Wednesday, September 23, 2015

‘වීරයා ඔබයි’ නවයොවුන් පොත් පෙළ සාහිත්‍ය මාසයට




මෙම සාහිත්‍ය මාසයේදී ලෝක ප්‍රකට නවයොවුන් පොත් මාලාවක් වන  වීරයා ඔබයි පොත් පෙළ අගසර ප්‍රකාශකයන් විසින් නවයොවුන් පාඨකයා වෙත තිළිණ කරනු ලබයි. Choose Your Own Adventure  නමැති මෙම පොත් පෙළ ලෝක යොවුන් සාහිත්‍යය නවයුගයක් කරා කැඳවා ගෙන යන ලද පොත් මාලාවකි. 

අන්තර් ක්‍රියාකාරී, ක්‍රීඩාමය නව යොවුන් සාහිත්‍යයේ පුරෝගාමී පොත් මාලාව වූයේ  Choose Your Own Adventure  පොත් පෙළයි. ලෝක ප්‍රකට අධ්‍යාපනඥයන්ගේ පුරෝගාමීත්වයෙන් යුතුව සැලසුම් කරන ලද මෙම පොත් පෙළ තීරණ ගැනීමේ හැකියාව, පෞරෂ වර්ධනය, බුද්ධි වර්ධනය, කුතුහලය හා පරිකල්පනය වර්ධනය මෙන්ම දැනුම හා විනෝදය දරුවන්ට ලබා දීමේ අරමුණින් එළි දක්වන ලදී. මෙම ක්‍රීඩාමය පොත් පසුව පරිගණක ක්‍රීඩාවන්ට පවා පූර්වාදර්ශ සැපයීය.


ප්‍රවීන ලේඛක කේ. කේ. සමන් කුමාර විසින් පරිවර්තනය කරනු ලැබූ Choose Your Own Adventure පොත් පෙළෙහි පොත් එකොලහක් අගසර ප්‍රකාශකයන් විසින් වීරයා ඔබයි යනුවෙන් මෙවර සාහිත්‍ය මාසය වෙනුවෙන් පළ කරනු ලැබෙයි. ඒ අගසර ප්‍රකාශකයන් විසින් ආරම්භ කළ ළමා හා යොවුන් පොත් සියයක් එළි දැක්වීමේ වැඩ පිළිවෙළෙහි පළමු අදියර ලෙසය.

මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ E 200 අගසර ප්‍රකාශන අලෙවි කුටියෙන් මෙම වීරයා ඔබයි පොත් පෙළ සහන මිලකට වට්ටම් සහිතව ලබා ගත හැක. පොත් පෙළම එකවර මිලදී ගැනීමේදී සුවිශේෂී සහන මිලක් අගසර ප්‍රකාශකයන් වෙතින් ඔබට හිමිවනු ඇත. 

නැතිවී ගිය ගෝත්‍රයක් සොයා, ත්‍රිමාන ලෝකයෙන් ඔබ්බට, කඳුකර මැදුරේ අභිරහස, මායා සබ්මැරීනය, අතුරුදහන් වූ මිණිකැට සොයා, සයුරු පත්ලට සවාරියක්,  දෝංකාර දෙන නවාතැන, පෘථුවි ග්‍රහයා අනතුරේ, මාව මෝරෙක් වෙලා,  හිට්ලර්ට එරෙහි ඔත්තුකරුවා, අප්‍රිකානු මහ වන මැදින් යන කෘතීන් අගසර ප්‍රකාශකයන් විසින් මෙසේ ඔබ දෝතට තිළිණ කෙරේ. 









අන්තර් ක්‍රියාකාරී සාහිත්‍යය එතුවක් පාඨකයා සහභාගීවන්නකු ලෙස සම්බන්ධ කර නොගත් ඒකපාර්ශ්වීය සාහිත්‍ය ප්‍රවනතාවන්ට වෙනස්ව පාඨකයා කෘතියේ නිර්මාපකයෙක්, කෘතිය හැඩ ගස්වන්නෙක් බවට පත් කරමින් ප්‍රජාතාන්ත්‍රීය ක්‍රියාකාරිත්වයක් බවට සාහිත්‍යය පත් කළේය. සෑම පාඨකයකුම ලේඛකයාගේ කෘතිය පෙළක් ලෙස කියවන බව, තමාට අනුව නිර්මාණය කරන බව සත්‍ය වූවද එම පරිකල්පනීය මෙන්ම අර්ථ කථනමය කාර්්‍යයට එහා යමින් අන්තර් ක්‍රියාකාරී සාහිත්‍යය පාඨකයාට කෘතිය තුළ සම්බන්ධ විය හැකි අවකාශයක් විවර කළේය.
තත්වානුරූපී මායාවෙන් යුතු ස්වභාවිතවාදය, යථාර්ථවාදය සහ පරමයක් ලෙස අතීතයේ සැලකූ බටහිර ස්වභාවික විද්‍යාවන් සහ හේතුපලවාදය අනුදත් ඊනියා විශ්වසනීයත්වය මත පදනම් වූ නවකතාව තුළ බැහැර කළ පැරණි සාහිත්‍යයේ පැවති පාඨකයා ඇමතීමේ ගුණය ඔස්සේ ළමා සාහිත්‍යය තුුළ මෙය පැවතියද ඒ ප්‍රවනතාවක් වශයෙන් වර්ධනය නොවීය. චක්‍රාකාර චාලක පොත්  ^Volvelles&"   චලන පොත්  ^ Pop-up&"   වර්ණ ගැන්වුම් පොත්  ^coloring book&"  ක්‍රීඩාමය පොත්  ^Gamebooks&"  සැඟවුණු වස්තු සහිත පොත්  ^ Hidden object picture books යනාදී විවිධාකාර ළමා පොත්වල අන්තර් ක්‍රියාකාරී ගුණය දක්නට ලැබිණි. එහෙත් මෙවැනි පොත් වර්ග අප වැනි රටක ප්‍රතිනිෂ්පාදනය කිරීමට නොහැකි තරම් මුද්‍රණ ශිල්පය අතින් ඉහල පිරිවැයක් දැරීමට සිදු වන මෙන්ම තුන්වන ලෝකයේ රටක වෙසෙසින්ම කුඩා දූපතක වෙළඳපලට දරා ගත නොහැකි ඒවා වේ. මේ අතරින් අපට ප්‍රායෝගික වන්නේ ක්‍රීඩාමය පොත් හෙවත් ගේම් බුක්ස් පමණි.


මෙම ක්‍රීඩාමය පොත් 1980 දශකයේදී විශේෂයෙන්ම ජනප්‍රියත්වයට පත් විණි. නමුදු පළමු ක්‍රීඩාමය පොත ප්‍රකාශයට පත් වූයේ 1941දීය. මේවා සම්ප්‍රදායික පොත්වලට සමාන වුවද පාඨකයාට තීරණ ගැනීමට ඉඩ දෙන අතර පාඨකයා විසින් ගන්නා තීරණය කතාවේ විකාශනයට බල පානු ලබයි. තීරණ ගැනීමට දෙනු ලබන සෑම අවස්ථාවකදීම පාඨකයාට කතාව ඉදිරියට ගෙන යාම සඳහා නිශ්චිත පිටුවකට හෝ ජේදයකට යාමට උපදෙස් දෙනු ලැබේ. එහිදී පාඨකයා විසින් ගන්නා තීරණය මත එතැනින් එහාට කතාව විකාශනය වෙයි. මෙය ලේඛකයාගේ කෘතිය මත පැවති ආධිපත්‍යය බිඳ දැමීය. නාට්‍යමය සන්දර්භය වෙනුවට බොහෝ විට මෙවන් කතාවල උපාඛ්‍යානමය ව්‍යුහයක් දැකිය හැකිය. සම්භාවිතාව, සාපේක්ෂකත්වය, බහු රේඛීය බව, බහු ප්‍රස්ථරික බව, බහුත්වවාදී බව බොහෝ කොට දකිත හැකිය.  Choose Your Own Adventure  ( සිංහල වීරයා ඔබයි කතා මාලාව ) පොත් පෙළ අතිශය ජනප්‍රිය විණි. 


පෞරෂ වර්ධනය හා තීරණ ගැනීම සම්බන්ධයෙන් දරුවා කෙරේ අවධානය දක්වන සාහිත්‍ය ප්‍රවනතාවක් ලෙස  Choose Your Own Adventure  පොත් පෙළ මේ වන විට ලෝක යොවුන් සාහිත්‍යය තුළ ඉදිරියෙන් සිටියි. ලෝක ප්‍රකට අධ්‍යාපනඥයන්ගේ පුරෝගාමීත්වයෙන් යුතුව සැලසුම් කරන ලද මෙම පොත් පෙළ තීරණ ගැනීමේ හැකියාව, පෞරෂ වර්ධනය, බුද්ධි වර්ධනය, කුතුහලය හා පරිකල්පනය වර්ධනය මෙන්ම දැනුම හා විනෝදය දරුවන්ට ලබා දීමේ අරමුණින් එළි දක්වන ලදී. මෙම ක්‍රීඩාමය පොත් පසුව පරිගණක ක්‍රීඩාවන්ට පවා පූර්වාදර්ශ සැපයීය.

1 comment:

Chamindu Udara said...

ඔතන හරිනං "වීරයා ඔබයි" පොත් 12ක් තියෙන්න ඕනෙ නේද​? 12 වෙනි එක තමයි "ඇමෙරිකාව දෙකට බෙදිලා" කියන පොත​. ඒක නෑනෙ.