Wednesday, September 23, 2015

ගැහැනුනි සාහිත්‍ය මදුරාපුර ගිනි තබනු




සැල්වදෝර් ඩාලිගේ තැන තැන වැටී වැතිර තිබෙන ප්‍රාණය නිරුද්ධ වූ පුරුෂ නිමිති වෙළඳපල තරඟයේ ම්ලේච්ඡ ප්‍රකාශනය වූ සිවිල් යුද්ධය සිතුවමට නැගුවේය. නව ලිබරල්වාදී සිවිල් යුද්ධය ලෝක පරිමාණව ජයග්‍රහණය කොට ඇති මොහොතක පරිධියේ කොදෙව්වක සුරේඛා සමරසේන නම් කෙල්ලක් එවැනිම සිත්තමක් සිතුවම් කොට ඇත. එය දෙපරැන්ද පළල් කොට මද වෑහෙන, රජස් වෑහෙන,  ඕජස් ගලන ස්ත්‍රී නිමිති විදහා දක්වන සිතුවමකි. 

2010 දශකයත් සමග මරාගෙන මැරෙන බෝම්බකාරියන් පිරිසක් එම කොදෙව්ව පුරා බෝම්බ ප්‍රහාර එල්ල කරන්නට පටන් ගෙන තිබේ. මේ බෝදිලිමා බලකායයි. 2011 වසරේදී උපේක්ෂා නුවන්ශ්‍රීනී සර්පයාගේ දියණිය තුළින් පුද්ගල ප්‍රතිරූප කෙරේ මෙවන් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළාය. 2014 වසරේදී නදීකා බංඩාර සිය දියෝනිස් දෙවොල පාමුල සිට තුළින් කලා සංස්කෘතික ක්ෂේත්‍රයේ, විනෝදාශ්වාදන කර්මාන්තයේ පුරුෂ මූලික බලසම්බන්ධතාවලට, ලිංගික සූරාකෑමට හා ලිංගික පුලන්නන්ට එරෙහිව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළාය. දැන් සුරේඛා සමරසේන වාම දේශපාලන, මතවාදී, විකල්ප, මාධ්‍යවේදී, බොහීමියානු ගෝත්‍රය මැද සිය මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගෙන ඇත. 1996 දී තිලිනා විරසිංහ නාඳුනන ගැහැණිය පටන්කොට එල්ල කරන්නට ගත් බෝම්බ ප්‍රහාර මාලාව දැන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් බවට අධිතප්තවී ඇත. තිලිනා ස්ත්‍රීවාදයේ තුන්වන රැල්ල වූ රැඩිකල් ස්ත්‍රීවාදී අවකාශයක එය දියත් කළ අතර මේ වන විට මෙම ලේඛිකාවන් ස්ත්‍රීවාදයේ සිව්වන රැල්ල වන පශ්චාත් ස්ත්‍රීවාදී අවකාශයක ස්ථානගතව සිටියි. 

නව ලිබරල්වාදයද, පශ්චාත් ස්ත්‍රීවාදයද සියළු මිනිස් ආත්ම අරා වෛරසයක් මෙන් පැතිර ගොස් අවසානය. විකල්ප, අසම්මත, බොහීමියානු, ජාතිකවාදී සියල්ල මෙහි රෝගලක්ෂණ බවටම පත්ව ඇත. සියල්ල අවසානයේ විපරීතත්වය කරා ගාල්වී ඇත. රණබාහුගේ අංගජාතය කැපූ පසු බොහෝ දේ සිදුවිය. ඇතැම් ගැහැණුන්ට අංග ජාත ලියලා ආවේය. දෙවියන් විසින් සදාකාලික වෛරය ඇති කළාවූ සර්ප වංශයත් ස්ත්‍රී වංශයත් අතර විලුඹ සපා කෑම හෝ හිස පොඩිපට්ටම් කිරීම වෙනුවට ගැහැණුන් සර්පයන්ව දරමිටි බඳින්නට ගන්නා තැනට නව ලිබරල්වාදය තුළ තල්ලූ විය. එබැවින් තමන් නිකම්ම වැල්පටවල් නොවන බව පෙන්වන්නට සර්පයන් පෙනේ කරන්නට ගියද දල කඩා ඇති බව හොඳින්ම දන්නා ගැහැණුන් ඊටද බිය නොවූහ. අරුන්දතීගේ කක්කා බෝලවලින් නික්මෙන කුරුමිණියන් සර්පයන් ලෙස පෙනෙන අවස්ථාව සැබැවින්ම මිනිස් අවිඥාණයේ සංකේතීය පටිපාටියේ විශ්වමය බව පෙන්වයි. යක්ෂයා එනම් සාතන් හෙවත් ලූසිෆර්ගේ සෙන්පතියකුගේ වාහනය කුරුමිණියා වෙයි. ඉතින් අරුන්දතීගේ ලෛංගික අවධියට පෙර ගුදීය අවධිය තුළම පාපය එසේ නිධන්ගතව තිබෙයි.  

සුරේකා සමරසේනගේ මේ කතාව සබරගමුවේ ගරා වැටෙන වලව්වක පසුබිමේ දිග හැරෙන්නට ගනියි. එහි පවුල් රුකේ තොතැන හෝ සිඳුණු මුලක් ඇත. නිර්චර්්‍යා ප්‍රතිදානයෙන් යුතු සුදුමැණිකේගේ මුනිවත තුළ එය සැඟව පවතියි. එසේම බංඩාර යන්න පෙලපතක් ලෙස ගතහොත්් විසිඑකෙන් පංගුවක් යැයි මෙහි කියවේ. මේ තුළ මූලික වශයෙන්ම පීතෘමූලික සමාජයක මූලික හුය වන පියාගේ නාමය පිළිබඳ ගැටළුවක් ඉඟි කෙරේ. සමන්තා මැණිකේ මෙයාකාරයෙන් සංකේතීය පටිපාටියෙන් විතැන්ව ඇත.  ඇය සියවංශයට එරෙහිව විප්ලවය කරා ගාල් කරවන ප්‍රතික්‍රියාව වන්නේ එයයි. 

සමන්තා මැණිකේ අවජාතක දියණියකට උපත දෙයි. සැබැවින්ම නම් මවකට සියළු දරුවන් සුජාත වේ. එහෙත් පීතෘමූලිකත්වයෙන් යුත් සමාජයක පියාගේ නාමය පිළිබඳ කාරණයේදී එය අවජාතකත්වයක් බවට පත්වේ. එය සංකේතීය පටිපාටිය සමග ඍජුව සම්බන්ධය. විප්ලවය පැල්ලසය බවටද, මහා අනෙකා බවටද පත් වීම සමග අවජාතක දරුවෙක් උප්පරවැට්ටියකින් දරුවකු ලබා ගැනීම මෙහිදී සම්බන්ධය. එය හුදු ගැහැණියක පිරිමියකු අල්ලා ගැනීම සඳහා වන හිට්ටෝ ගැනීමක්ම නොවේ. පැල්ලසීය සම්බන්ධයක් මිස මේ අවජාතක දරුවාගේ පියා සමග ඇගේ පරිකල්පනීය ප්‍රේමයක් නැති තරම්ය. 

මෙතැන් සිට එම දැරිය අරුන්දතීද සංකේතීය පටිපාටියෙන් විතැන්වේ. පියාගේ නාමය පිළිබඳව සා නැකතේ පියා නැතේ යනුවෙන් කට්ටඩි වෙද මහතාගේ මුවින් පැවසෙයි. මවගේම කොටසක් ලෙස ජලජ පරිසරයක හුන් දරුවා වායුමය පරිසරයකට මුත කිරීමේදී මව මෙන්ම දරුවාද විඳින අත්දැකීම ක්ෂතික අත්දැකීමකි. දරුවා විෂයෙහි එය තම නොහැකියාව, අඩුමාව අවිඥාණය තුළ රත් යවටකින් මෙන් හංවඩු තබයි. ඉන්පසුව මෙම දැරියට තමා වෙනුවෙන් සිටින මව, මවගේ ක්ෂුද්‍ර වස්තුව, මව සිටින්නේ තමා වෙනුවෙන්ම නොවන බව, මව අයත් වන්නේ පියාට බව වටහා ගැන්ම, ඒ සමග ඇති වන ව්‍යභිචාර තහංචි, සංකේතීය අංග ඡේදනය ආදී මානසික විකසනයේ අවධීන් සම්පූර්ණ නොවේ. මව නමැති කැඩපත අහිමිව ඇති මෙන්ම, කොටස් වශයෙන් නොව සමස්තයක් ලෙස තමාව දකින කැඩපත් අවධියද අරුන්දතීට සම්පූර්ණ නොවේ. මව උන්මාදහිරි සන්නියෙන් යුතු මෙන්ම, සංකේතීය පියාගේ භූමිකාවත් අරුන්දතීට අහිමිය. ක්ෂුද්‍ර වස්තුවක් ලෙස මව පමණක් නොව පැල්ලසයක් ලෙස පියාද අහිමිය. ඇයට වාග්කේන්ද්‍රීයතාව මෙන්ම ශෛශ්න කේන්ද්‍රීයතාව සැපිරී නොමැත.

දරුවකුට ස්ත්‍රී පුරුෂ සංසර්ගය යනු ක්ෂතික අත්දැකීමකි. දරුවකු ඒ වටහා ගනුයේ ප්‍රචණ්ඩත්වය ලෙසය. උන්මාදහිරිසන්නියෙන් යුත් සමන්තා මැණිකේ සහ රාළ අතර ඇති වන සංසර්ගය කොහොමටත් ක්ෂතික අත්දැකීමකි. අරුන්දතීගේ ඉලෙක්ට්‍රා සංකීර්ණය අවධි සම්පූර්ණ නොවූ හිස් කරදාසියකි. මව ගේ මැද සිය ක්ලිටෝරසය උත්තේජනය කරනු දකින දැරිවියකට ඒ ක්ෂතික අත්දැකීමක් වීම අනිවාරණීයය.

පියාගේ නාමය, මවගේ ක්ෂුද්‍ර වස්තුව, සංකේතීය පටිපාටිය මගින් සිදු කෙරෙන අංග ඡේදනය, කැඩපත් අවධිය තුළදී තමාව සමස්තයක් ලෙස දැකීම සියල්ල ඇයට අහිමිය. වලව්වේ සිටින පරම්පරා ගණනක පරණ බෝනික්කන් යනු ඇයගේ කැබලිතිව ගිය බිඳුණු කැඩපතය. බහුරූප්‍රේක්ෂාවක් නැතිනම් කැලිඩස්කෝපයක පෙනෙන එකිනෙක මත එකිනෙක අනන්ත ලෙස බිඳුණු පිළිබිඹු අතිපිහිත වන පරිදි එම බෝනික්කන් ඇගේ කැඩපතය. මෙසේ සංකේතීය අංගඡේදනය හරිහැටි සම්පූර්ණ නොවූ පුංචි පිරිමියකු වන අරුන්දතීට පියා යනු ව්‍යභිචාර තහංචියක් හැටියටද ස්ථාපිතව නොමැත. තමා සංසර්ගයේ යෙදිය යුත්තේ කා සමගද, කුමන වයසක අයෙකු, කුමන ලිංගයක අයෙකු සමගද යනාදී ව්‍යභිචාර පද්ධතිය ඇයට අවිෂයය. අනෙක් අතින් මේ පුංචි පිරිමියා  තමා ස්ත්‍රියකද පුරුෂයකුද යන්න හරිහැටි නොදනී. යෞවනෝදයත් සමග ස්ත්‍රී ලාලසාවන් ඈ තුළ මතුවුවද, ඒ පවා ඇගේ බිඳුණු කැඩපත වන බෝනික්කන් තුළ නාසිස්මික පිළිබිඹුවක් ලෙසිනි. ඒ සමගම නන්දිතාගේ සිංහ පට්ටම් කණ්නාඩියේ පිළිබිඹුවෙනි. ඇයට භාෂාව ලැබෙන්නේ බෝනික්කන්ගෙනි. පසුව පොත් කියවන්නට ගන්නා අරුන්දතී පෙරලා බෝනික්කන්ට කියන්නේ නාසිසස්ගේ හා එකෝගේ කතාවයි. අරුන්දතීගේ සියල්ල තමාගේම පිළිබිඹුවක් හා තම හඬේම දෝකාරයකි. කන්නාඩිය කන්නාඩිය යනුවෙන් කන්නාඩිය සමග කරන කතාවද ඇගේ නාසිසස් අවධිය මැනවින් ගෙනහැර දක්වයි.   

ඇය කෘතිය තුළ යොදාගන්නා ආකෘතිය එවන් ඒකීයත්වයකින් තොර, සුසාධිත නොවන, ප්‍රතිනවකතාමය හා දත්ත ප්‍රබන්ධමය ශිල්ප ක්‍රම මායායථාර්ථයත් සමග එකලස්කරණ සුළු එකකි. කාලානුක්‍රමිකතාව ඉක්මවා දත්ත යොදා ගැනීම මෙන්ම කතුවරියම කෘතිය තුළ අනු චරිතයක් බවට පත්වීම පශ්චාත් නූතන සාහිත්‍ය රීතියක් තුළ සහලක්ෂිත වෙයි. එහෙත් පශ්චාත් නූතනත්වයට නොව මෙය කතිකාමය වශයෙන් පශ්චාත් යටත් විජිතවාදී සාහිත්‍ය දහරාවකට ගොනුවේ.

නිහාල් අමරතුංගගේ ලිංගික පුලන්නා භූමිකාව තුළින් එක් පසෙකින් විප්ලවීය ව්‍යාපාර තුළ  වන ලිංගික කුහකකම දැක්වෙන අතර  ඕස්ට්‍රේලියාවේ  සිටින බිරිඳ හා දරුවන් මගින් දෙබිඩි ජීවිත රටාව ඉඟි කරයි. පවත්නා ක්‍රමය තුළ පැවතීමට අවශ්‍ය සියල්ල අහිමිවන විකල්ප පටාචාරාවක අරුන්දතී තුළින් නියෝජනය වේ. සුරේඛා විකල්ප ගෝත්‍රය පිළිබඳ තම අත්දැකීම් මෙසේ තමාගෙන්ම පරාරෝපනය කොට ඉදිරිපත් කරයි. එහිදී ඇගේ ක්ෂතිය කෙතරම්ද යත් පූර්වජ පියකු මෙන් සිය දියණිය සමග නිදිවදින විප්ලවීය නායකයකු මගින් ඒ දැක්වෙන අතර එය අත්වැරදීමක් හෝ පසුතැවීමක් නොමැති, හෘදය සාක්ෂියක් නොමැති තැනකට ඔහුගේ බලහත්කාරය තුළින් ගොනුවේ. ඇගේ විරෝධය සිය පියාව අබිරහස් ලෙස ඝාතනය කිරීම මගින් පුපුරා යයි.

මේ කතාව පශ්චාත් ස්ත්‍රීවාදී අවකාශයක නැටූ කොහොඹා කංකාරියක් බව පැහැදිළිය. ක්‍රිස්ටීවා කී ලෙසටම හිස්ටීරියානු ස්ත්‍රීවාදයට මාතෘභාවය නමැති සමාජ සම්මත සයිකෝසියාව චිකිත්සක උපක්‍රමයක් ලෙස දක්වන්නකි. පුංචි අරුන්දතියගේ සමෙහි දිවිදොසින් නැගෙන පලූ නොනැගෙන්නට නම් තව තවත් කංකාරි නැටිය යුතුය. ගැහැණුනි තව තවත් බෝම්බ තියපල්ලා. විජයගේ පුරුෂමූලිකත්වයට පැරද ඔහුගේ පහසට වන් විට අතුරුදන්වූ කුවේණිගේ තුන්වන තනය යළි පත්තිනිය ලැමෙහි උත්පාදව ඇත. ඉතින් පත්තිනියගේ වම් පියවුර කඩා ගැසීමෙන්  සාහිත්‍ය මදුරාපුර ගිනි ගනු ඇත. විෂ්ණු විසින් සිඳ දැමූ කුවේනිගේ විදුරු දිව මෙසේ ගැහැනුන්ගේ සාහිත්‍යය තුළින් යළි දොඩමලු වන්නට පටන් ගෙන ඇත.

පසුගිය වසරේ නියෝජනය වූයේ විකල්ප ගෝත්‍රයේ පිරිමි සාහිත්‍යයේ දශක ගණනාවක උපරිම අස්වැන්නයි. ඉන් අනතුරු මහා සාහිත්‍ය අවපාතයක් අනිවාරණීය විණි. ඒ අවපාතය මැද මෙයට පෙර මතුව වුත් යටපත්ව ගිය ගැහැණු සාහිත්‍ය රැල්ල තවත් පරපුරක ගැහැණුන් අතින් යළි ඇරඹී ඇත. පුරුෂ ලිංග කෙලින් කරගෙන සාහිත්‍ය මදුරා පුරයේ සැරිසැරූ පිරිමින් වෙනුවට පුරුෂ ලිංග සිඳ දමන බෝදිලුමුන් බිහිව ඇත. හෙට දින මගේ නම නොකියන අවයවයත් මොවුන් විසින් සිඳ දමන්නට හැකි බව සැබවි.

එහෙත් ඔවුනට ආසිරි පැන් ඉසීමෙන් තොරව මේ සාහිත්‍යයට තවත් දුර ගමනක් නැති බව අප වටහා ගත යුතුය. එපමණක් නොව මේ සමාජයටද තවදුරටත් ගමන් කළ නොහේ.  වියරණයට, සුසාධිත සාහිත්‍ය නියමයන්ට අනුව බෝම්බ තැබිය නොහැකිය. ඉතින් මම ඔවුන්ගේ බෝම්බ තැබීමේ වියරණය ගැන කිසිත් නොකියා නිහඬ වෙමි. 

කේ. කේ. සමන් කුමාර 

No comments: