Wednesday, September 23, 2015

ගම්මිරිස් කුරුල්ලා සහ ගිනිහොරා




නූතනවාදය ස්ත්‍රිය සම්බන්ධයෙන් කල් පමාවූ ව්‍යාපෘතියකි. සැබැවින්ම නූතනවාදය තනිකරම පුරුෂ ව්‍යාපෘතියක් විය. පුද්ගල නිදහස, පරාරෝපනය, ලිංගික නිදහස ආදිය පිළිබඳව අවධාරණය කළ නූතනවාදයට එරෙහිව ස්ත්‍රීවාදය ධ්‍රවීකරණය විණි. සාංදෘෂ්ටිකවාදය විසින් කතා කරනා නිදහස යනු මානව වර්ගයාගේ සියයට පනහක නිදහස බවට සිමොන්දි බුවා සිය පෙම්වතා වූ සාත්‍රේට විරෝධය පළ කළේය. අනෙක් අතින් නූතනවාදය ප්‍රොයීඩියානු මනෝවේදය මත බොහෝ දුරට පදනම් විණි. එහි වන පුරුෂ මූලික බවට එරෙහිවද ස්ත්‍රීවාදීන් විරෝධය පෑහ. ජර්මානු පැසිස්ට් කලාවේ තෙවන අදිරදය පශ්චාත් නූතනවාදයේ පූර්වාදර්ශයක් ලෙෂ ගනු ලැබේ. එහිදී සමාජවාදීන්ගේ හා නූතනවාදීන්ගේ ස්ත්‍රිය කෙරේ හෙලනු ලබන ශාංගාරාත්මක පාරිභෝගික බැල්ම පිළිබඳ විරෝධයෙන් යුතුව  සඳහන් කෙරෙයි. කෙසේ හෝ නූතනවාදී කලාවේ පුරුෂමය උරුමය ස්ත්‍රීන් අත අතැඹුලක් වූ අවස්ථා මෙහි නම් දුලබය. වෙළඳපල විසින් නූතනවාදී කරන ලද වැඩවසම් ඔලූ සහිත ගැහැණුන් රොත්තක් මිස අපට වෙනත් ගැහැණියක් සොයා ගත නොහැකිය. ඇත්තේ නම් ඒ යම් අයුරකින් ස්ත්‍රීවාදය වෙත අවශෝෂණය වූවන් පමණි. සාහිත්‍යයේ ආඛයාන මාර්ගයක් ලෙස නූතනවාදය ලාංකීය සාහිත්‍යයේ ස්ත්‍රීන් අත පරිපාකයට නොගියේය. නූතනවාදී සාහිත්‍යයේ ප්‍රවනතාවක් වන විඥාණධාරා සන්දර්භය යොදා ගත් ඊවා රණවීර හැර අනෙක් ලේඛිකාවන් සියල්ලන් තුළ හේතුඵලවාදී සුසාධිත සාහිත්‍යයක් හා ඉන්ම පැන නගින අලියා හක්කෙ ගල තබාගත්තාක් වන් එදිරිවාදීත්වයක්ම දකිත හැකිය. නූතනවාදය ලාංකීය සාහිත්‍යය තුළ කූඨ ප්‍රාප්තිය කරා ගෙන ගිය ලේඛකයා අජිත් තිලකසේනය. ඒ සාදයට පෙර ලියන ලද ඔහුගේ කෙටිකතා සමුච්චයන් තුළිනි. අජිත් තිලකසේනගේ ආඛ්‍යාන මාර්ගය අනුකරණයටත්, ඉන් ආභාෂය ලැබුමටත් මා ඇතුළු බොහෝ දෙනා තැත් කළත් ඒ අජිත්ගේ අහලකටවත් ළඟා නොවීය. සැබැවින්ම නූතනවාදයේ ගින්දර දෙවියන්ගෙන් සොරා ගෙනා ප්‍රොමිතියස් යෝධයා ඔහුය. කාංචනා අමිලානි නමැති ගිනිහොරා ගම්මිරිස් කුරුල්ලා සමග ඒ ගින්දර මහිලාදීපයට ගෙන වුත් ඇත. ඒ ගිනි පුපුරු හෙට දින නග්නදීපයේ කොලූ පොඞ්ඩන් කෙළිපොඞ්ඩියන් අත අඳුර දුරලනු මෙන්ම සීතල පළවා හරිනු ඇත. 

සිංහල සාහිත්‍යයේ ස්ත්‍රී දායකත්වයේ උත්පාතය තුළ කාංචනාගේ මෙම ව්‍යායාමයද ස්ථානගත වේ. පුරුෂමය වූ ලාංකීය සාහිත්‍යය ස්ත්‍රී සාහිත්‍යයේ ප්‍රේරණය සහ උරුමය නොමැතිව මින් එහා යා නොහැකි ලෙස අඩස්සි ගතවී ඇත. එබැවින් කාංචනාගේ ගම්මිරිස් කුරුල්ලාද එවන් සමතික්‍රමණයක් කෙරේ දිශානතියක් දක්වනු ඇත්තේය. අජිත් තිලකසේන අනුකරණය කිරීමට හෝ ආභාෂය ලැබීමට ගිය සියළු පිරිමි ලේඛකයන්ට වඩා ස්වායත්ත ලෙස මෙන්ම කෘතහස්ත ලෙස කාංචනා එම ආඛයානය සියත් බවකින් යුතුව බුහුටි ලෙස හසුරුවයි. අජිත් කියනා ගැඹුරක් වෙනුවට උසක් ඇති සාහිත්‍යයක්- අධිතාත්වික උච්චයක් ඇති සාහිත්‍යයක් කාංචනාගේ කෙටිකතා තුළින් අපට හමුවේ. නමුත් ඒ අධිතාත්වික උච්චය යට ඒ විසින් සඟවනු ලබන අල්පෝක්තිකත්වයක්- හෙමින්වේගේ වන් අයිස්බර්ගයක් ඇත. එම අයිස්බර්ගයක් වන් ක්ෂතිය අපට හමුවන්නේ ඇයගේ ප්‍රේමයේ කාර්තු කාව්‍ය සංග්‍රහයේ පිදුම තුළය. ‘පිහිපහර කිහිපයක්, රෝස පෙති අල්පයක්, තෑගි කළ, කිහිප දෙනෙකුට’.......ජිවිතය සැහැල්ලූවෙන් ගැනීම, මේ මොහොත ආශ්වාදනය කිරීම, වෙළඳපලෙන් පිට විනෝදය, සියල්ල විහිලූවක් ලෙස දැකීම ස්ත්‍රියගේ න්‍යාය පත්‍රයට අයත් නැත. ඒ වෙනුවට ස්ත්‍රීහු අතිශය උන්නතිකාමී, අනාරක්ෂිතතාවෙන් මිරිකී සිටින, සිහින මාළිගාවල වෙසෙන, අනාගත මනෝමන්දිර ගොඩ නගන්නට නැඹුරු කොටසකි. ඔවුනගේ සාහිත්‍යය තුළද එම සැහැල්ලූව, මේ මොහොත ආශ්වාදනය කිරීම දක්නට නොහැකිය. කාංචනා අමිලානිගේ කෙටිකතා මින් පැහැදිළිවම කැඩී වෙන්වෙයි. එක් අතකින් ඇය  නූතනවාදයේ සැහැල්ලූ කියවීම් ධාරාවක් නියෝජනය කරයි. එසේම ඇය සියල්ල දෙසම  සැහැල්ලූවෙන් බැලූම් හෙලයි.

මූලික වශයෙන් ඇයගේ ආඛයානය පදනම් වන්නේ දිවා සිහිනයන් මතය. මෙය විඥාණධාරා කතා කලාවේ දකිත හැකි මූලික ලක්ෂණයකි. ප්‍රොයීඩියානු අබාධිත සංඝටනය එහි න්‍යායික පදනම විය. කාංචනාගේ කෙටිකතා විඥාණධාරාමය ස්වයංසිද්ධ ලේඛන ආරකින් යුතුවේ. ඒ තුළ අධිසත්තාමය, අභූතරූපීමය, මෙන්ම මායායථාර්ථවාදී ගුණාංග සහලක්ෂිත කොට ගනියි. එසේම පංච තන්ත්‍ර, බෞද්ධ ජාතක කථා හා කථාවස්තු තුළ දකිත හැකි තිරච්ඡාන උපහැරණ කථාවේ ලක්ෂණද ඇගේ කෙටිකතාවල දකිත හැකිය. ඇගේ කෙටිකතාවේ මූලික පදනම වන මෙම දිවා සිහින අපගේ ජන සාහිත්‍යය තුළද විටෙක හඳුනා ගත හැකිය. කලෙක පාසල් පෙළ පොත්වල රඹුටන් ගසක් දෙස බලාගෙන එහි අස්වැන්නෙන් අනාගත මාළිගා සාදන කතාන්දරයක් විය. අවසානයේ දිවා සිහිනයෙන් තැනූ මන්දිරයට වාහනයක් ගෙන ඒමට රඹුටන් ගස කපාදැමීම මගින් එදිනෙදා ජීවිතය තුළ මිනිසුන් දකිනා දිවාසිහිනවල උත්ප්‍රාසාත්මක ස්වභාවය පිළිබිඹු විණි. පරිභෝජනවාදී සමාජයක දිනෙන් දින මෙවන් දිවා සිහින පැටවුන් ගසති. සමාජයක මිනිස් සබඳතා සත්‍යාසන්න නැතොත් අතථ්‍ය වන්නට වන්නට, සිය අරමුණු සාක්ෂාත් කළ නොහෙන තරම් දුරට කැරට් අල වන්නට වන්නට මේ තත්වය උග්‍රවේ. මෙම යතාර්ථයෙන් නික්මුණු දිවා සිහිනවල ස්වභාවය යතාර්ථය සමග ගටමින් කාංචනා ප්‍රබල උත්ප්‍රාසයක් ජනිත කරයි. එම උත්ප්‍රාසය යට ඇත්තේ අතිශය ප්‍රබල ඛේදවාචකයකි.  එක්කෝ ජීවිතයේ යතාර්ථය පිළිබඳ, මිනිස් ආශාවන් ගැන ගැඹුරු සත්‍යයකි. කාරණය කාංචනා කෙලමෝලෙන් ඇණ ඒ කියන්නට නොයාමයි. 

බෝතලේ කෙටිකතාව මෙවන් සත්‍යයක් හෙළිදරව් කරයි. අප ජිවිතයේ බොහෝ දේ රැගෙන යන්නේ හේතුවක් නැතිවය. එසේවුවත් අප ඒ වෙනුවෙන් පෙනී සිටිමු. ඒ වෙනුවෙන් අප හා සටනට එන වුන් ඒ යොදා ගන්නේ කුමකටදැයි අපට අභිමුඛවූ විට, නැතිනම් අප කරගසාගෙන යන දේවල් තවෙකෙක් යොදාගන්නේ කුමකටදැයි අප දැනගත් විට අපට උන්හිටි තැන් නැති වෙයි. අප ධාතු කරඬු මෙන් වඩම්මාගෙන යන බොහෝ දේ එලෙසය. වාසනාවේ රන් දොරටුව තවත් සුලභ දිවා සිහිනයක් මත පදනම් වන කෙටි කතාවකි. විද්‍යුත් නාලිකාවල සිහින විශ්ලේශණය සඳහා එන ලොතරැයි සම්බන්ධ සිහින ප්‍රමාණය අනුව මෙය පොදු නැතිනම් සාමූහික දිවා සිහිනයක් බව පෙනී යයි. දිවා සිහිනයක් මතු නොව ඒ නින්දෙන් දකින දිවා සිහිනයක්ද වේ. පාරිභෝගික සමාජයේ වන දිවා සිහින පිළිබඳ සදය උපහාසයක් මෙම කතාව තුළින් කාංචනා ජනිත කරයි. මිසිස් සමරසිංහ සහ ගම්මිරිස් කුරුල්ලා තිරච්ඡාන උපහැරණ කතාවක ස්වරූපය ගත් ලාංකීය ගැමි සාමූහික අවිඥාණය තුළ පවත්නා එදිරිවාදිකම්  පිළිබඳ ප්‍රබල උත්ප්‍රාසාත්මක කතාන්දරයකි. එය සිංහල බෞද්ධ අවිඥාණය යට වන මිරිස් ඇඹරීම, සාපකිරීම, වසදීම ආදී පලිගැනීම් ඔස්සේ යුංගියානු මායා යථාර්ථවාදයක් කරා ගොනුවේ. මාළු හටන මිනිස් ක්‍රියාකාරිත්වය තුළ සමාජීය ජනෝන්මාදයන්හි වන පදනම් විරහිත බව විදහා දක්වන්නකි. ජනෝන්මාදයන්හි මූලිකාංග වන මාධ්‍යයන් විසින් දියත් කරන කතිකාවන්, බලය වෙනුවෙන් මහා අනෙකකු දැක්වීම හා එයට තමන්ම රැවටීම, පවත්නා දේශපාලනික තත්වය එය නිරූපනය කරයි. පෙම් කතා දහයක්, අඟහරුවාදා රෑ, රුක්මනී හා පොකුණට ආ පාත්ත මෙනවිය අතිශය නූතනවාදී ස්වභාවයක් ගත් සරල, සැහැල්ලූ නමුදු තියුණු කෙටිකතා කිහිපයකි. පෙම්කතා දහයක් තුළ එකිනෙකට ප්‍රති විරුද්ධ ඍතූන් දෙකක, කාල අවකාශයන් දෙකක සිිටින ගැහැනියක හා මිනිසකු අතර ප්‍රේමයක් දැක්වේ. එම දිවා සිහිනයමය ප්‍රේමයෙන් ඇය අවදි වන්නේ තමා විවාහකයකුගේ රැවටීමකට ලක්වූ බව දැන ගැනීමෙනි. පොකුණට ආ පාත්ත මෙනවිය එලෙසම සිය පෙම්වතියගේ රැවටීමට ලක් වන පෙම්වතකු පිළිබඳ කතාවකි. පෙම්වතා මායා යතාර්ථමය දිවාසිහිනයකින් අවදිවීමෙන් කතාව කෙළවර වේ. පවත්නා යථාර්ථය තුළ අතිශය සුලභ අත්දැකීමක් වන මෙම රැවටීම් දෙස කාංචනා හෙලන්නේ ආදරයේ ඇති අවදානම පිළිබඳ මැදහත් සිතකිනි. මෙම ස්වභාවය පිළිබඳව උපේක්ෂාවෙන් බලනු මිස ඈ එය රැවටීමක්ද යනුවෙන් විද්‍යාමානයෙන් බලා ලේබල් කරනුයේද නැත. ඍතූන් දෙකක් තුළ මෙන්ම මිනිස් ගැහැණියකගෙන් පාත්ත මෙනවියක් බවට රූපාන්තරණය වීම තුළ නොගැලපීම්වල විභවතාවක්ම අපට ගම්‍ය කරයි.

අඟහරුවාදා රෑ නිරුවත සහ ඇඳුම් අතර ධ්‍රවීකරණය පවත්නා ක්‍රමයෙහි පදනමව පවත්නා ආකාරය විනිවිද දකින්නකි. නිෂ්පාදනය හා ජීවවිද්‍යාත්මක ප්‍රතිනිෂ්පාදනය අතර පවත්නා රේඛීය සම්බන්ධයෙන් ස්වාධීනව ප්‍රේමය සහ නිස්කලංකය, විවේකය, ජීවිතය බෙදාහදා ගැනීම, ආශ්වාදනය මෙන්ම පවත්නා ලෝකයෙන්, මතවාදයෙන් ස්වාධීනව නිදහස්කාමීව දේවල් දැකීම අභූතරූපී දිවා සිහිනයක් වන ආකාරය කාංචනාගේ මෙම කෙටිකතාව මැනවින් දක්වයි. ලිංගිකත්වය යනු පරපුර බෝ කිරීමට වන සත්ව ආශය මත හෝ ප්‍රාථමික ශ්‍රමසූක්ෂ්ම ගොවි සංස්කෘතිවල තැනින් ගත්, ලිංගිකය සත්ව ආශයන්ගෙන් ප්‍රේරණයන් කරා- ෆැන්ටසීන් කරා උත්කර්ශණය නොවූ බැවින් ලිංගිකත්වය එයින් ස්වාධීනව ක්‍රියාකරන්නක් බව වටහා නොගත් ශිෂ්ඨාචාරයක නිරුවත ප්‍රදර්ශනකාමී ත්‍රස්තවාදයකි. ලිංගික සංඥා වැලැක්වීමේ උපකරණයක් වූ ඇඳුමම ලිංගික සංඥාවන් සුපිරි උත්තේජයන් සේ දක්වන ආකාරය, නිරුවතට හා ලිංගිකත්වයට අගය එක්කරන්නක් බව එවන් පසුබිමක වටහා ගත නොහැකිය. ඇතැම් ඇඳුම් දූෂණය සාධාරණ කරන මතවාදයක් සුචරිතවාදීන්ට ජනිත කරනුයේ එබැවිනි. ඇඳුම සහ බලය, පාලනය අතර ක්‍රියාකාරී වන ඊනියා පෞරෂය පවා ස්ථානගතවී ඇත්තේ එවන් පූර්වජ මානසිකත්වයක් තුළය. කාංචනා මෙතුළ විසංයෝජනය කරනුයේ එයයි. රුක්මනී ජනප්‍රියවාදී මානසිකත්වය තුළ වන වඳ පීදුණු  දිවා සිහිනමය ප්‍රේමයක අභූතරූපී බව පෙන්වයි. එහි එන රුක්මනීගේ චරිතය වත්මන් ප්‍රදර්ශනකාමී පාරිභෝගික සමාජයේ ස්ත්‍රියකගේ කාර්්‍යාල ජීවිතය හා සැබෑ ජීවිතයේ රික්තය තුළ දෝලනය මාද ඇගේ ප්‍රේමයේ වන ව්‍යාජ, චපල ස්වභාවය දක්වන්නකි. එය මෙම සමාජයේ හරස්කඩක් දක්වන අවස්ථාවකි. චිත්‍ර සහ ආදම්ගේ සඳළු තලය කෙටිකතා දෙකම බලය සහ ප්‍රේමය, ස්ත්‍රී පුරුෂ සබඳතා පිළිබඳ ගැඹුරු මෙන්ම අතිශය සංකීර්ණ චිත්‍රයක් අප ඉදිරියේ තබයි. ආදම්ගේ සඳළුතලය ස්ත්‍රී පුරුෂ බල සබඳතා, පාපය, තහංචිය, ස්ත්‍රිය ද්වීතික බවට හෙලීම ගැබ් කර ගත් මෙන්ම ශිෂ්ඨාචාරය ප්‍රේමය සහ මානව නිදහස්කාමය කෙරේ මෙරගලක් වන ආකාරය දක්වන්නකි. චිත්‍ර කෙටිකතාව බලය නමැති යාන්ත්‍රනයට හසුවූ පාලකයකුගේ දිවියේ නිස්සාරත්වය සිතුවමට නගයි. එය සුභ යස වැනි නාට්‍යයක තේමාවට සමීප බවක් ගනියි. රතිය, නිදහස් කාමය ඈ සියල්ලේ වන නිස්සාරත්වයද, අනතුරාසන්නභාවයද එයින් ඉඟි කරයි. එය කිසිසේත්ම කසුප් රජුගේ වෘතාන්තයක් නොවී සෑම පිරිමියකුගේම අවිඥාණය තුළ වන සදාතනික දිවා සිහිනයක නිස්සාරත්වයම අප ඉදිරියේ තබයි.

මෙසේ කාංචනාගේ කෙටිකතා සියල්ලේ නිස්සාරත්වය, ක්ෂණභංගුර බව, පරාරෝපිත බව මෙන්ම න්‍යාය විරෝධි බව සදය උපහාසයෙන් යුතුව නිරූපනය කරයි. ඇය සියල්ලට සිනාසෙයි. සාංදෘෂ්ටිකවාදය සියල්ල ප්‍රහේළිකාවක් ලෙස ඉදිරිපත් කළේය. එහෙත් කාංචනාගේ දැක්ම අතිශය සැහැල්ලූය. දාර්ශනික වංගගිරියක් කරා ඇය අප ගෙනයන්නේ මෙරිගෝ රවුමක ගෙන යන අයුරිනි. අපට දාර්ශනික වංගගිරියේ අතරමං වන්නට හෝ මෙරිගෝ රවුම නැවැත්වූ විට ඉන් බැස අයිස්ක්‍රීම් එකක් කැන්ඩි ප්ලොස් එකක් කමින් කුඩා වුන්සේ පිටව යන්නට හැකිය. බාක්තීන් කී පරිදිම සැණකෙළිකරණය එසේ මෙම කෙටිකතා තුළ ක්‍රියාත්මක වෙයි. අයිස්ක්‍රීම් කන බහුතර පාඨකයන් අයිස්බර්ගය නොදකිනු ඇතත්  අධිතාත්වික උච්චයක් තුළ අයිස්බර්ගයක් ගැබ්කොට ගත් කෙටිකතා සමුච්චයක් ලෙස ගම්මිරිස් කුරුල්ලා අපට අභිමුඛ වෙයි. 

ගම්මිරිස් කුරුල්ලා ‘සාදය’ තුළින් නිවී ගිය ගිනි පුපුරු යළි අවුළුවා ලයි. කාංචනා අමිලානි නමැති ගිනිහොරා ඒ ගින්දර මහිලාදීපයට ගෙනවුත් ඇත. ලාංකීය පුරුෂ සාහිත්‍යය නව ඉමක් කරා ගෙනයන්නට අවැසි ප්‍රේරක වැඩ කොටස ස්ත්‍රී සාහිත්‍යය තුළින් සිදු කෙරුණු අවස්ථා දුර්ලභය. ඒවා හුදෙකලා ව්‍යායාමයන්ය. ඒවා ස්ත්‍රීන් විසින් ලියන ලද, පුරුෂ සාහිත්‍යය නම් සාගරයේ අතරමංවූ හුදෙකලා පොත් දූපත් වන්ය. මෙයට හොඳම නිදසුන ඊවා රණවීරය. මෙවන් පසුබිමක මහාද්වීපික සාහිත්‍යයක් කරා යාමට අවැසි ප්‍රේරක වැඩ කොටස, මේ වන විට ප්‍රවනතාවක්ව ඇති නව පරපුරේ ස්ත්‍රී සාහිත්‍යය තුළින් සිදුවනු ඇතැයි අපේක්ෂාවක් අප සිත් තුළ ජනිත වෙයි. නූතනවාදී සාහිත්‍යයට ස්ත්‍රී හැඩයක්, ස්ත්‍රී අරුතක් ගෙනෙන ගම්මිරිස් කුරුල්ලා එහිදී ඉතිහාසයයික සංසිද්ධියක් බව නොකියාම බැරිය.

කේ. කේ. සමන් කුමාර 


No comments:

කළු බණ්ඩාර සම්මුඛ වීම හෙවත් මහිලාවංශය

”වැසිකිළි ගොඩ අදින්නා සේ ඇතුළු මනස හෙළි කිරීමේ අර්ථය කුමක් දැ” යි වරක් හේන්පිටගෙදර ඥානසිහ හිමියෝ සාහිත්‍යයේ අර්ථය ප‍්‍රශ්න කළහ. ...