Wednesday, September 23, 2015

රොං, එන්න අපි වයින් බොමු......




ඉක්මනින්ම නැවත එතොත්
මළවුන්ගේ අවුරුදුදා
මටත් හනික එන්ට ඇහැකි
මළගිය ඇත්තන් කැටුවම

මං මැරුනයි කියලා කවුද
ඔය හැටි දුක් වෙන්ට ඉන්නෙ
පිටිපස්සේ කඳුගැටයේ
රැහැයියො නම් ඔහෙ හඬාවි

මගේ හුස්ම ගිය දාකට
පාර අයිනෙ වල දමාවි
යන එන අය සොහොන උඩට
මලක් විසි කරලා යාවි


දෙවොන්දරා සං දැහැනට සම වැද හුන්නේය. රත්තරන් හදන්නට රසදිය ගේන්නට බංගසාල වීදියට ආ අරවින්ද කොටුව ඉස්ටේසම ඉදිරියේ ජපන් කාම කතා හෙවනැල්ල යැයි පුවරුවක් උස්සාගෙන සිටියේය. 

සමහරු කහඹිලියාවලට ප්‍රිය කරති. කොග්ගල මහා ප්‍රාඥයා බේරේ ගෙදර ඉස්සරහා පාරේ තඩි අකුරින් ලියුවේය. දෙවොන්දරා පමණක් ජිනදාස යනාදී බොහෝ දෙනෙක් වන වැදුනහ. පේරාදෙණිය පමණක් නොව මුළු රටම නියං සායෙන් ඇලලිණි.  අමරසේකර, ගුණසිංහ ඈ බොහෝ දෙනෙක් වෙස්මුහුණු පැළඳ කරළියට ආහ. අවසන ඔවුන් සෙවනැලි ඇද මිනිස්සු බවට පත්වූහ.

දෙවොන්දරා පමණක් නොව බොහෝ දෙනා මළවුන්ගේ අවුරුදුදා නොඑන්නටම යන්නට ගියෝය. කොක්ගල ප්‍රාඥයා මුනුබුරන්ට ගෙන ගිය පොත් මල්ලෙන් අඩි කෝදුවකුත් යටලමත්තේ ප්‍රාඥයා දත් මනින්නට ගෙනා කැලිපරයකුත් මග වැටී තිබිණි. ඒ අවුලා ගත් රතුකමිසකාරයෝ සුගත්ව බසයෙන් බස්සා අඩි කෝද්දත්, කැලිපරයත් තබා කිරිපල්ලේ සිට සරුවාංගයම මනින්නට වූහ.

දෙවොන්දරා මළවුන් සමග ගියද ඔහුගේ චුති සිත සුගත් තුළ පිළිසිඳ ඇතැයි කී ඔවුහු ගන්ධබ්බයන්ට එරෙහිව වීදි බටහ. මේ සියල්ල මැද ගොලූබෙල්ලන් දෙදෙනෙකු හිමින් හිමින් ගමනේ හුන්හ. සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා වූ ඒ ආගන්තුකයාද පාරදිගේහි චන්දරේද තුළින් මෙම ගන්ධබ්බභාවයම යළි ශක්ති සංස්ථිතියේ අපරාජිත බව සිහි ගන්වමින් පිළිසිඳියේය.


1980

‘අම්මා මළා භූමදානය හෙට.’


යන ටෙලිග්‍රෑමය සිංහලෙන් අපිට ලැබිණි. පියුං අංකල් වූයේ සෝමරත්න බාලසූරියය.

දැන් යලි ටෙලිග්‍රෑමයක් අවුත් ඇත. පියුං අංකල් හෂිත අබේවර්ධනය. එහි ඇත්තේ මෙසේය


‘නංගි ගෙදරින් ටෙලිග්‍රෑමක් එවල තිබුණා. අයියාගේ මරණෙ දන්නලා.
මට කිසිම අදහසක් දැනුනේ නෑ එයාගේ මරණෙ ගැන. මම දන්න තරමින් මිනිහා හොඳ සනීපෙන් හිටියේ. ළඟදි විවාහ ගිවිස ගන්නත් අදහසක් තිබුණා. 

“මේක හීනයක් වෙන්න ඇති! මිනිහෙක් මේ තරං ඉක්මණට මැරෙන්නේ කොහොමද? විසේසයෙන්ම කසාද ගිවිසුමට ඔන්න මෙන්න තියලා?” මට පුදුම හිතුණා.

මම ඒක ගැන ආයෙ හිතුවෙ නෑ. මගෙ වටපිටේ මොකුත් වෙනස් වුනේ නැති හින්දා. ඒ මරණෙ ගැන මතක් වෙන, වෙන මොකුත් තිබුණෙත් නෑග
පහුවෙනිදා මට තවත් ටෙලිග්‍රෑමක් ආවා, අක්ෂර තිස් හතරක් එක්ක. වැඩිපුර විස්තර ඒකේ තිබුණා. මගෙ අයියා එයාගෙම ගිරිය කපාගෙන දිවි නහගෙන........’

මර්සො කියන්නේ නැත්නම් සිතන්නේ ‘මැරුනෙ ඊයෙ වෙන්නැති නැත්තං....’  යනාදී වශයෙනි. මෙහි කියවෙන්නේ මෙපරිද්දෙනි. 

‘මම ඒක ගැන ආයෙ හිතුවෙ නෑ. මගෙ වටපිටේ මොකුත් වෙනස් වුනේ නැති හින්දා. ඒ මරණෙ ගැන මතක් වෙන, වෙන මොකුත් තිබුණෙත් නෑ.’ 

මර්සොගෙ අම්මාමයි මළේ කියා විස්වාසද? සමහරවිට ඒ මළේ ජිනදාසගේ අම්මා වෙන්නටත් පුලුවන. මවගේ හෙලූව දැක කැළඹී කොළඹ ආ යටලමත්තේ ප්‍රාඥයා නැවතුනේ වැව් ඉවුරක දාගැබ් හෙවනැල්ලකය. ඉතින් අම්මා මිය ගිය නිසා අපි මරී සමග මුහුදේ නාන්නට ගියෙමු. ගිනි අව්ව නිසා මාතින් කොකා ගැස්සී ජාතික චින්තනකාරයෙක් මිය ගියේය. එහෙත් මා සිරගත කෙරුණේද මගේ හිස ගසා දැමුවේද මව සමග හැමනීමේ වරදටය.  ගිලටීනයෙන් වෙන්වූ මගේ හිසෙහි විවටවූ ඇස් ලොඩි තවමත් බොහෝ දේ දුටුවේය. දිව තවමත් වාචාල විය. 
ඉතින් මගේ ඇස් ලොඩි මත ලඹදුන්නේ ඔහුගේ කතාවේ ආරම්භයයි. මා මගේ මවගේ මරණයට නොගිය පුවත, පසුදා මරීත් එක්ක නාන්නට ගිය පුවත සයිමා මා ඉපදෙන්නටත් කලින් එහි සඳහන් කර තිබිණි.

 මගේ කඳ කෑල්ල සර්පයකුව පිරිවෙනක පොත්ගුලකට රිංගා ගත්තේය. එහෙත් එහි පුරිස් ලිගුව රූපාන්තරණයව නොවී එසේම පැවතියෙන් එය ප්‍රියැප්ගේ මෙන් හැමවිටම කෙලින්වී තිබීම නිසාම සර්පයා බඩගෑවේ ආයාසයෙනි. කෙසේ හෝ පොත්ගුලට රිංගූ සර්පයා එහිවූ ජාතක පොත් වහන්සේ උඩ දරණ ගසා මහත් සටනක වැදුනේය. පසුව සියල්ලන් පන්සල වටකොට දියණිය හා නිදිවැදි බව කියා බෝමළුවේම මා කරකුට්ටං කොට දැමූහ. කොක්ගලගේත් යටලමත්තගේත් කෝදු හා කැලිපර රැගෙන ආ රතු කමිසකාරයෝත්, චීවරධාරියෝත්  සමහරු කහඹිලියාවලට ප්‍රියකරතියි ගයමින් අප වටා ගෝත්‍රික නැටුම් නැටූහ. කුඩුකාර සාංදෘෂ්ඨිකවාදියො භංගවේවා කියා කෑගැසූහ. 

1989 අගභාගය

ගිනිමද්දහනක බොරැල්ල හන්දිය...
... මළමිනී පුළුටු සුවඳ මැද...

සත්‍යවාදියා රේනුකා බාර් එකෙන් කුණු වෙන්න ගසා මිතුරකුත් සමග... රඹුටන් වල්ලකුත් අත තබා.... රඹුටමක් සූප්පමින් පැමිණ මා වැළඳ ගත්තේය. 
‘සර්පයා අපි සාංදෘෂ්ටිකවාදෙ අත අරින්න  ඕනෙ. හොඳින් හෝ නරකින් අපි සාංදෘෂ්ටිකවාදෙ අත අරින්න  ඕනෙ.’

ගෝත්‍රිකයෝ අප වටා නටමින් සිටියහ. අරවින්ද, තිස්ස, ජිනදාස රටේ තැන් තැන්වල පොළව යට ලොප් කළ කොක්ගල ප්‍රාඥයා  පියල්ව කොළඹ එවා තිබිණි. මාලන් නන්දාව සහේට ගත්තේය. 
ඔව්. අපි කහඹිලියාවලට ප්‍රිය කරමු.

 අපි කෑ ගසා කීවෙමු. එහෙත් අපි කහඹිලියාවල රසායනික සූත්‍රය සොයන්නට ජීවිතය නම් විද්‍යාගාරයට වැදුනෙමු. පුස්තකාල පීරිමු. හතරවන ජාත්‍යන්තරයත්, ඊට අනුබද්ධ අධිසත්තාවාදීන්ගේ ජාත්‍යන්තරයත් සොයා ගියෙමු. එහි පාප්වරයන් සොයා ගියෙමු. අවසානයේ පුස්තකාලවලින් පිරි වංගගරියක අතරමං වීමු. කහඹිලියාවලට ප්‍රිය කළ අප තුළ හුන් පුංචි දරුවා වැඩිහිටියකුව පච්ච කොටන්නකු වන්නටද, ජපානයේ සිටින හොඳම පච්ච කොටන්නා වන්නටද  සිහින දුටුවේය. ජපානයේ සිටින සුන්දරම ගැහැණිය සොයා ඇගේ පිටේ යෝධ මකුළුවකුගේ පච්චයක් කොටන්නට සිහින දුටුවේය. සිහිනය සැබෑ විණි. සති දෙකක් තිස්සේ සිහිනය විලිපැහැරීමෙන් අනතුරු මකුළුවා ගැහැණියගේ පිටෙහි ජීවමාන විය. එහෙත් වේදනාවෙන් ඇය උණ ගැනී මිය ගොස් සිටියේය. ස්ත්‍රීවාදීන් පෙළපාලි ගියෝය. කෙල්ලක් පුරිස් ලිගුවක් කපාගෙන වීදි පුරා වියරුවෙන් දිවවිත් කහඹිලියා ගොල්ලක වැටී සිටියේය. 

පුස්තකාලයෙන් පිටත කනත්තක අජිත් තිලකසේනගේ කෙටිකතාවලින් පැන ආ පෙම්වතුන් පෙම්වතියන්, සයිමන්ගේ කතාන්දරවලින් පැන ආ ගැහැණුන් මිනිසුන්, ජයලත්ගේ කතාවලින් පැන ආ පෙම්වතුන් පෙම්වතියන් දෙවොන්දරාත් නොරිකොත් සමග සිටිනු මම දිටිමි. කනත්ත වටාවූ අවන්හල්වල, කබානා යට ඔවුන් නොවනා වෙනත් පෙම්වතුන් පෙම්වතියන් විශේෂයක් ටැබ් අතේ තියාගෙන, ලැප් දිග ඇරගෙන, එෆ්බී- වයිබර් වර්චුවල් පෙම් සයුරේ කිමිදුනහ. 

 පුස්තකාල වංගගිරියෙන් පිටතට එද්දීම මගේ අතට ටෙලිග්‍රෑමයක් ලැබිණි. 
ටෙලිග්‍රෑමයෙන් හිස ඔසවා බලන සඳ කෙහෙ කැරැල්ලක් අත තබාගෙන රොංගේ සොහොන වෙත යන ලින් දුටිමි. ආපසු හැරී බලන සඳ එමාගේ කෙහෙ කැරැල්ලක් අත තබාගෙන මැරී සිටින චාල්ස් දුටිමි. 

ටක්... ටක්... ටක්....

කවුද? කවුද?

මේ මම.
මිය ගිය ප්‍රේමය,
නෑ. නෑ රොන්...

රොං යනු අප සැමගේම මියගිය ප්‍රේමයයි. සදාතනිකවූ උන්මත්තක ප්‍රේමයයි. මරණයේදීත් වෙන් නොවනා සදාතනික ප්‍රේමයක් පිළිබඳ අපගේ සාංකාවයි. අප වන්නට සැදුවත් අනෙකා නිසා වන්නට බැරි විනැයි සිතන සදාතනික ප්‍රේමයේ සාංකාවයි. සමාජ, සංස්කෘතික, ආර්ථික, දේශපාලනික සියල්ලෙන් විනිර්මුක්ත ගන්ධබ්බ ප්‍රේමයයි. බොහීමියානුභාවය තුළ මිය ගිය අපේ උන්මත්තක ප්‍රේමයයි. විපරීත ත්‍රීසම් තුළද, ෆැමිලි පැක් ජීවිත තුළද සොහොන්ගත ප්‍රේමයයි. 

බටහිර සාංදෘෂ්ටිකවාදයේ සුළඟත්, හෙමින්වේ හරහා හමා ආ ඇමරිකානු අහිමි පරපුරේ සුළඟත් ඔස්සේ පාව ආ සාංකා සහගත අස්ථිත්වවාදය... ජපානයෙන් හමා ආයේ ජපානයේ අතීතයේ සොබාදහමේ අතුනුබහන්වලින් නැගී ආ ඔක්කාරයකි. ජපන් කෙල්ලන්ගෙ මද දියරත්, පිරිමින්ගෙ සුකුරුත් එක්ක කලවම් වෙලා ආව ඒ ඔක්කාරයෙ විද්‍යාව හොයාන යාමක්.... A Japanese Mirror- Ian Buruma''''' කමලයා කිව්වා ඉස්තිරි නිමිත්තෙ පන්සලෙන් පුරිස් නිමිත්තෙ පන්සලට ඉස්තිරි නිමිත්ත ගෙනියනවලූ අවුරුද්දට පාරක්. පුංචි උන්ගෙ සෙල්ලම් බඩු, කෑම බීම සේරම ඉස්තිරි නිමිත්තයි පුරිස නිමිත්තයිලූ ඒ කාලෙට.

 බටහිර සාංදෘෂ්ටිකවාදෙයි මේ ජපන්, ඉන්දු චීන කලාපෙ සාහිත්‍යයයි සැසඳුවෙ  Owen Aldridge'     හරියට මිනිවන් පී තිලකරත්න අපේ කට්ටියගෙන් කොප්පෙ ගහලා රුසියාවෙ කට්ටිය ලියපුවා ගැන ලිව්වා වගේ. රුසියාවෙ පොරවල් අපෙන් හොරකම් කරන්න ඇත්තෙ මාට්ටු වෙයි කියලා නොහිතා. ඒත් මිනිවන් කෑවා වැඬේ. ඒත් අපේ අය රුස්සො පව් කියලා, ලෝක සාහිත්‍යයෙ උජාරුවෙන් වැජඹෙන අයනෙ කියලා අනුකම්පාවට මිනිවන්ගෙ පොත සොහොන් කළා. එහෙම අනුකම්පාවට සොහොන් කරන්න අපේ මහා ලෑකකයෝ හරීම දස්සයි. 
ආ.... සයිලිය වෙනස් වුනා. සොරි තමා...

ජයන්ත විමලසේන හිමබිමේ අප සවාරියක් ගෙන ගියේය. එතැන් සිට අකුතගාවා, තනිසාකි, සොසෙකෙ, මිෂීමා ආදීන් මේ සුළඟත් සමග අපගේ ආත්මයන් සිසාරා හමා ගියේය. මේ බොහෝ දෙන දිවි නසාගෙන තිබිණි. මිෂීමා අභිචාරාත්මක විදිහට බඩ කපාගෙන, අකුතගාවා මත්ද්‍රව්‍ය  ඕවර්ඩෝස් අරන්, තවත් කවුද ඇලකට පැනලා ......... සිය දිවි නසා ගැනීම අපට ආශ්වාදයක් ගෙනාවේය. එහෙත් ජපානයේ දිවිනසාගන්නන් වෙනුවෙන් වෙනම වනෝද්‍යානයක් තිබූ බව ආරංචි වන විට අප පමා වීය. නැතිනම් අපත් එවන් උද්‍යානයක් ඉල්ලා එදා කෑ ගසන්නට ඉඩ තිබිණි. 
දිවිනසා ගැනීම, හරාකිරි, ස්වයං පරපීඩක රතිය, ව්‍යාවෘත කාමය, සමනක කාමය, ක්ෂණභංගුරත්වය, අසාර බව, පරාරෝපනය යනාදිය එකට කැළතුණු මනෝභාවිකත්වයක් මෙන්ම දාර්ශණික සංකල්පනාවනුත් මේ හා කැටිවී තිබිණි. එය හෙමින්වේගේ අයිස්කුට්ටි න්‍යායේ අල්පෝක්තිකවාදය ඔස්සේ ආ අහිමි පරපුරේ හෝ කැමූගේ, සාත්‍රේගේ සාංදෘෂ්ටිකවාදයේ සුළඟ නොවිණි. කෙසේ හෝ මේ සියල්ල අපගේ භද්‍ර යෞවනයේ අප වටා වූ තත්වයන් සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික කොන්දේසි මැද විචිත්‍ර චින්තාවක් බවට පත් විණි.

 හරාකිරි නම් තමා විසින්ම තම උදරය කපාගෙන මැරෙන රණකාමී සම්ප්‍රදායයක් ජපානයේ විය. අධිරාජයාගේ මියයාම, පරාජය යනාදිය මෙයට නිමිති විණි. දමිල පුරණානූරු කාව්‍යයන්හි සතුරන් මැදට නිරුවතින් අසුන් පිට ගොස් අවසානය දක්වා සටන් කිරීමේ සම්ප්‍රදාය තුළද මෙවැනි මරාගෙන මැරීමක් විය. එල්ටීටීඊය එය මරාගෙන මැරෙන බෝම්බකරුවන් දක්වා උත්කර්ශනය කළ අතර අප එය ණයට ගෙන සතුරට ලයදී මියයාමෙන් පිටේ ලේ සළකුණු නැතිකම බවට හුදු කාව්‍යෝක්තියක් තත්වයට පත් කළෙමු. 

 වියන්ගොඩ මිෂීමාගේ දේශප්‍රේමය කෙටිකතාව ඔස්සේ මේ හරාකිරි සම්ප්‍රදාය මොනවට අප ඉදිරියේ සිත්තම් කළේය. ජපනුන් තම සිරුරේ බෝම්බ බැඳගෙන නැව්වලට පැන්න හැටි ගැන කතාන්දර අප කුඩා අවධියේ වැඩිහිටියන්ගෙන් අසා තිබිණි.
 මේ හැර මළවුන්ගේ අවුරුදුදා තුළින් අප අයන්න ඉගෙන ගත් ගේෂාවන්ගේ ජීවිතය අප සිත් පැහැරගත්, අපගේ බොහීමියානු මානසිකත්වය පැහැරගත් සුන්දරතම දෙය විය. එහෙත් ජපානයේ වසර ගණනක් ගෙවා දැමූ මා මිතුරෙක් එහි පොදු ජනයා ගැන කීවේ මුන් දන්නෙ කන්නයි, බොන්නයි, හු....යි විතරයි. කුරසාවා ගැන දන්න එක ජපනෙක් මට මේ අවුරුදු ගානට හම්බ වෙලා නෑ. ගේෂාවො නෑ. ඉන්නවා වේසියො. ඒත් උන් අපි එක්ක එන්නෙ නෑ. ඇමරිකන්කාරයො එක්ක විතරයි. අපි එක්ක එන්නෙ කබුකි වෙස් මූනු වගේ මේකප් දාගත්තු නාකි වේසියො විතරයි. කොණ්ඩෙ ඩයි කරලා කලූම කලූයි. ඒත් ඇඳුම් ගැලෙව්වහම යට එකේ කෙස් සුදුම සුදුයි.

 මළවුන්ගේ අවුරුදුදා කියවා මා හුන් ෆැන්ටසිය ඔහු විසංඛාර කළේ එසේය. 
කඩදාසිවලින්, උණපතුරුවලින් තැනූ ජපන් විජිනිපත් දුටුවිට මා තවමත් පදිකාවේ නැවතෙන්නෙමි.  තාත්තා ගෙනවිත් දුන් ජපන් බකට් තවමත් කුඩාවියේ මෙන්ම මට ආහ්ලාදය ගෙන දෙන්නේය. ඒ සියල්ලේ වන සැහැල්ලූ බව.... කඩදාසිවලින් තැනූ ගෙවල්.... භූමිකම්පා, සුනාමි, සුළිසුළං සියල්ලෙන් අනතුරු සිදුවීම වළක්වා ගලන්නට තැනූ සැණින් කැඩී බිඳී යන සැහැල්ලූ නිමැවුම්. 

මට නයිල් ගඟේ ස්ථාවර ජීවන රටාවත් සමග ස්ථාවරත්වයේ සුසමාදර්ශය වූ පිරමීඩය තැනූ මිසරයන්ගේ සිතුවම් සිහියට එයි. එහෙත් ඒ ස්ථාවරත්වය වෙනස් වූයේ නයිල් ගඟ හරස් කරන්නට දැරූ ස්ථාවරත්වය හා තමන් ගැන වූ අන්ධ විශ්වාසයෙනි.  ක්ෂණ භංගු-රත්වය පිළිබඳ සාංදෘෂ්ටික ජීවන දර්ශනයකින් හෙබි ජපාන ජාතික මානසිකත්වය නූතන කාර්මික නිමැවුම් දක්වාම පැමිණි ඇත. එය සෙන් දර්ශනයට, තා ඕ දර්ශණයට, කොන්පියුසියස්ට, යින් යැන් සංකල්පවලට පමණක් සීමාවී නැත. උණ පතුරු තලා ගත් තෙලි තුඩින් කළ පින්සල් පහරවල්වලින් නිමවූ සියල්ලේ වෙනස්වන සුළු බව ගැබ් කර ගත් කිසිවක් දැඩිව නිත්‍යව ග්‍රහණය නොකෙරෙන උපස්ථිතිවාදී සිත්තම්... ජපානෙ සිත්තරු සේරම මනේලා වගේ.... ජපන් හයිකු වගේම චීන කවිය හරහා පවුන්ඞ්ට එන චිත්තරූපවාදය ඇතුළෙත් ඒ වගේම උපස්ථිතිවාදයක් තියනවා. උපස්ථිතිවාදී කවිය පටන් ගත්තෙ ප්‍රංශෙ නෙමේ ජපානෙ නැත්තං චීනෙ කියලා මට නිකමට හිතෙනවා එරික්. අග්නිදිග ආසියානු මහා සංගීත පද්ධතිය ඉන්දුනීසියානු ගැමිලෑන් පද්ධතිය- ඒකෙ ශුද්ධ ස්වර තමා ඩෙබුසි උපස්ථිතිවාදී සංගීතෙට පදනම් කර ගත්තෙ. 
Mono no aware (物の哀れ)…….. කිසිවක් නිත්‍යව අල්ලන්න බැරි, වෙනස් වන සුළු, පැහැදිළිව වෙන් කරලා ගන්න බැරි, ක්ෂණ භංගුර මේ මානසිකත්වය ජපානෙ සොබාදහමත් එක්කම ගලා ආපු ජීවන දර්ශණයක්.... යන්ත්‍ර වගේ වැඩ කරන, අභියෝගයන්ට මුහුණ දීලා ඉදිරියට යන, ජපන්නු හපන්නු කියලා කියමනුත් හැදෙන, බඩ කපාගෙන- ගිරිය කපාගෙන මැරෙන ජපනයි මේ මානසිකත්වයයි දෙක තමා ජපානෙ මහබඹා කෝලම... හැම ජාතියකටම මහබඹා කෝලමක් තියනවා. ජානුස් වගේ.

 නමුත් ජපානය කිව්ව ගමන්ම මගේ ඔලූවට එකපාරට එන්නෙ නගීෂා ඔෂිමා.... ජපානෙ හොඳම සිනමාකරුවා මම නෙමේ ඔෂීමයි කියලා කුරසාවත් කියපු ඔෂීමා..... ජපානෙ ආත්මයත් එක්ක බැඳිච්ච ඔහුගෙ ස්වයං පරපීඩක රතිය..... රියල්ම් ඔෆ් සෙන්සස් පටන් ගන්නෙ වයසක හිඟන බේබද්දෙක් නිදන් ඉන්නවා. පුරිස් කය එළියෙ. පුංචි වුන් ටිකක් අතේ වැනෙන ජපන් කොඩි වලින් තමා මේ පුරිස්කය හරියට ඈත් මෑත් කරන්නෙ. කොඩිය බිහි වුනේ පුරුෂ ලිංගයෙන්. යුද්ධෙට යද්දි පුරිස් කය නග්ගලා ඒකේ කෙරෝලෙ දිග රිටක් නැත්නම් බම්බුවක් හයි කරලා ... පස්සෙ ඒකෙ රෙදි කෑල්ලක් ගැට ගහලා....  මේ පුංචි වුන් අනාගත පරපුර ... මේ නාකියගෙ පුරිස් ඇඟට  හිම බෝලවලින් ගහනවා... කෘතිය ඉවර වෙන්නෙ පෙම්වතිය පෙම්වතාගෙ ඇඟ උඩ නැගලා පොල්ලෙලි ගහමින් සුරතාන්තයට පත්වෙද්දි ඒකට බාධා නොකර  ඉවසන් ඉඳලා ගෙලමිරිකිලා මිය ගිය පෙම්වතාගෙ පුරිස් ඇඟ කපාගෙන........වියරුවෙන් වීදි දිගේ දුවන් ගිහින් සුසානයක අර පුරිස් ඇඟත් තුරුල් කරන් වැටිලා ඉන්න පෙම්වතියගෙ දර්ශනයකින්.... පුරිස් ඇඟ කපන එකයි ගිරිය කපාගෙන මැරෙන  එකයි සම්බන්ධයි. එල්ලලා මරනකොට, එල්ලිලා මැරුනහම අධිකරණ වෛද්‍ය පරීක්ෂණය ශුක්‍රාණු පිටවෙලාද කියන එක. කිසලව්ස්කිගෙ ඔයැ ියදරඑ සෙකප ්ඉදමඑ නසකකසබටග
ඉතින් ලින් ගෙ අයියා ගිරිය කපන් මැරිලා. රොං ප්‍රේමයෙන් ආතුර වෙලා මැරිලා.
 අනිත්‍ය ජීවිතයක්.... තදෙෂි නොගුචි... නත්සුමෙ සොසෙකෙ.... කොකොරො.... සමහරු කහඹිලියාවලට ප්‍රිය කරති.... තනිසාකි හඳුන්වා දුන්නෙ කේ. ජී. කරුණාතිලක. පච්ච කොටන්නා. ජපානෙ ස්වයං පරපීඩක රතිය ලෝකෙට කෑගහලා කිව්ව කෙටිකතාව. පස්සෙ ඔහුගෙ ඔයැ නැහ කුලතිලක කුමාරසිංහ සිංහලට ගෙනාවා. අපි බැලූවෙ ඒකෙ ෆිිල්ම් එක අවුරුදු විස්සකට විතර කලින් දීප්ති උස්සන් ඇවිත්. 
 ජපානෙ, චීනෙ එකම කලාපෙ... එකම ජනවර්ගය. ජපානෙ චීනෙ ඇල්ලූවා තමයි. දෙගොල්ලන්ගෙම බඩු කැඩෙනවා. චීන මහා ප්‍රාකාරය ලෝක පුදුමයක් වෙන්නෙ චීන්නු හදපුවෑන් මෙච්චරකල් නොකැඩි තියන නිසා කියලා විහිළුවට කියන්නෙ. චීන්නුන්ගෙ තරම් නැති වුනත් ජපනුන්ගෙත්. යුරෝපය එක්ක ගත්තහම. නැත්නම් අවුරුද්දෙන් අයින් කරලා දානවා. පාවිච්චි කරලා විසි කරන මානසිකත්වය ලෝකෙට බිහි කරන්න මූලික වුනේ ජපන්නු. පශ්චාත් නූතන පාරිභෝගිකවාදයෙ සංරචකයක්..... සිමියුලේක්‍රමය..... ඔර්ජිනල් වගේ පේන, ඊට නොදෙවෙනි කොපි........

  එක වගේ චිත්‍ර. එක වගේ විජිනිපත්. එක වගේ ඇඳුම්. කිමෝනෝ. සංගීතෙ. නාසිකස්වරය... එකම ළමා ගතිය..... මයිල් නැති සරීර....පියුබික් හෙයාර් රිමූ කරලා ළමා ගතිය ගන්න හදන එක..... ජපානෙ බ්ලූ ෆිල්ම්වලත්......ඉස්කෝලෙ ළමයින්ගෙ බ්ලූ ෆිල්ම් එකක් නැත්නම් අනිත් කෙල්ලන්ගෙන් කැපිලා යනවලූ. ස්කූල් කිට් එකෙන් ඉන්න ටීනේජ්  ප්‍රොස්ට්ලගෙ විසිටින් කාඞ්වලින් ටෙලිපෝන් බූත් වැහිලලූ. ප්‍රෙෂ් නිකර් ෆීලින් කියලා ඉස්කෝල කෙල්ලන්ගෙ පොටෝ එකත් එක්ක පෑන්ටිය ගලවපු ගමන් සීල් කරලා කඬේ විකුණන්න තියන ජපානෙ. බටර්ප්ලයි මසාජර්.....ගෝට් අයිස්, එග්, සෙක්ස්ටෝයි.... විවිධ ආම්පන්න....... එකම මූනු... සරීර... එක වගේ තන්... බ්ලූෆිල්ම්වල කෙඳිරිල්ලත් එක වගේ. ඇස් පියවෙන්නෙත් නිදිමතේ වගේ... නිදිමරලා  තඩිස්සි වෙලා වගේ.... පුංචි වුන්ගෙ වගෙ චුට්ටං ජුන්ඩො.....අපේ එකෙක් තතමි පැදුර දාපු ලී පොළව දෙදරන්න නග්ගලා තට්ටු කරන කෑලි පහේ ටෝච් එක නිසා ජපන් කෙල්ලන්ගෙ පිහිටෙන් තමන්ගෙ දාඩිය මහන්සියෙන් ජපනියන්ගෙන් කකා බිබී තාමත් එහෙලූ. මහ පුරුස මූලික කතා..... කොහොමහරි එක වගේම සොබාදහම... භූමිකම්පා... සුළිසුළං... වෙනස්කම් ඇති. ඒත් අපිට පේන්නෙ එක වගේ. චීන්නු ජපන්නු කොයිකත් එක වගේ පේනවා වගේ. ඒත් අපිට ආපු සාහිත්‍යය එක වගේ නෙමේ. 

 ‘දහසක් මල් පිපෙන්න ඉඩ දෙන්න. දහසක් ගුරුකුලවලට ගැටෙන්න ඉඩ දෙන්න’ කියලා ගුල්වලින් සර්පයො එළියට අරන් දඩයම් කරපු සංස්කෘතික විප්ලවේ පයිප් පයිපර් මා ඕ..... පෙරදිග සුළං... ගමේ ධනවතාව මරලා මිනිය උස්සනකොට මිනිහගෙ අඳ හේන්වල අස්වැන්න ගමටම බෙදුව සමාජවාදය.... පෙරදිග සුළං.... 
මායාභ්‍රාන්තිමය යථාර්ථවාදය කියලා නම් කරපු, නොබෙල් ගත්ත මෝ යෑන් (කට පරිස්සම් කරගන්න කියලා කියන අන්වර්ථ නම) හරහා පුනරුත්පත්තිය ලබන්නෙ  බාජින්ද හැබෑවට?..... පෙරදිග සුළං හරහා සේද මාවත ඔස්සෙ අපිට නාපු ඇත්ත.... රෙඞ් සෝගම්, ෆෙයාර්වෙල් මයි කොන්කුබයින්, ටූ ලිව්ස්, බ්ලැක් ස්වෝන්.... ඩී. එම්. එස්. සිංහලට නගපු වන හංසියෝ... ඒත් අපි කියවලා තියෙන්නෙ පෙරදිග සුළං එක්ක ගහන් ආපු සංස්කෘතික විප්ලවයෙ රොඩු බොඩු... නිල කලාව... සාරභූමි...., පවුල, මගේ කුමර දිවිය, පාන්ෂෙන්..... බාජින්ගෙත්......
මේ පත් සිඳුණු වසන්තයට ජපානෙ සුළඟ, ප්‍රංශෙ සුළඟ වැදිලා තියෙන්න පුලූවන්. මල් පිපෙන්න ඉර එළිය විතරක් නෙමේ හුලං  ඕනෙනෙ. පෙරදිග සුළං වගේ හුලඟ එක පැත්තකින් එන්න හුලං කපොලූ බඳින එකයි වැඩේ. 

පත් සිඳුණු වසන්තය අපේ ජීවිතවල අලූතෙන් දළු දාන්න සලස්වන විදුලි පුවතක්. අපි මොනවද කර කර ඉඳලා තියෙන්නෙ?.... රස්සා කර කර.... පවුල් කරේ තියාගෙන.... කඬේ ගිහින්.... බඩු මළු කරේ තියන් ඇවිත්...ඒ මදිවට බොරුවට විප්ලවත් කර කර ... ඇත්තටම අපි මොනවද මෙච්චර කල් කරලා තියෙන්නෙ?
 රොං, ඔබව මුණ ගැහෙනකම් මං මොනවද කළේ? වැඩක් නැති වැඩ. අපි පරක්කු නෑ. එන්න රොං අපි වයින් බොමු. 

බඳින එක ගැන හිතන්න එපා.... වැඩක් නැති වැඩ. මැරෙන එකත් හිතන්න එපා. බඳිනවට වඩා නං කොහොමත් හොඳයි මැරෙන එක
ඉතින් අපි බඳින්නෙත් නැතුව, මැරෙන්නෙත් නැතුව මෙහෙම ඉමු. එන්න අපි වයින් බොමු.

 කොල හැලෙනවනෙ කොහොමත් සීත කාලෙට. ඉතින්  ඕක වසන්ත කාලෙ වුනහම මොකෝ..... කොල හැලූනත් ගිම්මානෙ, හේමන්තෙ, සරත් සමේ අපි මෙහෙමම ඉමු. වයින් බිබී මේ මධුමෝසමේ.

රොං, අපි යමු ඔයාගෙ වල ළඟට.... තමන්ගෙම වල ළඟ පෙම්වතාත් එක්ක මලානික ඉටිපන්දම් එළියෙ, සීතල තරු එළියෙ වයින් බිබී හැමනෙන එක කොච්චර අපූරු හැඟීමක් ගෙනේවිද කියලා ඔයාට හිතුවැහැකිද?

 රොං, අපි දෙන්නම එකට ඔයාගෙ සොහොන ළඟදි කියමු මං අර ඔයාට පුරුදු කරපු කවිය...

 ඉක්මනින්ම නැවත එතොත්
මළවුන්ගේ අවුරුදුදා
මටත් හනික එන්ට ඇහැකි
මළගිය ඇත්තන් කැටුවම

මං මැරුනයි කියලා කවුද
ඔය හැටි දුක් වෙන්ට ඉන්නෙ
පිටිපස්සේ කඳුගැටයේ
රැහැයියො නම් ඔහෙ හඬාවි

මගේ හුස්ම ගිය දාකට
පාර අයිනෙ වල දමාවි
යන එන අය සොහොන උඩට
මලක් විසි කරලා යාවි


 කේ. කේ. සමන් කුමාර
කිතුවසින් දෙදහස් පසලොස පැමිණි නිකිණි මස පුර සතවක දා  















No comments: