දේශපාලනය තමන්ගෙ වේදනාවට ජීවිතේට කිසිම සම්බන්ධයක් නැති නිසා. ජීවිතේට සම්බන්ධ ටික තමා ඉතිහාසෙ ඇතුලෙ හංගන්නෙ. මේකෙ දේශපාලන විශ්ලේශණයක් වෙනවා වුණත් කලාකාරයො, ආචාර්ය මහාචාර්යවරු, විකල්ප මතධාරියෝ, අසම්මතයො, එන්ජෝයිකාරයො, බොහීමියානුවො වගේ හාල්පාරුවොන්ගෙ බීපුවහමයි ගංජා ගහපුවමයි කියන කතා අහන්න සැලැස්සුවෙ නැති එකට නම් නදීට ස්තූතිවන්ත වෙන්න  ඕනෙ. ගමකතායි, වලව් කතායි, රාජ්‍ය සේවක ෆල්ප් පික්ෂනුයි මදිවට අලූත්ම මෝස්තරේ තමා උන්ව දාන් ලියන කතා. බීපුවහම කියපු ඒවා ඩයරියක ලියලා ඒක ගැහුවා නම් හෝ ඊට වඩා.

‘යුලිසීස්’වල පිටු 40ක් නැවතීමක් නැතිව යන වාක්‍යයක් තියනවා. ‘ ඕටම් ඔෆ් පැට්‍රිආක්’වලත් පිටු සෑහෙන ගානක් වාක්‍යයක් තියනවා. ඒ ලේඛකයො වගේම නබකොව්ත් ‘ලොලීටා’වල අභියෝග කළා පාඨකයාට පුලූවන්නම් මේක කියවපල්ලා. නදීත් අපේ පුංචි දූපතේ එහෙම අභියෝගයක් තමා මේ කරන්නෙ.  


 කේ. කේ. සමන් කුමාර 


Comments

This comment has been removed by the author.
කලු පැහැ පසුබිමෙි පුංචි සුදු අකුරු ඇස්වලට අසීරුයි කියවීම.. අකුරු ටිකක් විශාල කරන්න හැකිද?

Popular posts from this blog

අවමංගල ස්තූතිය!

‘වීරයා ඔබයි’ නවයොවුන් පොත් පෙළ සාහිත්‍ය මාසයට

මෙම සාහිත්‍ය මාසයේදී ලෝක ප්‍රකට නවයොවුන් පොත් මාලාවක් වන  වීරයා ඔබයි පොත් පෙළ අගසර ප්‍රකාශකයන් විසින් නවයොවුන් පාඨකයා වෙත තිළිණ කරනු ලබයි. Choose Your Own Adventure නමැති මෙම පොත් පෙළ ලෝක යොවුන් සාහිත්‍යය නවයුගයක් කරා කැඳවා ගෙන යන ලද පොත් මාලාවකි. 

අන්තර් ක්‍රියාකාරී, ක්‍රීඩාමය නව යොවුන් සාහිත්‍යයේ පුරෝගාමී පොත් මාලාව වූයේ

බෞද්ධ ප‍්‍රඥා මාර්ගික සාහිත්‍යය

බෞද්ධ ප‍්‍රඥාමාර්ගික සාහිත්‍යය යනුවෙන් මෙහිදී අදහස් කෙරෙනුයේ සයිමන් නවගත්තේගම සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා ,දඩයක්කාරයාගේ කතාව , සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා , ක්ෂීර සාගරය කැළඹිණි , සාපේක්ෂනී, අර්ජුන කුමාරයාගේ කතාන්දරය , සංසාරාරණ්‍යය අසබඩ ,ස්වර්ණ වන්නියේ වල්ලි අම්මලා යනාදී කෘතීන් සහ ටෙනිසන් පෙරේරා සක්වල දඩයම ඔස්සේත් ගවේෂණය කළ සාහිත්‍ය ආඛ්‍යාන මාර්ගයයි. එය ලාංකීය සාහිත්‍යයටම අනන්‍ය ප‍්‍රවනතාවක් ලෙස දකිත හැකිය . මෙය පශ්චාත් නූතන ප‍්‍රවනතාවක් වශයෙන් ස්ථාන ගත කළ හැකිවේ . පළමුව එම ලේඛකයන් දෙදෙනාම තම නිර්මාණකරණයේ නූතනවාදී අවධිය අතික‍්‍රමණය කරමින් පාදා ගත් මාර්ගයක් මේ හරහා දකිත හැකිය. දීප්ති කුමාර ගුණරත්න සමාජ විද්‍යාඥයන්ගේ සංගමය මගින් පැවැත්වූ කාල් මාක්ස් අනුස්මරණ දේශන මාලාවක පළමු දේශනය තුළ ලංකාව තුළ නූතනවාදය ඉක්මවා ගිය අප රටට අනන්‍ය වූ පශ්චාත් නූතනත්වයක් දක්වන අවස්ථාවක් ලෙස සයිමන් නවගත්තේගමගේ සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා හඳුන්වනු ලැබීය . මෙම ලේඛකයන් දෙදෙනගේම යථෝක්ථ සාහිත්‍ය කෘති මහායාන හා තන්ත‍්‍රයාන බෞද්ධ දර්ශනය ඇසුරු කරනු ලබයි . එහිදී විජයාවගමනය , කුවේණි , රාවණ වැනි පුරාකෘතික ප‍්‍රවාදයන් සමග ඒ ගනුදෙන…