Wednesday, September 23, 2015

අවපස අහස



වසරේ  හොඳම පෙම්කතාවටත් සම්මාන පිදෙන තරමට දියුණු රටවල සාහිත්‍ය කර්මාන්තයද දියුණුය. කෙතරම් දියුණුදැයි කිවහොත් හොඳම කාමකතාවටත් සම්මාන පිදේ. එහිදීද ස්ත්‍රී පුරුෂ විෂම ලිංගිකත්වය අරභයා ලිවූ කතාන්දරවලට පමණක්ම නොව සමසරාගිකත්වය විෂය කොටගත් ආදර හා කාමකතාවන්ටද සම්මාන උළෙලවල් වෙන්ව ඇත. 

ලෝකය විවිධය විෂමය. භින්න රුචිකය. එවන් ලොවක සමාජාතීය සාහිත්‍යයක් තිබිය නොහැක. එවන් දවල් හීන අතීසාරයට අමුඩ ගැසීම් පමණක්ම වේ. මෙවන් සම්මාන උළෙලවල් පැහැදිලිවම සාහිත්‍යයේ විවිධාංගීකරණය පිළිබඳ මෙන්ම මිඛායෙල් බාක්තීන් කිවූ කානිවලයිසේෂන් නැතිනම් සැණකෙළිකරණය පිළිබඳව නැවතත් මෙවන් කොදෙව්වකට මතක් කොට දෙයි.

වසරේ හොඳම ආදර කතාව වෙනුවෙන් පිරිනැමෙන  RoNA    සම්මානය සමකාලීන ආදර කතාව, එපික් ආදර කතාව, ඉතිහාසමය ආදර කතාව, හාස්‍යමය ආදර කතාව, මෙන්ම නවයොවුන් ආදර කතාව යන ඉසව් ඔස්සේ පිරි නැමෙයි. මේ පිරි නැමෙන්නේ පළමුව පාඨක ඡන්දයෙන් තේරීමෙන් වන ඉන් දිගු ලැයිස්තුව ඉන් සැකසේ. ආදර නවකතා සංගමයේ සාමාජිකයන්ගේ තේරීමෙන් පත් කෙරෙන ස්වාධීන මණ්ඩලයකින් අනතුරුව කෙටි ලැයිස්තුව තෝරා ගැනේ. සිව්වතාවක් කියවීමෙන් පසු අවසන් තෝරා ගැනීම් තීන්දු කෙරෙන  බැව් සඳහන්ය. අවසන්  පස් දෙනෙකුගෙන්  ජයග්‍රාහකයා ස්වාධීන කමිටුවක් මගින්  තෝරා ගැනේ. ඉතා ඉහළ ප්‍රමිතීන් මෙහිදී ක්‍රියාත්මක වන අතර ලොව පුරා ඉහළ අලෙවියක් ඇති ආදර කතා රචකයන් මෙහි නියෝජනය වේ. සෑම වසරකම සියගණනක් නවකතා මේ අරමුණු කොට ප්‍රකාශකයන් විසින් ප්‍රකාශයට පත් කෙරේ.

ආදරකතා සාහිත්‍යය නවයොවුන් වියේ සිටම ප්‍රේමය පිළිබඳ දැක්ම හැඩගස්වන ප්‍රධානතම මාධ්‍යය ලෙස නවකතාව ආරම්භයේ සිටම දිගු කලක් පැවතිණි. එය බොහෝකලක් තිස්සේ පැවතියේ ජනප්‍රිය අද්භූතවාදී මාදිලිය තුළය. මේ වන විට දියුණු රටවල, කොටින්ම ඉන්දියාවේ පවා එහි අතික්‍රමණයක් සිදුව ඇත. ඒ යථාර්ථවාදය මතු නොව බොහෝ නූතන සාහිත්‍ය මාදිලීන්ගේ හා  ජීවන විලාසිතාවන්ගේද, මතවාදයන්ගේද උරුමය ලබා සමතික්‍රමණය වීමෙනි. එහෙත් අප රටේ ප්‍රේම කතාව තවමත් පවතින්නේ පරණ තැනමය. කරුණාසේන ජයලත් යථාර්ථවාදයේ උරුමයෙන් ඒ පෝෂණය කළේය. නමුදු අද්භූතවාදී, මෙන්ම දවල් හීන මානසිකත්වයෙන් ඔබ්බට ඉන්පසු ඒ ගමන් කළේ නැත. 

නව ප්‍රබන්ධ සාහිත්‍යයේ ආරම්භය සලකුණු වනුයේ අද්භූතවාදී ප්‍රවනතාව තුළයි. හොඳ - නරක, වීර- දුෂ්ඨ වශයෙන් සුදු- කලූ චරිත නිරූපනයක් ඒ තුළ දකිත හැක. අතිශයෝක්තියට නංවන ලද පුද්ගල චරිතවල වෙනස්වීම්, සිතුම් පැතුම්, අරමුණු, හැඟීම් සහ දෛවෝපගත සිදුවීම් කෘතිය තුළ තීරණාත්මක බවක් ගනී. පිටින් පටවන ලද ඉරණමකට අනුව ක්‍රියා කරන පැතලි රූකඩ චරිත ලෙස යථාර්ථවාදය විසින් මේ හඳුන්වනු ලැබිණි. අද්භූතවාදී නව ප්‍රබන්ධය තුළ සැබැවින්ම සිදුවූයේ පුද්ගල නිදහස, ප්‍රේමයේ නිදහස වශයෙන් වැඩවසම් සාහිත්‍යය තුළ ඉරණමට ගැට ගසා තිබූ සියල්ල පුද්ගලත්වයට ගැට ගැසීමය. කතා නායකයාට දේවත්වයක් ආරූඩ කෙරුණු අතර අනෙක් චරිත රූකඩ බවට හෙළිණි. එහෙත් එක්තරා නියුරෝසීය නැතිනම් භින්නෝන්මාදී ආකාරයකින් වැඩවසම් සම්භාව්‍ය සාහිත්‍යයේ චරිත මත හෙළා ඇති ඉරණමම සහේතුක නොවන දෛවෝපගත සිදුවීම් මගින් නියෝජනය විණි. පුද්ගල හොඳ නරක, හැඟීම් හා අරමුණු අනුව පැමිණෙන ලෙස මෙම ඉරණමින් ශුභවාදී භාව විරේචනයක් කෙරිණි. (එම දෛවෝපගත බව හා පුද්ගලවාදී බව තුළින්, නිදහස පිළිබඳ එම සිහිනය සපුරා දිය හැකි සමාජ ක්‍රමයක් බිහි වී නොමැති විටක ඒ වෙනුවෙන් පැන නගින කැරලිවල වන පුද්ගලවාදී බව, අහේතුක, අභූත, ඉරණම්කාරීබවම අවිඥාණකව නිරූපනය වූයේය.)

කෙසේවුව ජාත්‍යන්තර වශයෙන් බැලූවද අද වනතුරුම ධනේශ්වර ප්‍රබන්ධ සාහිත්‍යයේ පොදු ජන රීතිය බවට පත්ව ඇත්තේ අද්භූතවාදය පමණි. එය ජීවන විලාසිතාවන් හා මතවාදයන්ගේ සුළඟ නිසා විටෙක වෙනස් වුවත් පොදුවේ දවල්හීන මාසනසිකත්වයකම ගැලී පවතියි. 

ගංගා ෂයිනි ගමගේගේ අවපස අහස නවකතාව මෙම පසුබිම තුළ සලකා බලන විට මෙම වට්ටෝටෝරුවම නියෝජනය කරයි. එහි පසුබිම වෙනස්ය. එනම් කතා පසුබිම හෙවත් සෙට් එක වෙනස්ය. ලංකාවේදී දකින දවල් සිහින ටිකම තරුණියක හීනෙන් ඉතාලියට ගොස් දකියි. සෙට් එක වෙනස් වුවද හමුවන ඉතාලි ජාතිකයන් යනු සිංහලයන් වාගේමය. සිංහලයන්ය කියන්නේ කතුවරියගේ මනසේ සිටිනා හොඳ මිනිසුන්ය. එවන් හොඳ මිනිසුන් හමු වන තෙක් අපිදු ජීවිතය පුරා පෙරුම් පුරමු. එහෙත් කාටවත් හමු වන්නේ නැත. ඒ මදිවාට හොඳ පමණක් නොවේය. සල්ලිත් තිබේය. අපි කැමති හැම එකටම කැමතිය. අපිට ජීවත් වෙන්නට කැමති විදි, අපේ පරමාදර්ශ ඔවුන්ගේත් පරමාදර්ශය. 

දෛවෝපගත ඉරණම්කාරී දවල් හීනමය මානසිකත්වයෙන් මේ කැඩී වෙන්වී නැත. ජනප්‍රියවාදී නැතොත් අරුමැසිවාදී ප්‍රබන්ධයේ ආඛ්‍යාන මාර්ගය කෙරේ කිසිදු වෙනසක් මෙම නවකතාව යෝජනා නොකරයි. එෆ් එම් ශෛලියක් පමණක් එයට එක් කරයි. එහෙත් අතිශය බුහුටි ලෙස බස යොදා ගැනීමත්, ඉහත අරුමැසි මානසිකත්වය තුළ හැඟීම් නිිරූපනයත් ඇය සිදු කරයි. කාරණය ඇගේ චරිත නිරූපනය තුළ සියල්ල සිදුවන්නේ ප්‍රධාන චරිතය වන අංශුගේ හා කතුවරියගේ දවල්හීන මානසිකත්වයට අනුවමය. යථාර්ථවාදී චරිත නිරූපනයක් අරුමැසිවාදී සාහිත්‍යයෙන් බලාපොරොත්තු නොවිය යුතු බව ඇත්තකි. 

මෙවැනි දවල් හීන අපට නැතිද? ඇත. එහෙත් ඒවා සැබෑ වන්නේ නැත. එවන් දවල් සිහින අපට ජීවිතය ගෙවා දමන්නට යම් මනෝචිකිත්සක කාර්්‍යභාරයක් කරන බව සැබෑය. ඒ හැර මේවා සැබෑ වන්නේ ලොතරැයි ඇදෙන්නාක් වන් කණ කැස්බෑවා විය සිදුරින් අහස දකින්නා මෙන්ය. මේ සියල්ල මැද මෙම නවකතාව ප්‍රධාන චරිතය අදාල සිදුවීම්වලට මුහුණ දීමේදී ගනුදෙනු කරන ආකාරය, කතුවරියගේ මතවාදීමය සීමා, සදාචාරයන්, හොඳ නරක විනිශ්චයන්ගෙන් බැහැරව අතිශය විවෘත ආකාරයකින් ලේ මස් ඇති ආකාරයකින් නිරූපනය කොට ඇත.

සරබැවින්ම ලාංකීය ප්‍රේම සාහිත්‍යයේ ප්‍රධානතම මෙරගල කන්නි සිවියයි. එය වටා කෙන්ද්‍රවූ පවිත්‍රභාවය මත විශ්වාසය හා ආදරය සංකේන්ද්‍රනය වේ. මැස්සෙක්කත් වසා නැති පත්තිනි අම්මාලාගේ රෙද්දෙ තුත්තිරිවලට හේතු දැක්වීම අරභයා යක්කු නිර්මාණය කිරීම මත ලාංකීය ආදර කතා සාහිත්‍යයේ ක්‍රමවේදය සකස්වී තිබේ. මැස්සන් වැසූ වුන්ට පෙම් කිරීම තහනම්ය.  අනෙක් කාරණය මේ කෙල්ලන්ට පෙම් කිරීමට  ඕනෑ වන්නේ ප්‍රේමය අවශ්‍යතාවක් නිසා නොවේ. එය ජීවිතයේ අත්‍යාවශ්‍ය සාධකයක් නිසා නොවේ. ගෙදර අපායක් නිසාය. තාත්තා යකෙක් නිසාය. සුරංගනා කතාවල කුඩම්මා මෙන්ය. සොයන්නේ තාත්තා වන් තමා බලා ගන්නට හැකි කෙනෙකි. මොවුන් සොයන්නේ ප්‍රේමවන්තයෙක් නොව ගෙදරකි. ඉන්නට හිටින්නට හැකි වහලකි. ඒ සියල්ල වූවා නම් මේ ප්‍රේමයන් ඇති වන්නේ නැත.

මේ ග්‍රාම්‍ය හේතුපලවාදය පැහැදිලි ලෙසම එක්කෝ සියළු පෙම්වතියන්ගේ ජීවිතවල මහා ආඛ්‍යානය හැඩ ගස්වා තිබේ. එය යථාර්ථය බවට පත්ව තිබේ. ඇතැම්විට මෙය යථාර්ථය නිසා එයින් සාහිත්‍යය තුළ මෙම දෘෂ්ටිවාදය බිහි වනවා වන්නටත් පුලූවන. කිකිලිද බිත්තරයද සෙවීම ලෙහෙසි නැත. අනියම් ප්‍රේමයන්වල කතාන්දරය විමසා බැලූවහොත් මිනිහා යකෙකි. ගෙදර අපායකි. ගැහැණුන්ට ප්‍රේම කරන්නට මෙම මහා ආඛ්‍යානය  ඕනෑය. නැතිනම් හෘදය සාක්ෂියෙන් ගැලවෙන්නට බැරිය. පත්තිනි අම්මකු වන්නට බැරිය. පිරිමින්ටද තමන්ගේ සල්ලාල දිවිය වසා ගන්නට හෘදය සාක්ෂිය හදාගන්නට එවැන්නක්  ඕනෑය. එක්කෝ කෙල්ලගේ තාත්තා බොනවාය.  කන්න බොන්න දෙන්නේ නැත. නැතොත් බනියි. පහර දෙයි. අතිශය අනුවේදනීය කතාන්දරයකි. කොල්ලා මුඩුමයෙකි. නැතොත් වෙනත් සම්බන්ධතා තිබේ. සැමියා යකෙකි. රස්සාව හෝ ව්‍යාපාරය බදා ගෙන සිටියි. එක්කෝ හෝ ඒ මදිවාට හොර ගෑනුද සිටිතිි. ඒ කිසිවක් නැත්නම් වැඬේ කරන්නේ යකෙක් මෙන්ය. ඉවරවෙච්ච ගමන් අනිත් පැත්ත හැරෙයි. ගොරවා ගොරවා නිදයි. එක්කෝ ඉක්මනට යනවාය. නැතිනම් නගින්නේ නැත. කෙල්ලකට විවාහක මිනිසකු සමග පෙමක් ඇති වන්නට නම් ඔහුගේ බිරිය යකින්නියක් විය යුතුය. නැතිනම් පිට යායුතුය. මෙවන් හේතුවකින් තොරව කිසිදු ප්‍රේමයකට හිතහදා ගන්නට, හෘදය සාක්ෂිය සාදා ගන්නට කිසිවකුට නොහැක. සියළු පත්තිනි අම්මාලාගේත්, පට්ට වේසියන්ගේත්,  අම්බ බඩුකාරයන්ගේත්, රොමෑන්තික ප්‍රේමවන්තයන්ගේත් සියල්ලන්ගේම සිතිවිලි මේ වටා කැරකෙයි. එය ග්‍රාම්‍ය හේතුඵලවාදයකින් මෙම සෙක්කුවට ගැට ගසා ඇත. බොහෝ සම්භාව්‍ය සාහිත්‍ය කෘති කරන්නේ මේ රොටියම අනිත් පැත්ත දැමීමයි. මේ සෙක්කුවෙන් ලිහෙන තාක් ලාංකීය ආදර සාහිත්‍යයට මෙන්ම මිනිස් සබඳතාවලටද ගැලවීමක් නම් නැත්තේය. 

මේ ලියන මාද ඇතුළු සියල්ලන්ටම මෙසේ තමන් සාධාරණීකරණය කර ගන්නා හේතුවක් අවැසිය. මන්ද දෙවියන්, මහා අනෙකකු අප දෙස බලා සිටියි. අපගේ ආශාවන් දැන් ප්‍රමෝදය බවට පොලා පැන ඇත. ඒ නිසා අනෙකකු- මහා අනෙනකු බලා සිටියි. මගේ ආශාව අනෙකාගේ ප්‍රමෝදය බවට පත්ව ඇති නිසා ඒ ඉෂ්ඨ කරගන්නට නිවිහැනහිල්ලක් නැති මෙන්ම අනෙකා බලාසිටින්නේ නැතිනම් ඒ ආශාවටද අර්ථයක් නැතිව ගොස්ය. ප්‍රමෝදයෙන් ආශාවට නැවත අපේ ආදරය ආ යුතුව ඇත. ආදරය යනු වරදක් ලෙස සළකන මානසිකත්වයක් අප සැම තුළම ඇත. අනෙක් අතට එය වරදක් නොවන්නේ නම් එයට පැවැත්මක් නැතිවී ඇත. බාධක නැති තැන ප්‍රේමය ඇල්මැරී යයි. ඉන් පසු එය පවුල් ජීවිතයක් මෙන් ගෝත කැරමයක් වෙයි. ව්‍යුහයක් බවට පත්ව ඔහේ පවතියි. ඉන්පසු අනෙකා අපගේ ප්‍රමෝදය කෙරේ දක්වන ප්‍රතිචාරය හෝ දක්වතැයි අප සිතනා ආකාරය මත ඒ ලිහිසි තෙල් සපයා ගනියි. 

දවල් හීන සහ යකුන්- දෙවියන් නැතිව අපේ ආදර කතා සාහිත්‍යයට මතු නොව මිනිස් සබඳකම්වලටද යා නොහැකිවීම අප පුරවැසියන් වශයෙන් කෙතරම් පහල තත්වයක සිටිනවාද යන්න දක්වයි. යමෙක් ඒ පොදු මිනිස් ස්වභාවය ලෙස දකින්නට පුලූවන. ඒත් මෙතරම්  ඕලාරික මිනිස් ස්වභාවයක් ආන්තික තත්වයන්හි හැර මෙවන් පසුගාමී සමාජයක වුව යතාර්ථයද? එය යල්පැනගිය දෘෂ්ටිවාදයක් බව මගේ හැඟීමයි. එම දාෂ්ටිවාදී කණ්ණාඩිය තුලින් අප බලනා තාක් ඒ එසේය. 

නවපරපුරේ ආදරය තුළ අතථ්‍ය ස්වභාවයන්, විපරීත හා වෙළඳපල පාරිභෝගික ප්‍රදර්ශනකාමයන්, මාධ්‍යකරණය වීම් පැවතියා වුවද මේ ගෝතකරුම ප්‍රේම මානසිකත්වයට වඩා ඒ ඉදිරිගාමීය. ප්‍රශ්නය නවපරපුරේ බොහෝ ප්‍රේමයන්හි ජීවන විලාසිතාවන් හා ප්‍රදර්ශනකාමයන්හි සළුපිළි ගැලවූ කල්හි ඇත්තේද මේ ගෝතකරුමයම වීමයි. එම හූනියම් සහගත ප්‍රේම මානසිකත්වයෙන් ආදර සාහිත්‍යය මෙන්ම මිනිස් ජීවිතද ගැලවිය යුතු බව ඇත්තකි. 

එහෙත් පොදු සමාජයේ ආදරයේ කැඩපත ජනප්‍රිය සාහිත්‍යය බව අපට මගහැර යා නොහැකි සත්‍යයකි. මතවාදී වශයෙන් ගංගා ෂයිනි ගමගේද ගම, පන්සල, දේශීයත්වය රොමෑන්තික කරන බව ඇත්තය. එහෙත් අංශු සංජුල සමග මුහුණ දෙන සංසිද්ධීන් නිරූපනසයේදී ඇය එම චරිතය ලේමස් සහිත චරිතයක් ලෙස ගොඩ නගනා බුහුටි බව ජනප්‍රිය සාහිත්‍යයේ ඊනියා සුචරිතවාදය ඉක්මවා යන්නකි. මින් පෙර උපුල් ශාන්ත සන්නස්ගලගේ නේත්‍රා කෘතිය තුළ ව්‍යභිචාරවතත්, විපරීත සම්බන්ධතාවයක් මෙසේ සුචරිතවාදයෙන් බැහැරව අපූරුවට නිරූපනය කෙරිණි. කන්‍යභාවයේත් පිවිතුරුභාවයේත් වියගසින් ලාංකීය ප්‍රේමකතා සාහිත්‍යය මෙන්ම ප්‍රේමය මිදිය යුතුමය. එහෙත් කාරණය එයට කනභා්‍යාභාවයවත්, ඉතිහාසය හාරා ඇවිස්සීමත් නොකරන මාරියෝ වන් විදේශිකයෙක්ම අවැසිවීමයි. මෙය කතුවරියගේ දෘෂ්ටිවාදයෙන් බැහැරව කතුවරිය කන්‍යාභාවය නමැති වියගස කෙරේ සිය විරෝධය අවිඥාණකව දැක්වීමක් සළකුණු කරයි. නමුත් ඇය රොමෑන්තික කරන සියල්ල එම වියගස පවත්වාගෙන යන ප්‍රපංචයන් වේ. 


කේ.කේ. සමන් කුමාර


No comments:

කළු බණ්ඩාර සම්මුඛ වීම හෙවත් මහිලාවංශය

”වැසිකිළි ගොඩ අදින්නා සේ ඇතුළු මනස හෙළි කිරීමේ අර්ථය කුමක් දැ” යි වරක් හේන්පිටගෙදර ඥානසිහ හිමියෝ සාහිත්‍යයේ අර්ථය ප‍්‍රශ්න කළහ. ...